කෝටියේ අල්ලසට සභාපති-හිටපු මන්ත්‍රී ඇතුළු 3 ක් රිමාන්ඩ් – මුලින් ඉල්ලූ ලක්‍ෂ 70 ප්‍රමාද වූ නිසා දඩ ලෙස තවත් ලක්‍ෂ 30 ක් ඉල්ලලා

2386

අල්ලස් නිලධාරි
සභාපති කිසිවකුගෙන් අල්ලස් ඉල්ලා හෝ ලබාගෙන නැහැ – නීතිඥ කියයි

දැවිතෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය වාර්ෂික පරිසර ආරක්‍ෂණ බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ 100 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන් පතිරගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන චමින්ද අනුරුද්ධ පොල්ගම්පල හා ටෙනිසන් ෆොන්සේකා යන සැකකරුවන් අද (13 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙරේදා (11 වැනිදා) නියෝග කළේය. 08 – පිටුවට

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් අද (13දා) ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට සිදුකිරීමට ඉඩකඩ සලසමින් එලෙස කෙටි දිනයකට ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

පළමු සැකකාර සභාපතිවරයා තැරැව්කරුවන් මගින් එකී අල්ලස ඇමරිකානු ඩොලර්වලින් ඉල්ලා ඇති බවත් මුලින්ම ඉල්ලා සිටි රුපියල් මිලියන හතක මුදල ලබාදීමට ප්‍රමාදවීම නිසා දඩ වශයෙන් තවත් මිලියන තුනක මුදලක් ද එකතු කර මිලියන 10 ක මුදලක් ඉල්ලා ඇති බවත් අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට පැවසීය.

සිය සේවාදායකයා පැමිණිලිකරුගෙන් හෝ ඔහුගේ නියෝජිතයන්ගෙන් අල්ලස් ඉල්ලා හෝ ලබාගෙන නොමැති බවත්, පසුගිය 10 වැනිදා පස්වරුවේ වීඩියෝගත කරමින් ඔහුගේ කාර්යාලයට කඩාවැදුණු විමර්ශන නිලධාරීන් දෙවන සැකකරු කළ ප්‍රකාශයක් මත ඔහුව අත්අඩංගුවට ගන්නා බව දන්වා සෙසු සේවකයන් ඉදිරියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි සැකකාර සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයට පැවසීය. පරිසර බලපත්‍රයක් ලබාදීමට තුටු පඬුරක් ලෙස එකී අල්ලස ලබා ගත්තේ යැයි ඔහුට චෝදනා නඟා ඇතත් සැබැවින්ම ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවන සැකකරු කළේ යැයි කියන ප්‍රකාශයක් මත වන්නේ යැයි ද පැවසු ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා පැමිණිල්ල කාර්යාල පටිපාටි නීතිය අනුව කටයුතු කර නොමැති බව ද අධිකරණයට පැවසීය.

චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්‍ෂියක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි ද පළමු සැකකාර සභාපතිවරයාගේ නීතිඥවරයා අධිකරණයට පැවසීය. එම කරුණු මෙන්ම ඔහුගේ බිරිඳ නිවුන් දරු ප්‍රසුතියක් සඳහා ලබන 15 වැනිදා රෝහල්ගත කිරීමට නියමිත බැවින් එම කරුණු ද සලකා ඕනෑම කොන්දේසියක් මත සිය සේවා දායකයාට ඇප ලබාදෙන ලෙසට ද ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන ස්ථානයේදී ද අල්ලස් මුදල භාරගත්තේ කුමන ස්ථානයේදී ද යන සරල කරුණු පවා අල්ලස් නිලධාරීන් අධිකරණයට පෙන්වා දී නොමැති බව දෙවන සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා අධිකරණයට පැවසීය.

යමක් මිලදී ගැනීම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි එක්තරා සුපිරි වෙළෙඳසලකට පැමිණ සිටියදී අල්ලස් නිලධාරීන් සමඟ පැමිණි පුද්ගලයකු සිය සේවාදායකයා අසල තිබූ බකට් එකක් තුළට එකී මුදල් පාර්සලය දමා ඇති බවත් ඒ සැණින් ක්‍රියාත්මක වූ අල්ලස් නිලධාරින් ඔහුව පමණක් නොව ඔහු පැමිණෙනතුරු මුදල් කවුන්ටරය අසල රැඳී සිටි තෙවන සැකකරුවද අත්අඩංගුවට ගෙන ඇතැයි දෙවන සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා තෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා අධිකරණයට පැවසීය.

සී.සී.ටී.වී. කැමරා සවිකර ඇති විශාල පිරිසක් නිරතුරුවම ගැවසෙන එවැනි ස්ථානයකදී සිය සේවාදායකයා එලෙස අල්ලස් ලබාගත් බව පැවසීම විහිළු සහගත කරුණක් වන්නේ යැයි පැවසු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා එම සැකකරු එම මුදල් පාර්සලය ලබාගත් බවට කිසිදු සාක්‍ෂියක් නොමැති බවත් පළමුවන සැකකාර සභාපතිවරයා සමඟ පැමිණිලිකරුගේ පවතින ගැටුමක් මුල්කරගෙන ඔහුව කුමන වරදකට හෝ කොටුකර ගැනීමේ අරමුණින් අල්ලස් නිලධාරීන් කඩිමුඩියේ මෙවැනි ව්‍යාජ වැටලීමක් සිදුකර ඇතැයි ද අධිකරණයට පැවසීය. සියලුම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ බවත් පළමුවන සැකකරුව ජාතික රෝහලට ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසටත් අධිකරණ වෛද්‍ය නිලධාරියා නිර්දේශ කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසීය.

ඒ අනුව සැකකාර සභාපතිවරයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසට අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. නීතිඥ සජිවිකා ඉලන්දර මෙනවිය හා නීතිඥ කාවින්ද බණ්ඩාර මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා පළමුවන සැකකරු වෙනුවෙනුත්, නීතිඥ ප්‍රසන්න අරම්පත් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. උප පොලිස් පරීක්‍ෂක රංජිත් බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment