කොළඹ වරාය නගරයට ආයෝජන ලබා ගැනීම…

667

ගිය වසරේ (2022) අපගේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමත් සමග රටක් වශයෙන් අප බංකොලොත් බව ප්‍රකාශ කර ඇත. එවන් තත්ත්වයක් හමුවේ අපට මේ සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ දී වැඩි පරිශ්‍රමයක් දැරීමට සහ ආයෝජකයින් වෙත සාපේක්ෂව වැඩි පහසුකම් සැලසීමට ද සිදුවනු ඇති බව අපගේ අදහසයි. රට මුහුණ දුන් ලංකා ඉතිහාසයේ දරුණුතම විනිමය හා ආර්ථික අර්බුදය හමුවේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා එහි අරමුදල් වැඩසටහනකට ඇතුළත් වී ඇත. මේ නිසා අපට රටක් වශයෙන් බදු වැඩි කිරීම ඇතුළු එම අරමුදලේ බොහෝ කොන්දේසි ඉටු කිරීමට ද සිදුව ඇත. එහෙත් අප තේරුම් ගත යුතු වන්නේ මේ අයිඑම්එෆ් වැඩසටහන අපගේ ආර්ථික අර්බුදයට එකම විසඳුම නොවන බවයි.

මුහුද ගොඩකර අපේ රටේ භූමි ප්‍රමාණය වැඩිවනු ඇතැයි හෝ එසේ භූමි ප්‍රමාණය වැඩි වී අපේ රටේ භෞතික හැඩය වෙනස් වනු ඇතැයි අපි කුඩා කල කිසිසේත්ම නොසිතුවෙමු. එහෙත් එය මේ වන විට සිදුව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව කොළඹ වරාය නගරය නිසාය. කොළඹ වරාය නගරය යනු මහ මුහුද ගොඩ කර හදන ලද අලුත්ම බිම් කඩකි. එනම් මෙය අප රටට එකතු වූ අලුත්ම භූමියකි. මුහුද ගොඩ කර මෙම භූමිය නිර්මාණය කිරීමට සහ මේ දක්වා නිර්මාණය කර ඇති යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා සැලකිය යුතු මුදලක් වියදම් කර තිබේ. මේ සඳහා විශාල මුදලක් වැය වන නිසාත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය අපට නැති නිසාත් මෙවැන්නක් අපට තනියම ඉදි කළ නොහැකිය. ඒ නිසා මෙය ඉදිව ඇත්තේ චීන ආයෝජනයක් වශයෙනි. මෙය ඉදිකිරීමේ මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කි. ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජනය වන මෙම ව්‍යාපෘතිය ෆෝචූන් ග්ලෝබල් 500 ට අයත් සමාගමක් වන චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමෙහි අනුබද්ධිත චයිනා හාබර් ඉංජිනියරින් සමාගම තුළින් කොළඹ චෙක් පෝට් සිටි සමාගම විසින් සිදු කරනු ලබයි. මෙම චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් ද වේ. එසේම මෙය සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට දැනටමත් සම්බන්ධ කර ඇත.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු පසුගිය කාලයේ වේගයෙන් සිදු විය. ගිය වසරේ (2022) ජනවාරි 09 දින සිදු වූ සුවිශේෂී දෙයක් වූයේ කොළඹ වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රාංගණය විවෘත වීමයි. එසේ විවෘත කළ පදික මංතීරුව ඊට පසු දින (ජනවාරි 10) සිට මහජනතාව වෙනුවෙන් විවෘත වීමද සිදු විය. මේ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් කොළඹ වරාය නගරය වෙත ඇතුළුවීමට ද අවස්ථාව සැලසිණි. ඇතැම් අය මෙය ඉදි කිරීම ආරම්භ වන විට ප්‍රකාශ කළේ මේ ඉදිවන්නේ චීන කොලනියක් බවයි. එසේම මෙයට ඇතුළුවීමට ගාස්තු පවා ගෙවීමට සිදුවනු ඇති බවයි. මේ ගැන විවේචන කළ තවත් අය කීවේ කොළඹ වරාය නගරය ඉදි වූ පසු අපේ රටේ ජනයාට එයට ඇතුළුවීමට චීනයෙන් වීසා පවා ලබා ගැනීමට සිදු වනු ඇති බවයි. එහෙත් ඇත්තවශයෙන්ම එවැන්නක් සිදුව නැත. ඔබට කිසිම ගාස්තුවක් නැතුව නොමිලේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුමෙන් කොළඹ වරාය නගරයට පිවිස එහි අසිරිය අත්විඳිය හැකිය.

කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය සංවර්ධනය අරමුණු කර ගත් ප්‍රමුඛතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹට යාබදව මුහුද ගොඩකර ඉදි කළ භූමියක් වන කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් සහ ප්‍රතිලාභ රැසක් ලබා දෙන සුවිශේෂී ආයෝජන අවස්ථාවක් ලෙස ද සඳහන් කළ හැකිය. කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (Colombo Port City Economic Commission) මගින් වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ස්වාධීන පාලන රාමුවක් නිර්මාණය කිරීම නිසා දකුණු ආසියාව තුළ ව්‍යාපාර කටයුතු සිදු කළ හැකි පහසුම ස්ථානය බවට මෙය පත් වී ඇත. මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක සමස්ත ආයෝජනයක් සමඟින් හෙක්ටයාර 269ක් පුරා විහිදෙන නවීන, හරිත සහ ස්මාර්ට් නගරයක් බවට පත් වීමට නියමිතය. මෙම ජාත්‍යන්තර මට්ටමේ නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත ජනගහනය 273,000ක් ලෙස ගණන් බලා ඇතැයි කොළඹ චෙක් පෝර්ට් සිටි සමාගම (CHEC Port City Colombo Pvt Ltd) පවසයි. එමෙන්ම කොළඹ වරාය

නගරය මගින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට වාර්ෂිකව ලබා දීමට අපේක්ෂිත දායකත්වය ඇමරිකානු ඩොලර් බිලියන 13 ක් පමණ වන අතර, එය මෙරට වත්මන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් පමණ වේ. එසේම මේ වටිනාකම මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තය මගින් සපයන වාර්ෂික දායකත්වය මෙන් 3.5 ගුණයක් බවත් එම සමාගම කියයි. මේ සමාගම, ශ්‍රී ලංකා රජය සමඟ එක් ව ක්‍රියාත්මක කරන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය නියාමන ප්‍රමිතීන්ට අනුකූල වෙමින්, විනිවිද පෙනෙන ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ප්‍රවර්ධනය කරයි. ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති හා ක්‍රියාවලියක් හරහා විවිධත්වයෙන් යුත් ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා රාශියක් හඳුන්වා දෙමින් එහි අනාගත ආයෝජකයින් වෙත නිශ්චල දේපළ සංවර්ධනය කර ගැනීමේ හැකියාව, කලාපීය වෙළෙඳ මෙහෙයුම් සඳහා සහයෝගය, සුඛෝපභෝගී නේවාසික පහසුකම් ඇතුළු තවත් බොහෝ ප්‍රතිලාභ ලබා දෙන බව ද කොළඹ චෙක් පෝර්ට් සිටි සමාගම කියයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් විශේෂයෙන් ආයෝජකයින් වෙත තොරතුරු තාක්ෂණ සක්‍රීය සේවා, මූල්‍ය සේවා, නැව් ගත කිරීම් ආශ්‍රිත සේවා සහ සාමුද්‍රීය සේවා, ප්‍රධාන වෘත්තීයමය සේවා, ආයතනික මූලස්ථාන මෙහෙයුම් සේවා මෙන්ම සංචාරක හා විනෝදාස්වාදය ආශ්‍රිත පහසුකම් ද ප්‍රවර්ධනය කෙරෙනු ඇත. ඊට අමතරව ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රාථමික හා ද්විතීයික ව්‍යාපාර ලෙස වර්ගීකරණය කෙරෙන ව්‍යාපාර සඳහා වසර 25කට වැඩි කාල වකවානුවක් සඳහා ආකර්ෂණීය බදු සහන ලබා දීම් සහ බදුවලින් නිදහස් කිරීම් මගින් කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර පිළිබඳ රෙගුලාසි (Businesses of Strategic Importance – BSI) හඳුන්වා දී ඇත.

සැලසුම්ගත ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය, එම ආකෘතියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙන්ම එකම ව්‍යාපෘතිය ලෙස සඳහන් කළ හැකිය. එය සැලසුම් කිරීමේ දී ස්වීඩනයේ SWECO, එක්සත් රාජධානියේ Atkins සහ සිංගප්පූරුවේ Surbona Jurong හි විශේෂඥ දැනුම ලබාගෙන ඇත. මෙම හෙක්ටයාර 269 ක භූමි භාගය කළමනාකරණය සඳහා නාගරික සැලසුම්, උපයෝගිතා සේවා, භූමි අලංකරණය සහ තිරසාර සංවර්ධන රෙගුලාසි ඊට ම ආවේණික අයුරින් නිර්මාණය කර ඇත. ඒ සඳහා සුවිශේෂී සංවර්ධන පාලන රෙගුලාසි
(Development Control of Regulations) ද සකස් කර ඇත. නවීන පන්නයේ ජීවන රටාවක් ප්‍රවර්ධනය කරමින්, වාණිජ, විනෝදාස්වාද සහ සාමාජීය සංකල්ප ප්‍රවර්ධනය කරනු ලබන දකුණු ආසියාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට කොළඹ නගරය පත් කෙරෙනු ඇත. මෙම විශේෂ ව්‍යාපෘතිය වර්ග මීටර් 500ල000 කින් සමන්විතය. එය 2023 සහ 2024 කාල සීමාව තුළ අදියර දෙකකින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. එමෙන් ම සුඛෝපභෝගි යාත්‍රා 150කට වැඩි ප්‍රමාණයක් නැංගුරම් දැමිය හැකි මරීනා පහසුකම්වලින් මෙන්ම විනෝදාස්වාදය ප්‍රවර්ධනය කරන සුවිශේෂී කලාපවලින් කොළඹ වරාය නගරය සමන්විත වේ. මෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික අධ්‍යාපනය කෙරෙහි මූලික අවධානය යොමු කරමින් උසස් අධ්‍යාපනික අවස්ථා ප්‍රවර්ධනය කරන ජාත්‍යන්තර පාසලක් ද ස්ථාපිත කිරීමට නියමිතය. සිසු සිසුවියන් 1000 කට පමණ අධ්‍යාපනය ලැබීමේ හැකියාව සහිත මෙම ජාත්‍යන්තර පාසල තුළ නේවාසිකාගාර පහසුකම් ඇතුළු පහසුකම් රැසක් අන්තර්ගත වේ.

මේවාට අමතරව කොළඹ වරාය නගරය තුළ ආසන 4,000 ක් සහිත ශ්‍රවණාගාරයකින් හා 20,000 කට පමණ ඉඩ පහසුකම් සහිත බහුකාර්ය ප්‍රදර්ශන අවකාශයකින් සමන්විත, වර්ග මීටර් 78,000 කට අධික වපසරියකින් යුත් සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් සහ නවීනතම පහසුකම් හා ඇඳන් 350කට අධික සංඛ්‍යාවක් සහිත ජාත්‍යන්තර මට්ටමේ රෝහලක් ස්ථාපිත කිරීමට ද නියමිතය. එහි නිර්මාණය කර ඇති ජාත්‍යන්තර සන්නාමයක් සහිත ඒකාබද්ධ නිවාඩු නිකේතනවලින් සමන්විත හෙක්ටයාර 15 ක උද්‍යානය සහ හෙක්ටයාර 10 ක භූමි භාගයක පිහිටා ඇති සුඛෝපභෝගී විලා ව්‍යාපෘතිය සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගැනීමට සමත් සුවිශේෂී අංගයක් ද වනු ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනුකලාප පහකින් නිර්මිතය. මෙහි ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය විශාල භෞතික අවකාශයක නිර්මාණය වූ ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අතිනවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම්වලින් ද සමන්විත වනු ඇත. නූතන තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය ද අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වනු ඇත.

මේ පසුබිම තුළ අපට කිව හැක්කේ මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ආයෝජන හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නක් වනු ඇති බවයි. ‘දකුණු ආසියාවේ දොරටුව’ ලෙස විරුදාවලිය ලබා ඇති කොළඹ වරාය නගරය කලාපීය වෙළෙඳාම, වාණිජ කටයුතු සහ සංචාරක ව්‍යාපාරය සඳහා වඩාත් සුදුසු, කේන්ද්‍රස්ථානයක් ලෙස පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා සූදානමින් සිටියි. එසේම ගෝලීය වෙළෙඳපොළ සමඟ එහි ඇති සබඳතාව සහ ජාත්‍යන්තර වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා ඊට ඇති හැකියාව ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ පහසුව වර්ධනය කරයි. එහෙත් වරාය නගරය සඳහා මේ ආයෝජකයින් ආකර්ෂණය වීම ඉබේම සිදු වන්නක් නොව ඒ සඳහා රටක් වශයෙන් අප විසින් ආයෝජකයින් වෙත පහසුකම් සැලසිය යුතු වේ.

මේ සියලු කරුණු මෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අප සඳහන් කළ යුතු තවත් කරුණු කිහිපයක් තිබේ. ගිය වසරේ (2022) අප විසින් අපගේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමත් සමග රටක් වශයෙන් අප බංකොලොත් බව ප්‍රකාශ කර ඇත. එවන් තත්ත්වයක් හමුවේ අපට මේ සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ දී වැඩි පරිශ්‍රමයක් දැරීමට සහ ආයෝජකයින් වෙත සාපේක්ෂව වැඩි පහසුකම් සැලසීමට ද සිදුවනු ඇති බව අපගේ අදහසයි. රට මුහුණ දුන් ලංකා ඉතිහාසයේ දරුණුතම විනිමය හා ආර්ථික අර්බුදය හමුවේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා එහි අරමුදල් වැඩසටහනකට ඇතුළත් වී ඇත. මේ නිසා අපට රටක් වශයෙන් බදු වැඩි කිරීම ඇතුළු එම අරමුදලේ බොහෝ කොන්දේසි ඉටු කිරීමට ද සිදුව ඇත. එහෙත් අප තේරුම් ගත යුතු වන්නේ මේ අයිඑම්එෆ් වැඩසටහන අපගේ ආර්ථික අර්බුදයට එකම විසඳුම නොවන බවයි. එනම් අයිඑම්එෆ් වැඩසටහන අප වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ උත්සාහයේ එකම විසඳුම් මග නොව, එය බහුවිධ විසඳුම් මාර්ගවල එක් (වැදගත්) විසඳුම් මාර්ගයක් පමණක් විය යුතු බව අපගේ අදහසයි. එහෙත් අපට පෙනෙන්නේ නම් රජය විසින් අයිඑම්එෆ් පිහිට පැතීම එකම විසඳුම ලෙස සිතා කටයුතු කරමින් සිටින බවයි. මේ නිසා අප වැටී සිටින වළෙන් ගොඩ ඒමට නම් අපට තවත් බොහෝ කළ යුතු දේවල් තිබේ. ඒ සඳහා රජය යොමු වී ඇති බවක් අපට පෙනෙන්නට නැත. එය කනගාටුවට කරුණකි. මූලික වශයෙන් අප විසින් අපගේ විදේශ විනිමය ලැබීම් මාර්ග වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා අප විසින් රටක් වශයෙන් ණය නොවෙන විදේශ විනිමය ආදායම් ලැබීම වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා රටට ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද ඉතාමත් වැදගත්ය. ඒ සඳහා අපට ඇති කදිම අවස්ථාවක් වන්නේ මෙම කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. මේ සඳහා අයිඑම්එෆ් වැඩසටහනට දක්වන මහන්සිය සහ ප්‍රමුඛත්වයෙන් යම් තරමක් හෝ දැරුවහොත් මෙය රටට විශාල විදේශ විනිමය ලැබීම් මාර්ගයක් කර ගැනීමට හොඳටම හැකියාව තිබේ. එසේ වරාය නගර ව්‍යාපෘතියේ භූමිය බදු ගනිමින් ලැබෙන ආයෝජන මුදල් ණය මුදල් නොවෙන නිසා එම ආයෝජන අරමුදල් මගින් රටේ ණය බර තවදුරටත් වර්ධනය වන්නේ ද නැත. ඒ නිසා තව තවත් ණය ගැනීමෙන් පමණක් මේ ප්‍රශ්නයට අපට විසඳුම් සෙවිය නොහැකිය. එබැවින් රජයේ කඩිනම් අවධානය මේ ගැන ද යොමුකර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය වාතාවරණය සහ පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් වැදගත් බවත් අපි රජයට සහ ආර්ථික බලධාරීන්ට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment