කොටුවේ විරෝධයට ඊයේත් කඳුළුගෑස්

155

ගෝල්ෆේස් අරගල භුමියට මැයි 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයට මසක් සම්පූර්ණ වීම සහ එම ප්‍රහාරයට සම්බන්ධ වූ මහා මොළකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඊයේ (09 දා) සවස පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග කොටුව ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

මෙම විරෝධතාව සිවිල් හා බහුජන සංවිධාන විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග පිරිස සීසීකඩ දිවගිය ද යළිත් ඔවුන් පොලිස් මූලස්ථානය අසලට පැමිණ සිය විරෝධය දක්වන්නට වූහ.

විරෝධතාකරුවන්ගේ මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුවේ මාර්ග කීපයක දැඩි රථවාහන තදබදයක් ද හටගැනිණි. කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ රැකියාව නිමාකර ගමන් කරමින් සිටි පිරිස් හා මහමඟ රැඳී සිටි පිරිස් දැඩි අපහසුතාවට මුහුණ පෑහ.

මෙම විරෝධතාකරුවෝ අදාළ විරෝධතාව මුලින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පවත්වනු ලැබූහ.

“මිනීමරුවන්” දූෂිතයන් දිවි හිමියෙන් එදත් රැක්ක අදත් රකින සුපිරි ඩබල තොපිත් පල” වැනි වැකි සහිත පුවරු අතැතිව විරෝධතාව පාන්නට විය. එම ස්ථානයේ විරෝධය පෑ විරෝධතාකරුවන් ඉන්පසුව පාගමනින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිටට ළඟා වූහ. එලෙස ළඟාවූ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක පෙරළා ඉදිරියට යෑමට උත්සාහ දැරීමත් සමග පොලිසිය කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

කඳුළුගෑස් ප්‍රහාරය එල්ලවීමෙන් පසුව ද විරෝධතාකරුවන් ඊයේ සවස 6.00 වන විටත් එහි රැඳී සිට විරෝධය පානු දැකගත හැකි විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment