ක්‍රීඩා සංගම් මඩින්න ආවොත්ගොඩින් බැරිනම් මඩින් අපි ඒවා බේරගන්නවා

332

ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩාවට සහ එහි පරිපාලනයට සිදුකරන අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලට එරෙහිව සාධාරණය ඉටු කරන ලෙස රටේ ක්‍රීඩා සංගම් ගණනාවක් ජාතික ජනබලවේගය වෙතින් ඉල්ලීම් කර ඇතැයි ද ඒ අනුව ගොඩින් හෝ මඩින් රටේ ක්‍රීඩාව රැක ගැනීම පිණිස කටයුතු කිරීමට පෙරමුණ ගන්නා බව ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සහ වෘත්තීය සමිති සම්මේලන කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

තමන් එසේ පෙරමුණ නොගත හොත් සිදුවෙන්නේ රටට වෙලා තිබෙන විපතම මේ රටේ ක්‍රීඩාවටත් සිදුවීම බවත් රටක් වට්ටපු මිනිස්සුන්ට ක්‍රීඩාව වට්ටන එක මහ වැඩක් නොවන බවත් සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ දී ඊයේ (05 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමරසිංහ මහතා එසේ අදහස් පළ කළ අතර එහිදී ඔහු තවදුරටත් මෙසේ ද කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික ඔලිම්පික් කමිටුව, පාපන්දු සම්මේලනය, කරාතේ, කබඩි, පාසල් ක්‍රීඩා සංගම් ආදී බොහෝ ක්‍රීඩා සංගම් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනවශ්‍ය අතපෙවීම් නිසා සිය කටයුතු පවත්වා ගෙන යන්නට බැරි තත්ත්වයට පත් වෙලා. ඔවුන් ගේ නියෝජිතයන් අප මුණගැසී මේ ප්‍රශ්න ගැන කතා කරලා තියෙනවා. විශේෂයෙන් ගොඩක් මුදල් ලැබෙන ක්‍රීඩා සංගම්වලට මේ බලපෑම් වැඩියි. මේ මුදල්වලට ආශා කරන පිරිස් එළියේ ඉන්නවා. ඒ අයගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ස්වාධීන ආයතන විනාශ කරන්න දෙන්න බැහැ. එහි ආසන්නතම බිල්ල තමයි 2019 වසරේ නිල බලයෙන් පත් වූ පාපැදි සම්මේලනය. ක්‍රීඩා අමාත්‍යාංශය මෙම පාපැදි සම්මේලනයට විරුද්ධව කළ හැකි සියල්ල කළා. ක්‍රීඩා අමාත්‍යාංශය පවසන පරිදි එම සම්මේලනය දැන් අහෝසියිලු. එහෙම අහෝසි වෙන්නේ කොහොමද කියලා අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දැනගන්න කැමතියි.

ඒ වගේම පාපැදි සම්මේලනය කියලා අටවා ගත් සංගමයක්ද දැන් ක්‍රියාත්මක වෙනවා. ඒත් ජාත්‍යන්තර පාපැදි සම්මේලනය, ආසියානු පාපැදි සම්මේලනය සහ ජාතික ඔලිම්පික් කමිටුව පිළිගත් පාපැදි සම්මේලනය තමයි එන්. කරුණාරත්න මහතාගේ සභාපති ධුරයෙන් පත් වුණු පාපැදි සම්මේලනය. එම පාපැදි සම්මේලනය ට එරෙහිව අනීතික ලෙස කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිවත් අපි නීති මාර්ගයට යනවා.

පොදු දේපළ පනත යටතේ යැයි කියමින් පොලිසියද ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට එරෙහිව කටයුතු කරන අයුරු දක්නට ලැබෙනවා. පාපැදි සම්මේලනයේ දේවල් පොදු දේපළ නොවේ. ඒවා පාපැදි සම්මේලනය සහ ඊට අනුබද්ධ ක්‍රීඩා සංගම්වලට අයිති වත්කම්. හොරු, දූෂිතයෝ, වංචාකාරයෝ කවුද කියලා ජාතික ජන බලවේගය දන්නවා. රටේ ක්‍රීඩාව වළපල්ලට යවන්න එපා කියලා අපි පොලිසියෙනුත් මහත් ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය කියන්නේ නීත්‍යානුකූලව වසර හතරකට බලයට පත් ආයතනයක්. එසේ පත්වුණ ආයතනයකට නිදහසේ කටයුතු කර ගන්න දෙන්න ඕන. මෙසේ ක්‍රීඩා සංගම් සහ සම්මේලන දේශපාලන හස්තයෙන් මඩින්න අපි ඉඩ දෙන්නේ නැහැ.

මුහුණ බලලා නීති ගේන තත්ත්වයක් දැන් උදා වී තියෙනවා

පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න

රටේ ක්‍රීඩාව සඳහා අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත් වීම් සිදුවන බවද ක්‍රීඩා නීති සහ ගැසට් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින් මූණ බලා නීති ගේන තත්ත්වයක් දැන් උදා වී ඇතැයි ද පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා ඊයේ (05 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ එන්. කරුණාරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශය තුන්වැනි පාර්ශ්වයක් ලෙස පාපැදියට අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා. 2021 වසරේ දී ඔවුන් ඉතා දූෂිත නිලවරණයක් පැවැත්වූවා. 2019 වසරේ අපි බලයට ආවේ වසර හතරකට. ඒත් ක්‍රීඩා අමාත්‍යාංශයට හැමදාම ඔළුව නොනැමීමේ වරදට අපට බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. ඔවුන් පාපැදි සම්මේලනයේ සහ පාපැදි සම්මේලනයට අනුයුක්ත ක්‍රීඩා සංගම්වල කටයුතුවලටත් ඇඟිලි ගැසුවා. දකුණු ආසියානු පාපැදි තරගාවලියේදී තරග පාවා දීමක් සිදුවුණා කියලා අපට එරෙහිව කරන්න පුළුවන් හැම දෙයක්ම කළා.

දැන් ගැසට් එකකින් අපේ ලියාපදිංචිය අත්හිටුවූවා කියා තිබෙනවා. අපි ස්වේච්ඡා සේවයක් කරන්නේ. ක්‍රීඩා සංගම් යනු ස්වාධීන ආයතන. අමාත්‍යාංශය තිබිය යුත්තේ අපට අවහිර කරන්න නොවෙයි. ඒත් දැන් සිදු වෙන්නේ ඔවුන්ට ඔළුව පාත් නොකරන ක්‍රීඩා සංගම් සහ නිලධාරීන්ට එරෙහිව ගමන් කරන තත්ත්වයක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පැනනැඟීමයි. මේ තත්ත්වය පාපැදි සම්මේලනයට පමණක් පොදු දෙයක් නොවේ. සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයටම මෙය අද පිළිලයක් වෙලා. ඊට එරෙහිව අද ක්‍රීඩා සංගම් එකතු වී තිබෙනවා.

අලුත් ගැසට් එකෙන් ක්‍රීඩා සංගම්වල නිල කාලය වසර දෙකකට සීමා කරලා තියෙනවා. මේවා කරන්නේ මූණ බලලා. එයාලට ඕන නිලධාරීන් පත් වුණහම වසර හතරකටම ආයෙත් ගැසට් ගහයි. පුද්ගලික තරහ පිරිමහන්න ක්‍රීඩා පරිපාලනයත් එක්ක ගැටෙනවා කියන්නේ එය රටේ අනාගත ක්‍රීඩාවට සිදු කරන බරපතළ වරදක්. අපේ ගිණුම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අත්තනෝමතික කලෙස අත්හිටුවා තිබෙනවා. නියමිත පරිදි අපේ ධුර කාලය මේ වසරේ අවසාන වෙනවා. අපි නිලවරණයට යනවා.

පාපැදි සම්මේලනයේ භාණ්ඩාගාරික සේනක රණසිංහ මහතා

ජාත්‍යන්තර සහ ජාතිකව පිළිගත් පාපැදි සම්මේලනය ලෙස රටේ පාපැදි ක්‍රීඩාව සම්බන්ධයෙන් අපට ලොකු වගකීමක් තිබෙනවා. හැබැයි අපි ක්‍රීඩා අමාත්‍යාංශයට ඕන පදයට නටන්නේ නැහැ. මේ තත්ත්වයන් මත අපව තවදුරටත් තලන්න පෙළන්න ක්‍රීඩා බලධාරීන් කටයුතු කරයි. පොලිසියට බලපෑම් කරලා අපව අත්අඩංගුවට ගන්න කියලා පිරිසක් දැනටමත් ලොකු අරගල කරනවා. අපේ සම්මේලනයේ ලේකම්වරයාට ජීවිත තර්ජන පවා එල්ල වී තිබෙනවා. හැබැයි අපිට හැංගෙන්න කාරණයක් නැහැ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment