කල් ඉකුත්වූ හෝ ඊට ආසන්න ඖෂධ ගෙන්වීම ගැන වහාම පරීක්‍ෂණයක් අරඹන්න

71

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය නව සෞඛ්‍ය ඇමැතිගෙන් ඉල්ලයි

කල් ඉකුත්වූ හෝ කල් ඉකුත්වීමට ආසන්න ඇමෙරිකානු ඩොලර් මිලියන තිස්හතක වටිනාකමින් යුත් ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය නව සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

මෙරටට නැව් මගින් ගෙන්වනු ලැබ ඇතැයි පැවසෙන මෙම ඖෂධ තොගය ප්‍රදානයක් ලෙස ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති නමුත් එසේ ගෙන්වන ලද ඖෂධ වැඩි ප්‍රමාණයක් කල් ඉකුත්වූ හෝ කල් ඉකුත්වීමට ආසන්න ඖෂධ බවට වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු බවද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි.

පසුගිය මැයි මාසයේදී ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් මෙකී ප්‍රශ්න සහගත ඖෂධ තොගය මෙරටට ගෙන්වීම සඳහා ලියාපදිංචි ලිපිය නිකුත් කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ ඖෂධ තොග රේගු භාරයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය ලිපි නිකුත් කර ඇති බවද වෛද්‍යවරයා චෝදනා කර සිටී.

අදාළ නැව මගින් ගෙන්වන ලද ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් ඉකුත් ජුනි මස තිස්වනදා වන විට කල් ඉකුත්වීමට නියමිතව තිබී ඇති අතර ගෙන්වනු ලැබ ඇති ඖෂධ අතුරින් Galantimine සහ Canagliflozin ඇතුළු ඇතැම් ඖෂධ කිහිපයක් මෙරට තුළ භාවිත නොවන බවද අනාවරණය වී ඇතැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එසේම අදාළ ඖෂධ තොගය අතර පැවැති Acyciovir, Lidocaine සහ Levetiracetam ආදී ඖෂධ මෙරටට ගොඩබාන විටද කල් ඉකුත්ව තිබී ඇතැයිද සඳහන් කරන විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා, මේ පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා දැඩි තීරණ ගත යුතුව ඇතැයිද සඳහන් කර සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment