කුළුඳුල් කවි අස්වැන්නක රුව ගුණ දකිමු

296

පසුගිය වසර ආරම්භයේ සිට මෙරට මුහුණ දුන් විවිධ දේශපාලන, ආර්ථික හා සමාජයීය ගැටලු හා අර්බුද හේතු කොටගෙන සමස්ත සමාජය ද ජන ජීවිතය ද දෙදරා ගිය බව නොරහසකි. මෙම පසුබිම තුළ මෙරට සාහිත්‍ය කලා ප්‍රමුඛ සිනමා, නාට්‍ය, සංගීත ආදී ක්ෂේත්‍රයන්හි කඩා වැටීමක් සිදු වූ බව අපි දනිමු. එකී පසුබෑම තුළ සාහිත්‍යය මුහුණ දුන්නේ මීට පෙර කිසි දිනෙක නොවිඳි දුෂ්කරතා රැසකට බව නොකිවමනාය. කඩදාසි ආනයනය සඳහා විනිමය හිඟවීම, මුද්‍රණ තීන්ත හා අනෙකුත් ද්‍රව්‍ය මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන මිල ආදී සියලු කාරණාවන්හි අවසාන ප්‍රතිපලය වූයේ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමකි. ආධුනික මෙන්ම ප්‍රවීණ නිර්මාණකරුවන් ද මෙම තත්ත්වය තුළ පීඩාවට පත් වූ නමුත් පොතක් පතක් දොරට වැඩීමේ සිහිනයෙහි ජීවත් වූ තරුණ නිර්මාණකරුවන්, විශේෂයෙන් ම කවි කිවිඳියන් අනාථ වූ අයුරු අපි දුටුවෙමු.

එනමුදු කවිය කෙරෙහි වූ ලාලසය නිසාම ත්‍්ජැ ඊදදන හෝ වෙනත් සමාජ මාධ්‍යයකින් ඔබ්බට ගොසින් කාව්‍ය සංග්‍රහයක් පළ කළ කවි කිවිඳියන් රැසකි. මේ කෙටි සටහනෙහි අරමුණ වන්නේ එබඳු කුලුඳුල් නිර්මාණ කිහිපයක් පිළිබඳ විචාරයක් නොව කෙටි හැඳින්වීමක් පාඨක ඔබ හමුවේ තැබීමය. මෙම කාව්‍ය සංග්‍රහ සිංහල කවියේ කඩඉම් නොවූවත් ඔවුන්ගේ ප්‍රයත්න අගයකිරීම් වස් මේ සටහන ලියා තබන බව කිව යුතුය.

කවිඳු මධුවන්තගේ රැය නොනිදයි, චේත්‍යා විදානපතිරණ ගේ නමක් නැති හිතවතෙක් (රුහාරා ප්‍රකාශන) ඩිල්ශානි චතුරිකා දාබරේගේ පෙමාතුර චෙරි කුසුම (සයුර ප්‍රකාශන) පියුමන්ති ප්‍රියදර්ශනීගේ සඳත් ගිය පසු නින්දට හා සමීර ධනංජය යාපාගේ අනෝරාවට ටිකක් කලියෙන් (කර්තෘ ප්‍රකාශන) කුළුඳුල් කාව්‍ය සංග්‍රහ ලෙස මා අත පත් වූ සංග්‍රහ කිහිපයකි. මෙම කවි කිවිඳියන් සියල්ලන්ම නිර්මාණකරණයෙහි ආධුනිකයන් බව පැහැදිලිව ම පෙනේ. එහෙත් පාඨකයන්ට කාව්‍ය සංග්‍රහයක් වෙනුවෙන් විසල් මිලක් දරන්නට අසීරු අවස්ථාවක් බව දැනුමින් යුතුව අවදානම් කලාපයකට පිවිසීම අගය කළ යුතු යයි සිතමි. මේ කෘති සියල්ලෙහි ම අඩු වැඩි වශයෙන් කාව්‍යාත්මක ගුණයෙන් යුත් නිර්මාණ කිහිපයක් හමුවන මුත් මේ කවි කිවිඳියන් සියල්ලන්ම කවිය පිළිබඳ ගැඹුරු කියවීමක නිරතවීම අවශ්‍ය බව මගේ හැඟීමයි.

පෙමාතුර චෙරි කුසුම කවි එකතුව තුළ කවි බස පිළිබඳ අත්හදා බැලීම් කරන කාව්‍ය ප්‍රස්තුතය සඳහා විවිධ වූ නිමිති සොයා ගිය කිවිඳියක් හමු වේ. ඇගේ කවියෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ භාෂා භාවිතයයි. ඈ පුරවහර අපූරුවට භාවිත කරමින් රචිත මේ නිදසුන බලන්න.

ෆුල් පටෝපු බස් එකකයි අද නැග්ගේ
ලංගමය ද මොන මඟුල ද මතකත් නෑ
නාරිදේහ ට්‍රම්පට් ගී අඳෝනා
වෙන දවසක හමුවෙමු අපි සෙදෝනා
පින්න පිපෙන රෑ යාමේ එන්න එපා
මන්ද නාව කාරණාව අසනු එපා (පෙම් බර)

කවිඳු මධුවන්ත කවියා තම කාව්‍ය ආකෘතිය සඳහා සිව්පද ආකෘතිය බොහෝ තන්හි භාවිත කර තිබෙනු පෙනේ. සිව්පදයෙන් තොර නිර්මාණ තුළ වුව කවියෙහි රිද්මය පිළිබඳ සැලකිලිමත් වී ඇති බව පෙනේ. සංසාර පැතුමක්.. පින්සාර බිරිඳක් නිර්මාණය ඔහු සිව්පද ආකෘතියෙන් කළ සාර්ථක නිර්මාණයකි.

බිඳෙනා රළ – වදිනා නැව වැනි වේ දිවි කතරේ
දෙදෙනා හට – දෙදෙනා බව සිහි වේ අප පවුරේ
මියෙනාතුරු – රකිමී නුඹ සෙනෙහේ හද මැඳුරේ
මැණිකේ වෙනු – භවයේ බුදු අවැසී පිං සසරේ

සමීර ධනංජය යාපා කවියා ගේ කාව්‍යානුභූතීන්හි විවිධත්වයක් පෙනේ. ඔහු තම අත්දැකීම් කීමට ජනකවියේ ආභාසය ලබා ගනු පෙනේ. ඉලන්දාරි කවි නිර්මාණයේ සමාප්ත කවිය නිදසුනකි.

පිනි පොද වැටී දිලිසෙන නිල් ගොයම වගේ
මාසෙන් දෙකෙන් නුඹ හැඩ වී ආපු රඟේ
පාළුව මකන්නට ආවොත් දැනෙයි අගේ
හඳපානේ ම පැනලා අපි යමු ද නඟේ

පියුමන්ති ප්‍රියදර්ශනී කිවිඳියගේ බොහෝ නිර්මාණ තුළ ඈ ජීවිතයෙන් උකහා ගත් අත්දැකීම්හි පිළිබිඹුවක් පෙනේ. කුටුම්බ ජීවිතයේ සංකීර්ණ අවස්ථාවක් ඈ අපූරුවට තම පරිකල්පනය ඔස්සේ කවියට නගන්නී සූර කවිකාරියකගේ ලකුණු පෙන්වමිනි.

සඳත් ගිය පසු නින්දට
ඇවිත් මම නුඹෙ තුරුලට
සිඹිද්දී ඔය රෝස කම්මුල්
ඇයි ගියේ නුඹ අහකට

ඔහොම නෑ නුඹ ඉස්සර
දැවටුණා මගෙ තුරුලෙම
අපේ හුරතල් දෝනි විතරද
මැණිකෙ දැන් නුඹෙ ලෝකෙම

චේත්‍යා විදානපතිරණ කිවිඳිය සංකල්ප රූප නිර්මාණයෙහි හා කාව්‍යොක්ති භාවිතයෙහි දස්කම් දක්වන්නියක් බවට සාක්ෂි සැපයෙන සාර්ථක නිර්මාණ රැසකි. සංක්ෂිප්ත කවිය කෙරෙහි ඇගේ රුචිය පෙන්වන නිර්මාණ රැසකි. සබඳ එවැන්නකි.

ඉරි තැළී ගිය දා
ආදරේ බඳුන
හඬන සිත සනසා
පෙම පිදූ සබඳ

බිඳුණු තැන් අලවා
පිළිසකර කළ ද
හද රිදුම් කිසි දා
ඔබට ගත හැකි ද?

ආධුනික වූවත් කවියට ලොල් බැඳි අනාගතයේ කවිය පොහිණි කරනට සැඟවුණු හපන්කම් පෙන්වන මේ නිර්මාණ දෙස පාඨක අප සිත යොමුවීම මෙම කුලුඳුල් කවි කිවිඳියන් ගේ අපේක්ෂාවයි.

● බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment