කැලණි ගඟ අසබඩ කිතුල්ගල-මාකන්දාවේ ජෛවවිවිධත්ව අපූර්වත්වය සොයා

147
කැලණි ගඟ අසබඩ කිතුල්ගල-මාකන්දාවේ ජෛවවිවිධත්ව අපූර්වත්වය සොයා

“සංචාරේ” තුළින් අද අප ඔබව කැඳවාගෙන යන්නේ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතිශය සංවේදී, ඉතා වැදගත් පරිසර නිකේතනයක් වෙතය. අප රටේ පිහිටා ඇති වැසි වනාන්තර කලාපය ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත්ම කලාපය වන අතර ශ්‍රී ලංකාවට ඒක දේශික ජීවීන් වැඩිපුරම වාර්තාවන්නේ මේ වනාන්තර තුළිනි. රටේ මුදුන් මල්කඩක් බඳු තෙත් කලාපීය වනාන්තර යනු නෙත් දෙක මෙන් රැකගත යුතුව ඇති සම්පතකි. එවන් වැදගත් වනාන්තරයක පහස විඳින්නට අප පසුගියදා කිතුල්ගල ප්‍රදේශයට ගියේ කැලණි ගඟ දිගේ කරන ලද “පහුරු පැදීම” නොහොත්, රාෆ්ටින්ග් ඉසව්වකට සහභාගිවන්නට එහි ගිය අවස්ථාවේ ඊට වැඩිමනත් වශයෙනි.

මෙම සංචාරය සංවිධානය කරන ලද්දේ කොල්ලුපිටිය Photo Technica ආයතනයට අනුබද්ධ ජපානයේ Nikon School ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවයි. Heritage Sri Lanka Safari ආයතනය සංචාරයේ මාධ්‍ය නිර්මාණය සිදුකරනු ලබන අතර, Serendib Adventures ආයතනය චාරිකාව සඳහා සම දායකත්වය ලබාදෙන ලදී. අමතරව “දිවයින” – හරිත “සංචාරේ” මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.

සංචාරයේ සංවිධායක ලෙස කටයුතු කරමින් මේ සඳහා සහභාගිවූ 40 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමට නායකත්ව ලබාදෙන ලද්දේ ප්‍රවීණ හා ප්‍රකට වන ජීවී හා මංගල ඡායාරූප ශිල්පී, පාරිසරික සංචාර සංවිධායක රොහාන් ෆොන්සේකා මහතා විසිනි. ඒ අනුව වත්තල පිහිටි ඔහුගේ “”Cats-Eye”” ඡායාරූප ඇකඩමිය අසලින් අළුයම 3 ට පමණ ආරම්භ වූ කිතුල්ගල සංචාරය, අවිස්සාවේල්ල-දෙහිඕවිට හරහා පිරිස කැටිව කිතුල්ගලට ළඟාවන විට පෙරවරු 7.00 පමණ වී තිබිණි. රොහාන් අයියා කොහොමටත් චාරිකා සංවිධානය කරන්නට දක්ෂයෙකු නිසාම, ඔහු උදයවරුවේ වෙන්කර තිබුණේ කිතුල්ගල වැසි වනාන්තර තුළ සැරිසරන කුරුල්ලන්ගේ ඡායාරූප ගැනීම සඳහා ඡායාරූපකරණ සැසියක් සඳහාය. ඒ බව සතියකට පමණ පෙර සිටම සහභාගිවන්නන් දැනුවත් කර තිබීම නිසාම සහ DCSLR කැමරා දරන්නන් පමණක් මෙහි පැමිණෙන නිසාම ඔවුන් විසින් කැමරා ආම්පන්න අවශ්‍ය පමණ රැගෙන විත් තිබිණි.

එසේම, මේ සඳහා රොහාන් අයියා තෝරාගෙන තිබුණේ අපූරු පරිසර නිකේතනයකි. ඒ අන් කිසිවක් නොව, “මාකන්දාව” රජයේ රක්ෂිතයයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන හෙක්ටයාර් 580 කින් පමණ සමන්විත මෙම වනාන්තරය 1903 වර්ෂයේ තරම් අතීතයේ පටන් රක්ෂිතයක් බවට පත්කර තිබුණද, 1972 දී එවක පැවති රජය මගින් මෙම වනාන්තරයේ වටිනා විශාල ගස් බිම හෙළා මහා විනාශයක් කර, කොස්ගම තුනී ලෑලි කර්මාන්තශාලාවට පටවා ඇත. අනතුරුව වනාන්තරය 1983 දී නැවත සංරක්ෂිත තත්ත්වයට ගෙනවිත් පාරිසරික සංචාරක කටයුතු වෙනුවෙන්ද වෙන්කර ඇත. ඒ අනුව ප්‍රවේශපතක් මිලදී ගෙන, වන සංරක්ෂණ නීති-රීතිවලට අනුකූලව වනාන්තරය තුළ පවතින මං පෙත්වල ඇවිද යමින් වනාන්තරයේ අසිරිය විඳගත හැකිය. මේ සඳහා කිතුල්ගල ලංකා බැංකුව අසලින් කැලණි ගඟ දෙසට වැටී ඇති මාර්ගයේ පැමිණ, අඟුලකින් එහෙමත් නැතිනම්, පාරුවකින් එගොඩවිය යුතුව තිබේ. මාකන්දාවට එගොඩවීම සඳහා පාරුවක් එහි පවතින අතර, මාකන්දාව රක්ෂිතයට පමණක් නොව, ඒ ආශ්‍රිත පරවලතැන්න ගම්මානයට හා රක්ෂිතය මැදින් වැටී ඇති වන මං පෙත් තුළින් ගියවිට හමුවන පල්ලෙබාගේ ඇතුළු ගම්මාන කිහිපයකටම යායුත්තේ මේ පාරුවේ ආධාරයෙනි.

Serendib Adventures ආයතනයේ ප්‍රධානී නිපුනගේ උදව්වෙන් රොහාන් අයියා මාකන්දාව රක්ෂිතය නැරඹීම හා ඡායාරූප ගැනීමේ කටයුත්තට මාර්ගෝපදේශකයකු ලෙස එම කටයුත්ත කරන ගම්වැසියකුද උදෙන්ම ගඟෙන් මෙගොඩට කැඳවාගෙන තිබූ අතර, කිතුල්ගලට ළඟාවූ වහාම වැඩි කල් නොයවා කණ්ඩායම යොමුකරවන ලද්දේ රක්ෂිතය තුළට යෑම සඳහාය. ඒ අනුව බස් රථය පාර්ක් කළ පසු පළපුරුදු මග පෙන්වන්නා අනුගමනය කරමින් අප, කැලණි ගඟ වෙත පැමිණියේ කණ්ඩායම් ලෙස පාරුවේ නැගී ගඟෙන් එගොඩවීම සඳහාය. තරමක් සැර දියවැළක් තිබුණද පළපුරුදු පාරුකරු අප කණ්ඩායම කොටස් වශයෙන් මාකන්දාව එගොඩ තොටුපොළට එගොඩ කරන්නට සමත් විය.

අනතුරුව පරවලතැන්න ගම් මණ්ඩිය මැදින් රක්ෂිත මූලස්ථානය වෙත පියමැන්නේ මග තොට ගෙවතුවල හමුවන ශ්‍රී ලංකාවට ආවේණික ඇතුළු ප්‍රදේශයට ලාක්ෂණික කුරුල්ලන් හා අනෙකුත් වන සතුන්ට, මල් හා ගහ කොළවලට කැමරා මානමිනි.

අනතුරුව අප මාකන්දාව රක්ෂිතයට ඇතුළු වූයේ ඒ සඳහා ප්‍රවේශපත් කවුළුවෙන් ප්‍රවේශපත් මිලදී ගැනීමෙන් පසුවය. මෙම මධ්‍යස්ථානයේ සංචාරකයින් සඳහා යටිතල පහසුකම් පවතින අතර, සංචාරකයින් මෙහිදී කළ යුතු දෑ, නොකළ යුතු දෑ පිළිබඳ දැනුවත් කිරීමක් එහි පවතින අතර, රක්ෂිතය තුළ ගමන් කළ යුතු වන මං පෙත් හා එහිදී දැකගත හැකි විශේෂ ස්ථාන පිළිබඳවද දැනුවත් කිරීම සඳහා පුවරු ස්ථාපනය කර ඇත. ඒ අනුව ලේන්තිරි ඇල්ල, මකුළුඇල්ල, අහස් ලෙන් කන්ද ඇතුළු ස්ථාන කිහිපයක් මාකන්දාව තුළ දැකගත හැකිය.

එම මාර්ගෝපදේශ හා පළපුරුදු මග පෙන්වන්නා මහතුන් අයියා අනුගමනය කරමින් අප මාකන්දාව රක්ෂිතයේ අපූර්වත්වය විඳගත් අතර, අපගේ කණ්ඩායමේ 40 ක් පමණ වූ සියලුම සාමාජිකයින් පාහේ වන ජීවී හා පාරිසරික ඡායාරූප ශිල්පීන් වූ බැවින් තෙත් කලාපීය වනාන්තරයක හමුවන විවිධත්වය හා ඉතා සියුම් වටිනාකම් පවා ඔවුන් ඡයාරූප ගත කර ගනු පෙනිණි. ඒ සඳහා රොහාන් ෆොන්සේකා මෙන්ම, පළපුරුදු වන ජීවී ඡායාරූප ශිල්පී වජිර ගුණසේකර වැන්න වුන් තම පළපුරුද්ද ආධුනිකයින් ඇතුළු අනෙක් අය හා බෙදාගත්තේ නොපැකිලවය.

මෙසේ හෝරා දෙකක් පමණ “මාකන්දාව” රක්ෂිතයේ ගත කළ කාලය නිමා වූයේ අගනා ඡායාරූප ගොන්නක සියලු කැමරා තුළ අන්තර්ගත කරගැනීමෙන් බව අපට පසක් වූයේ ඒ තරමට අපගේ කණ්ඩායම යුහුසුළුව කැමරා අටවාගෙන ඡායාරූපකරණයේ යෙදුණු අප දුටු නිසාය. සැබවින්ම, අපගේ කණ්ඩායමේ වාසනාවට මෙදින දකින්නට තරමක් දුලභ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික (ඒක දේශික) වර්ණවත් කටුස්සකු වන, යක් කටුස්සා, කරමල් බෝදිලිමා නොහොත් ගැටහොඹු කටුස්සකුගේ (Hump-nosed Lizard- Lyreocephalaus scutatus) ඉතා හොඳින් වැඩුණු සතෙකු ඇස මානයෙන් දකින්නට ලැබුණු අතර, වර්ණ ඡායාරූපකරණය සඳහා ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කරමින් මෙම කටුස්සාගේ ඡායාරූප ගන්නට කණ්ඩායම දැක්වූයේ හොඳ උනන්දුවකි. එනම් මාකන්දාව රක්ෂිතයේ සංචාරය එකෙන්ම ගොඩ දාන්නට මේ කරමල් බෝදිලිමා සමත්වූ බව කිව්වද වරදක් නැත.

කැලණි ගඟ අසබඩ කිතුල්ගල-මාකන්දාවේ ජෛවවිවිධත්ව අපූර්වත්වය සොයා

ඒ අතර පිනුම් කටුස්සන්ගේ (Kangaroo Lizard), අප රටට ආවේණික හොට තැඹිලි දෙමලිච්චන්ගේ ශ්‍රී ලංකා රතු දෙමලිච්චා – Orange Billed Babbler) වැනි කුරුල්ලන් රැසකගේ මෙන්ම, අලංකාර කෘමීන්ගේ, මකුළුවන්ගේ හතු වර්ග හා වන මල්වල, අපි ශාක, ලයිකන වැනි ඉතා හොඳ ජෛවවිවිධත්වයක පහස විඳගත් අපි නැවත හෙමින් හෙමින් මාකන්දාවට සමුදුන්නේ තවත් හෝරාවකින්, දෙකකින් අපගේ කණ්ඩායම සහභාගිවන්නට නියමිත “පහුරු පැදීම” නොහොත් “රාෆ්ටින්ග් පැදීමට (Rafting Riding)” හා “රාෆ්ටින්ග් ෆොටෝග්‍රැෆි – (Rafting Photography) ඉසව්වේ පෙර සූදානම සඳහාය. මාකන්දාව නොහොත් ඇතැමුන් විසින් කුරුළුකැළේ ලෙස හඳුන්වනු ලබන මෙම වනාන්තරය තුළ ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් විශේෂ 16 ක් ඇතුළුව කුරුල්ලන් විශේෂ 26 ක් පමණද කොස්කඳවල ඔස්සේ ශ්‍රී පාද ඉම දක්වා සම්බන්ධ වන වනාන්තර කලාපය තුළ කොටියා ඇතුළු ඊට කුඩා ක්ෂීරපායින් රැසක් වාර්තා වන බවද අප සමග කීවේ මග පෙන්වන මහතුන් විසිනි.

ඒ අනුව රොහාන් අයියා අනුගමනය කරමින් ඔහුගේ Nikon School න්‍යාය පත්‍රයට අනුගතවෙමින් ඒ ඒ වෙලාවට අදාළ කටයුතු සඳහා එක් වූයේ සියලු කටයුතු සාර්ථකව නිමාකරගනු පිණිසය. අපගේ “රාෆ්ටින්” ඉසව්ව සඳහා Serendib Adventures ආයතනය සම අනුග්‍රාහක දායකත්වයක් ලබාදුන් අතර, අමිල චන්ද්‍රමාලිමගේ හා ලියුම්කරුගේ දායකත්වය කිතුල්ගල චාරිකාව තුළ සනිටුහන් කරමින් “දිවයින” හරිත – “සංචාරේ” කණ්ඩායම මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.

සැරිසර – ජගත් කණහැරආරච්චි
අමිල චන්ද්‍රමාලිමගේ
ඡායාරූප – Nikon School Team

advertistmentadvertistment
advertistmentadvertistment