අනවසර පාගමන් ගිය හිරුණිකාට ගන්නා ඉදිරි පියවර ගැන නීතිපති විමසා දන්වන්න

1282

කුරුඳුවත්ත පොලිසියට නියෝග

පොලිස් ආඥාපනත හා මංමාවත් පනත උල්ලංඝනය කරමින් නිසි අවසරයකින් තොරව පාගමනක් 2022.11.14 වැනිදා සංවිධානය කිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා එල්ල වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල ඇතුළු සැකකාරියන් 15 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර කුමක් දැයි නීතිපතිවරයාගෙන් වාචික උපදෙස් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30දා) කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැමිණිල්ලේ සඳහන් කර ඇතත් ඒ බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බවක් තම අධිකරණයට පෙනී නොයන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නඩුව ලබන මාර්තු 25 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය. තුන්වන සැකකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසනීප තත්ත්වයක් නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටියාය. සිය සේවාදායිකාවන් ඇතුළු සැකකරුවන් විශාල අපරාධයක් සිදුකළ බව පෙන්වාදීමට පොලිසිය උත්සාහ දරා ඇතත් ඔවුන් සිදුකර ඇත්තේ රටතුළ සිදුවන කාන්තාවන් පීඩාවට පත්කරන ආර්ථික ගැටලුවලට විසඳුම් ඉල්ලා වීදි නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමක් පමණක් වන්නේ යැයිද නීතිඥ අතුල රණගල මහතා අධිකරණයට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment