එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියන 6ක වන්දිය නොගෙන ඩීල් දැමූ පුද්ගලයන් අධිකරණ ඇමැති රටට හෙළි කළ යුතුයි!

154

පා. ම. නලින් බණ්ඩාර (සජබ)

ජනපති ‘සිස්ටම් චේන්ජ්’ එකක් කළේ නෑ: හොරකම් දිගටම කෙරෙනවා – හිටපු පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරල

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශයෙන් ඩොලර් බිලියන හයක් වගේ ප්‍රමාණයක් අපේ රටට වන්දියක් විදියට ලබා ගන්න තිබුණා. මේ වගේ අවස්ථාවක් මග හැරපු පුද්ගලයන් කවුද කියන එක පිළිබඳව සොයා බැලීමක් කර යුතුයි. ජනාධිපතිවරයා ගෙන් අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දාලා කොමිසමක් පත් කරන්න කියලා යැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස දැක්වූ ඒ මහතා මෙසේද කීය.

අපේ රටේ සමුද්‍රීය දූෂණයක් සිදුවුන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් තදින් මේ දවස්වල කතා වෙනවා. එහිදී අපි දන්නවා ඉතාමත් විශ්වාසදායක තොරතුරු තියෙනවා ඇමෙරිකන් ඩොලර් බිලියන 6 කට වැඩි වන්දියක් ලබාගන්න තිබුණු අවස්ථාවක් අහිමි වෙමින් යනවා කියන කාරණය. මෙහිදී අපිට තියෙන ප්‍රශ්නය ඇයි රජය මේ සම්බන්ධව මන්දගාමීව කටයුතු කරන්නේ. දැන් විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ඊයේ පෙරේදා ප්‍රකාශයත් එක්ක පේනවා හොරාට කලින් කෙහෙල් කැනවැට පැන්නාද කියලා. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ඉබිගමනේ ගිහින් තියෙන්නේ. එහෙම යන්න හේතු වුණේ නිකම් වෙන්න බැහැ. විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාම කියනවා අතරමැදියෙක් ගැන. මේ විදියට ඩීල් දාලා රටට හිමි වෙන්න තිබුණ විශාල වන්දි මුදලක් ගන්න තිබුණු අවස්ථාව මගහැරි පුද්ගලයෝ ගැන විජේදාස රාජපක්ෂ මහත්තයා හෙළිදරව් කරන්න ඕන. අපි හොයල බැලුවම තව දවස් 29 යි තියෙන්නේ නඩු කටයුත්තට. එහිදී නිතිපති දෙපාර්තමේන්තුව බලාගෙන ඉන්නවා සිංගප්පූරුවේ ගිහින් නඩු දාන්න. ඊට කලින් අපේ රට නඩු කටයුත්ත කරන්න තිබුණා. එතනින් බැරිනම් තමයි ඊළඟ පියවරට යන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කලින් අධිකරණ ගණනාවක් තියෙනවා වගේ සිංගප්පූරුවට යන්න කලින් මෙහේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද කියලා. ඒක බලන්නේ නැතිව ඇයි නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු යන්න බලාගෙනම මේ නඩුව මගහැරලා දැම්මේ කියන එක පිළිබඳව ලොකු සැකයක් අපිට තියෙනවා.

ඒ නිසා අධිකරණ ඇමැතිවරයාත් කියනවනම් මෙතන අතරමැදියෝ ඩීල් දැම්මා කියලා ඒ කවුද කියන එක රටට හෙළිදරව් කිරීම වගකිවයුතු රජයක් වගේම වගකිවයුතු අධිකරණ ඇමැතිවරයෙක් විදිහටත් එතුමාගේ වගකීමක්. ඒ නිසා අපිට ඩොලර් නැති වෙලාවක අපේ රටට ඩොලර් බිලියන හයක් කියන්නේ විශාල මුදලක්. 2020 වෙනකොට අපේ රටේ තැන්පතු විදියට තිබුනෙත් ඩොලර් බිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් එහෙනම් ඩොලර් බිලියන හයක් වගේ ප්‍රමාණයක් අපේ රටට වන්දියක් විදියට ලබා ගන්න තිබුණා නම් ඒක අපේ රටේ බංකොලොත් වෙලා තියෙන අවස්ථාවක එහි වටිනාකම මිල කරන්න බැහැ. මේ වගේ අවස්ථාවක් මග හැරපු පුද්ගලයෝ කවුද කියන එක පිළිබඳව සොයා බැලීමක් කළ යුතුයි. ජනාධිපතිවරයා ගෙන් අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දාලා කොමිසමක් පත් කරන්න මොකක්ද මේ සම්බන්ධව අතපසු වීමක් වෙලා තියෙනවා නම් හෝ ඩීල් එකක් දාලා තියෙනවා නම් රටක් විදියට අපි දැනගත යුතුයි.

මේ පරිසර දූෂණය නැවත නිවැරදි කරන්න බැහැ. ධීවරයන්ට ධීවර කර්මාන්තය නියැලෙන්න බැරිව ගියා. රටක් විදියට තව වසර ගණනාවකට යථාවත් කරගන්න බැරි විනාශයක් වුණා. නොපෙනෙන විනාශයක් මුහුදු පතුලේ සිදුවුණා. ඒ නිසා මේ විනාශය තුළින් හරි අපට යම් වන්දි මුදලක් ලබාගන්න තිබුණා නම් ඒ මුදල රටට අහිමි කරපු පුද්ගලයා කවුද කියලා දැනගෙන රටේ පුරවැසියෝ විදියට අපේ අයිතියක්. ඒ නිසා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට රජයටත් අපි කියනවා මේ ගතයුතු ක්‍රියාමාර්ග වහාම ගන්න කියලා.

හිටපු පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරල:

රටේ ජනතාව හිතනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ රටේ වෙනසක් ඇති වෙලා කියලා අපි කියනවා කිසිදු වෙනසක් මේ වෙනවිට වෙලා නෑ. පරණ දේවල් ඒ විදියටම සිදු වෙනවා. රනිල් වික්‍රමසිංහ ආවා කියලා සිස්ටම් චේන්ජ් එකක් වෙලා නෑ. අපි දන්නවා පරණ වැඩ කටයුතු ටික ඒ ආකාරයෙන්ම මේ වෙනකොට කරගෙන යනවා. රටේ සුදුලූනු වංචාව ඇතුළු වංචා විශාල ප්‍රමාණයක් වුණා. එවැනි කිසිම වංචාවකට කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ. හොරු කවුද කියලා හොයලා නැහැ. ඒ නිසා පෙර පරිදිම හොරකම් කරන නතර වෙලා නෑ. හොරකම් කරන අයට දඬුවම් දෙන එක නතර වෙලා තියෙනවා.

ලංකාවේ පොලිසිය අති දක්ෂයි ඕනෑම හොරකමක් මිනීමැරුමක් වුනාම සතියෙන් දෙකෙන් අල්ලගන්නවා. හැබැයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන හොරකම් මිනීමැරුම් අල්ලන්නේ නැහැ. අපි දන්නවා දිනේෂ් සාෆ්ටර්ගේ මරණය තවමත් අභිරහසක්. එයට තවමත් දඬුවම් දෙන්න මිනීමැරුවා අල්ලලා නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුත් අල්ලලා නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment