සිහිනැති වූ පුද්ගලයකුට ප්‍රථමාධාර ලබාදීම

235

ප්‍රථමාධාර ලබාදීම යටතේ සිහි නැති වූ එසේ නොමැති නම් අසිහි රෝගියෙකු හමු වූ විට කළ යුත්තේ කුමක්ද යන්න ගැන විමසා බලමු. අසිහි තත්ත්වයක් හෙවත් සිහි නොමැති වීමක් යනු පුද්ගලයෙකුට තමා පිළිබඳව ඇති දැනුවත් භාවයත්, බාහිර පරිසරය සමග ඇති සම්බන්ධතාවයත් ගිලිහී යෑමය. එය අසිහි තත්ත්වයක් යැයි පවසයි. මෙම අවස්ථාවේදි පුද්ගලයාට තමාගේ ශරීරය සම්බන්ධයෙන් වන ස්වයං පාලනය බිඳ වැටෙන අතර පරිබාහිර ක්‍රියාවන්, උත්තේජනයන් හෝ ඊට ප්‍රතිචාර දැක්වීම සිදු නොවේ.

මෙයට ප්‍රධානතම හේතුව වනුයේ මිනිස් සිරුරෙ ක්‍රියවලියන් සඳහා උපකාරි වන ඔක්සිජන් ප්‍රමාණවත් තරම් නොලැබී යෑමය. සිරුරේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගන යෑමට පටක හා සෛල වෙත ස්වසනය මගින් ලබා ගන්නා ඔක්සිජන් රුධිර සංසරණය ඔස්සේ පරිවහනය කිරීම නිතැතින්ම සිදුවේ. එය එසේ නොවන අවස්ථාවන්වලදී සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු නොවේ. ඒ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් සෛල වෙත නොලැබීයෑම නිසා ඕනෑම පුද්ගලයකු ඉතා පහසුවෙන් අසිහි තත්ත්වයකට පත්විය හැකිය. මේ හේතුවෙන් පුද්ගලයකු නිශ්චලව බිම ඇද වැටීමක් විය හැකිය. මෙහිදී ස්වසන මාර්ගය අවහිර වීම, ස්වසන ක්‍රියාවලිය ඇනහිටීම සහ රුධිර සංසරණය සිදු නොවීම නිසා පුද්ගලයකු මරණයට පවා පත්විය හැක.

මෙලෙස පුද්ගලයකු අසිහි තත්ත්වයට පත්වීම කෙරෙහි බලපාන අනතුරු හා රෝගි තත්ත්වයන් කීපයක් තිබේ. ප්‍රථමාධාරවලදී මේ හේතුන් හඳුනා ගැනීම පහසුවීම සඳහා FISHSHAPED ක්‍රමවේදය භාවිතා කරනු ලැබේ.

Faint – ක්ලාන්තය, Imbalance of body heat – ශරීරයේ උෂ්ණත්වය අසමබර වීම, Shock කම්පනය, Head injury – හිසට සිදුවන අනතුරු, Stroke – ආඝාතය, Hypoxia & Heart attack – නිෂ්පූරණය හා හෘදයාබාධ, Anaphylaxis – ආසාත්මිකතාවය, ඡදසිදබ – වස විෂ ශරීරගත විම, Epilepsy & Electrical Accidents අපස්මාරය සහ විදුලි අනතුරු, Diabetes – දියවැඩියාව

මෙවැනි හේතූන් නිසාවෙන් සිහි නැතිවී පුද්ගලයකු ප්‍රතිචාර දැක්වීම සිදු නොකළද ස්වසන ක්‍රියාවලිය (හුස්ම ගැනීම හා පිට කිරීම) හා රුධිර සංසරණ ක්‍රියාවලිය සිදුවීමට ඉඩකඩ තිබේ. නමුත් අනතුරක් හෝ රෝගී තත්ත්වයක් නිසාවෙන් අසිහි තත්ත්වයට පත් වුවහොත් රෝගියාගෙ දිව මගින්, වමනය හා සෙම හේතුවෙන් ස්වසන මාර්ගය අවහිර වීමත්, අනතුරුව හදවතේ ක්‍රියාවලිය නතර වීමටත් පුළුවන. එම නිසා සිහි නැති වූ පුද්ගලයකුට කඩිනමින් ප්‍රථමාධාර ලබාදීම සිදු කළ යුතු වේ.

අසිහි රෝගියකුට ප්‍රථමාධාර ලබාදිම

  1. මූලික තක්සේරුව සිදු කිරීම
  2. ස්වසනය කරයි නම් ආරක්ෂිත ඉරියව්වට හැරවීම
  3. ස්වනය නොකරයි නම් කෘත්‍රිම ස්වසනය (CPR) ලබාදීම
  4. ඉක්මනින් රෝහල්ගත කිරීම

මූලික තක්සේරුව සිදුකිරීම

මූලික තක්සේරුව, නිශ්චලව වැටී සිටින ප්‍රතිචාර නොදක්වන රෝගීන් සඳහා සිදු කරනු ලබයි. පුද්ගලයකුට ජීවත් වීමට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ජෛව සාධකවල ක්‍රියාවලිය තවදුරටත් නිසියාකාරව සිදු වේද, නැතිද යන්න හඳුනා ගැනීම වේ. මෙය සිදු කරනු ලබන පියවර ලෙස හැඳින්වේ.

අවදානමක් ඇත්දැයි පරීක්ෂා කිරීම.

අනතුරට පත් රෝගියාට සමීප වීමට මත්තෙන් ප්‍රථමාධාරකරුට හා අවට පිරිසට තවදුරටත් අවදානමක් තිබේද නැතිද යන්න තහවුරු කරගන්න. එසේ නොවුණහොත් ආධාරකරුවන් ද අනතුරට පත් වී රෝගීන් සංඛ්‍යාව වැඩි වීමට ඉඩකඩ ඇත. අවදානමක් නොමැති නම් ආරක්ෂාකාරීව රෝගියා ඉන් මුදා ගන්න.

ප්‍රතිචාර දක්වන්නේදැයි බැලීම

රෝගියාට කතා කරමින්, වාඩිවී, උරහිසට තට්ටු කරමින් ප්‍රතිචාර පරීක්ෂා කරන්න.

ප්‍රතිචාර දක්වයි නම් ද්වීතියික විනිශ්චය සිදුකොට ඊට අදාළ ප්‍රථමාධාර ලබා දෙන්න.

ප්‍රතිචාර නොදක්වයි නම් මූලික ජෛව සාධක පරීක්ෂා කරන්න සහ ආධාර ලබාගන්න.

ස්වසන මාර්ගය විවෘත කරන්න

රෝගියාගෙ නළලට අතක් තබා, අනෙක් අතෙහි ඇඟිලි දෙකක් පමණක් නිකටට තබා හිස පිටුපසට නැඹුරු කරන්න. (අසිහි රෝගියෙකුගේ දිව මගින් ස්වසන මාර්ගය අවහිර වන නිසා) අනතුරෙහි ස්වභාවය අනුව මුඛය විවෘත කොට ආගන්තුක දෑ පරීක්ෂා කරන්න. හැකි නම් පමණක් ඉවත් කරන්න.

ස්වසනය පරීක්ෂා කරන්න

ඉහත ස්වසන මාර්ගය විවෘත කළ පරිදි හිස පිටුපසට නැඹුරු කොට තබා ගනිමින්ම, ප්‍රථමාධාරකරුගේ කණ, කම්මුල රෝගියාගෙ නාසය කට ළඟට ළංකරමින් පපු ප්‍රදේශය බැලීම සිදු කරන්න. තත්පර 10ක් මෙලෙස එක දිගට පරීක්ෂා කිරීම තුළින් බැලීම, ඇසීම, දැනීම ඔස්සේ රෝගියාගෙ ස්වසන ක්‍රියාවලිය සිදුවේද නොවේද යන්න ඉතා පහසුවෙන්ම හඳුනාගත හැකිය.

ආරක්ෂිත ඉරියව්වට හැරවීම

අසිහි රෝගියකු උඩුකුරුව සිටින විට ඔහුගේ/ඇයගේ දිව මගින් ස්වසන මාර්ගය අවහිර වීම වැළැක්වීමත්, ස්වසන මාර්ගයේ සෙම හෝ වමනය ආදිය සිරවීම වැළැක්වීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.

අසිහි තත්ත්වයට පත් ගැබිනි මවක් හෝ වස විස ශරීර ගත වූ රෝගියකු ආරක්ෂිත ඉරියව්වට හැරවීමේදී වම් ඇලයටම පමණක් හැරවීම සිදු කරන්න.

අවම විනාඩි 3කට සැරයක්වත් මූලික ජෛව සාධක පිළිබඳව සැලකිලිමත් වන්න.

ස්වසනය නොකරයි නම් CPR ලබාදෙන්න.

සිහිනැති වූ පුද්ගලයකුට ප්‍රථමාධාර ලබාදීම

චමීර පීරිස්
ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශක,
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment