රාමසාන් දවසේ බාස්කට් බෝල් ගහන්න හැදූ සංගමය තීරණය ආපස්සට ගනී!

101

ශ්‍රී ලංකා පාසල් බාස්කට් බෝල් සංගමය මගින් වයස අවුරුදු 20 න් පහළ බාස්කට් බෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග එළඹෙන රාමසාන් දිනයේ (11 වැනිදා) පැවැත්වීමට ගත් උත්සාහය අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ව්‍යර්ථ වී ඇති බව වාර්තා වේ.

තරගාවලිය පිළිබඳව සකස් කරන ලද කාල සටහනක් ද රැගෙන බාස්කට් බෝල් සංගමයේ නියෝජිතයෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවට ඊයේ පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා කර ඇතත් අමාත්‍යාංශය පැත්තෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

කෙසේ වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයක් නොමැතිව අදාළ තරග කාල සටහන එළි දැක්වීම පිළිබඳව ද එහිදී බාස්කට් බෝල් සංගමයේ නියෝජිතයන් දෝෂාරෝපණයට ලක් වී තිබේ.

ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධානම ආගමික උත්සවය යෙදෙන ලබන 11 වැනිදා (රාමසාන්) දිනයේ අවුරුදු 20 න් පහළ බාස්කට් බෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග පැවැත්වීමට අදාළ සංගමය කටයුතු කර තිබීම පිළිබඳව බොහෝදෙනකුගේ විමතියට ද හේතු විය.

අදාළ තරගාවලිය ලබන 06 වැනිදා ආරම්භ කර 12 වැනිදා අවසන් කිරීමට නියමිත බව එම කාල සටහනේ දැක්වෙන අතර දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල් 18 ක් කාණ්ඩ හතරක් යටතේ ඒ සඳහා තරග වැදීමට සූදානමින් සිටියි.

කෙසේ වෙතත් බාස්කට් බෝල් සංගමය සඳහන් කරන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර තරගාවලිය පවත්වා අවසන් කිරීමට අවශ්‍ය බැවින් මේ ආකාරයේ කාල සටහනක් සකස් කර ඇති බවයි.

එහෙත් අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට නියමිත දිනය වන්නේ මැයි මස 06 වැනිදා ය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment