ක්‍රිකට් තහනම ගැන අයිසීසී තීන්දුව අද

754

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව ඉන්දියාවේ අහමදාබාද් හිදී අද (21 වැනිදා) පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද පැවැත්වෙන එම හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර අදාළ තීරණය ගැනීමට නියමිත අතර තහනම ඉවත් කරන්නේ නම් කුමන කොන්දේසි මත එය සිදු කරනවාද යන්න ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

එසේම ලබන ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ ආරම්භ වීමට නියමිත අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. අදාළ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහභාගි වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තර තහනමක් පැනවී ඇති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ක්‍රියාකාරී මට්ටමෙන් එම රැස්වීමට දායකවීමට නොහැකි වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පසුගිය 10 වැනිදා කටයුතු කළ අතර එහිදී ඔවුන් තවදුරටත් දන්වා සිටියේ අද (21 වැනිදා) පැවැත්වෙන අයිසීසී සමුළුවේදී ඒ පිළිබඳව තවදුරටත් තීරණයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්, අයිසීසී සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවට තීරණය කරමින් අයිසීසී විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් කරන ලදී. එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට බාහිර බලපෑම් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපාන කාරණා වේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සාමාජිකයන් 108 කින් යුතු වන අතර පූර්ණකාලීන (ටෙස්ට් වරම් ලැබූ) සාමාජික රටවල් ගණන ඉන් 12කි.
කුෂාන් සුබසිංහ

ඇමැතිගේ චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයකින් කියයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පෙරේදා (19 වැනිදා) දින සිදු කරන ලද ප්‍රකාශය ද්වේශසහගත, පදනම් විරහිත චෝදනාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය ඒ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment