කට පරෙස්සම් කරගෙන අවුරුද්ද සමරන්න

344

මේ උදාවී තිබෙන්නේ සිංහල අලුත් අවුරුදු සමයයි. කොයි කවුරුත් තමුනට හැකි අයුරින් කැවුම් කොකිස් ආදී රසකැවිලි ටිකක් හදාගෙන අලුත් අවුරුද්ද සමරන්න පියවර ගනිති.

මෙම රස කැවිලි සෑදීම සඳහා භාවිතා කරන්නේ සීනි, පිටි, පැණි, පොල් තෙල් ආදියයි. එනිසා අලුත් අවුරුදු සමයේදී බොහෝ දෙනා සීනි සහ තෙල් සහිත ආහාර වර්ග වැඩිපුර කෑම නිසා තම සිරුරේ නිරෝගී බව කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතුය.

අතීතයේදී නම් මෙවැනි ආහාර වර්ග ගැනීම එතරම් ගැටලුවක් නොවුවේ කොයි කවුරුත් කය වෙහෙසා වැඩ කටයුතුවල නිරත වූ නිසාය. එසේම අවුරුදු සැණකෙළිවලට සහභාගිවී එහි ඇති ක්‍රීඩා තරගවලට සහභාගීවීමෙන්ද කය වෙහෙස වූහ. නමුත් වර්තමානයේ මේ සියල්ල වෙනස්වී ඇත. කය වෙහෙසීම අඩුවෙන් සිදුවී ආහාර පාන ගැනීම වැඩියෙන් සිදුවේ. එනිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික වීම ආදී රෝගවලට බහුලව ගොදුරුවී සිටිති.

එනිසා රුධිර සීනි මට්ටම වැඩිවී දියවැඩියා රෝගයට ගොදුරුවීමේ අවදානම් මට්ටමේ සිටින අය දියවැඩියා රෝගයෙන් පෙළෙන අය අධිරුධිර පීඩනය ඇති අය අවුරුදු රස කැවිලි දැක ඊට ඇති ආශාව නිසා වැඩිපුර එහි රස බැලීමට සිත් ඇතිවේ නම් එය පාලනය කරගත යුතුය.

අවුරුදු සමයේ කිසිවකුටත් කැවුමක, කොකිසක රස නොබලා ඉන්න යැයි කිව නොහැකිය. එසේ කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවන මානසික පීඩනය නිසාද පවතින රෝග උත්සන්න විය හැකිය. එනිසා තමාගේ කට පරෙස්සම් කරගෙන මෙවැනි රස කැවිලි වර්ග ගැනීමට පියවරගත යුතුය. එසේම මෙවැනි ආහාර වර්ග වෙනදාට වඩා මේ දිනවල කෑමට අවස්ථාව උදාවන නිසා තමාගේ ප්‍රධාන ආහාර වේලට වැඩිපුර එළවළු, පලා වර්ග, ධාන්‍ය වර්ග එක්කර ගැනීමට පියවර ගත යුතුය.

එසේ නොමැතිව ප්‍රධාන ආහාර වේල් හි ද සීනි වැඩිපුර ඇති ආහාර වන අල වර්ග, බත්, වට්ටක්කා ආදිය එක්ව තිබුණහොත් රුධිර සීනි මට්ටම ඉහළ යෑම වැළැක්විය නොහැකි වේ.

තෙල් වැඩිපුර ඇති ආහාර වර්ග වැඩි වශයෙන් මේ දිනවල බහුල නිසා එවැනි ආහාර වර්ග සීමා සහිතව ගැනීමට අවධානය යොමු කළ යුතුය.

එසේම මේ දිනවල දිගු නිවාඩුවකුත් ඇති නිසා නිවසට වී අලසව නොසිට ඇවිදීම, කය වෙහෙසවා වැඩ කටයුතුවල නිරතවීම ආදිය මගින් සිරුරට වැඩිපුර එක්වන මේදය දහනය කර යැවීමට පියවර ගත යුතුය.

තම ආහාර වේලට පොළොස්, වැටකොලු, පතෝල වැනි ආහාර වර්ග එක්කර ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩිපුර තැන්පත්වීම අවම කර ගත හැකිය. එසේම මෙවැනි ආහාර වර්ග මගින් සිරුරට වැඩිපුර එක්වන මේදය පාලනය කර ගැනීමට ද හැකිවේ.

මේ දිනවල අවු රස්නය ද වැඩි නිසා දිනකට පානය කළ වතුර බෝතල් 06 ක පමණ ප්‍රමාණය ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය. එසේ නොවුණහොත් විජලනය ඇතිවී ක්ලාන්තයට පත්විය හැකිය. එසේම මුත්‍රා ආසාදන මතුවිය හැකිය.

එබැවින් අවුරුදු දිනවල සතුටින් එය සමරා ඉන් පසු රෝගී දුකින් රෝහල් ගතවීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට අවස්ථාව උදාකර නොගැනීම සඳහා නිසි පාලනයකින් යුතුව අවුරුදු කැවිලි පෙවිලි ආහාරයට ගත යුතුය.

කට පරෙස්සම් කරගෙන අවුරුද්ද සමරන්න

සෘෂි නාඩි වෛද්‍ය මහාචාර්ය දියවැඩියාව, පිළිකා, සෙම් රෝග විශේෂ
වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment