මේ ආණ්ඩුව ක‍්‍රිකට් ගොඩදාන්නත් හමුදාවට භාර දෙයි…

207

* අවුරුදු දහයක් යනකල් දේශපාලනය අමතක කරලා අපි එකට එකතු වෙන්න ඕන
* කොවිඞ් ප‍්‍රශ්නයට ආණ්ඩුවට විශ්වාසභංගයක් ගේන්න ඕන
* දැනට ඉන්න පරිණතම දේශපාලනඥයා රනිල් තමයි


  සාකච්ඡා කළේ
 උදේශ සංජීව ගමගේ

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාර්ලිමේන්තු ගමනත් සමගම, විපක්ෂයෙන් (සජබයෙන්) මන්ත‍්‍රීවරු දසදෙනෙක් ඔහු සමග එකතු වෙන බවට ආරංචි පැතිර ගියේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දුගේ නමද ඒ ලැයිස්තුවට අයත්ව තිබිණි. හරින් ප‍්‍රනාන්දු, පාස්කු ප‍්‍රහාරයෙන් පසු සුවිශේෂී චෝදනා ලබන චරිතයක් බවට පත්විය. ඒ ඔහු කරන ලද ප‍්‍රකාශයක් නිසාය. අනතුරුව සජබය තුළ වඩාත් කතාබහට ලක්වන ගොන්නට ද ඔහු ඇතුළත් විය. හරින් ප‍්‍රනාන්දු සමඟ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය. මේ කතාබහ කරන්නේ වර්තමාන දේශපාලනයේ විවිධ විෂය කාරණා ගැනය.


 ප‍්‍රශ්නය – මන්ත‍්‍රීතුමා, ස.ජ.බ.යෙන් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවා. ඒක ජයගන්න බැරි වුණොත් ඒ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට යනවා නේද?

 පිළිතුර- මෙහෙමයි, අපි විශ්වාස කරනවා රටේ ජනතාව එවැනි තැනකට යන එකක් නෑ කියලා. ඒකට හේතුව

 පසුගිය යහපාලන ආණ්ඩුව සමයෙත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටත්, ඇමැති රවි කරුණානායක මහතාටත් විශ්වාසභංග ගෙනාවා.

 ඒ මොහොතෙදී යහපාලන රජය ඉතාම ශක්තිමත් තැනක හිටියේ. ඒ විශ්වාසභංග ජයග‍්‍රහණය කළාට, සමාජයට ගිය මතය වෙනස් වුණේ නෑ. උදාහරණයක් හැටියට ‘බැඳුම්කර.. සිද්ධිය ගැන සමාජගත වෙලා තිබ්බ මතවාදය වෙනස් කරන්න විශ්වාසභංග ජයග‍්‍රහණය කිරීම හේතු වුණේ නෑ. ඉතිං මේ මොහොතේ අපිටත් වුවමනා වෙලා තියෙන්නේ එහෙම දෙයක්. ආණ්ඩුවේම එහෙම නැත්නම් පොහොට්ටුවේම නාමයෝජනාවලට අත්සන් කරපු මහලේකම්වරයා කියනව නම් මේක වැරදියි කියලා, එහෙමත් නැත්නම් ආණ්ඩුවම මේ සිද්ධිය නිසා ආඬි හත්දෙනාගේ කැඳ හැලිය බවට පත්වෙලා තියෙනවා නම් තවත් කවර කතා ද? ඇත්තටම එහෙම තත්ත්වයක් යටතේ විශ්වාසභංගයක් ගෙනාවේ නැත්නම් විපක්ෂයක් හැටියට අපි ෆේල්.

 ප‍්‍රශ්නය: ආණ්ඩුවේ අය එහෙම කීවට විශ්වාසභංගයේදී සහයෝගය දෙයි කියලද ඔබ හිතන්නේ.

 පිළිතුර – තෙල් මිල වැඩි කරපු එක වැරදියි කියලා ‘ලිඛිතවම. රටට කියල, ඊට පස්සෙ මහ කලබැගෑනියක් කරලා. රට ඉන්න අයත් ගෙන්නගෙන විශ්වාසභංගයේදී ඒකට සහයෝගය පළ කළේ නැත්නම්, රෙදි නැතිව දේශපාලනය කරන එක ඊට වඩා හොඳයි.

 ප‍්‍රශ්නය- හැබැයි තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කරන්න සමගි ජන බලවේගය පාවිච්චි කරන්නේ ඉතාම ග‍්‍රාම්‍ය සහ යල්පැනපු උපක‍්‍රම.

 පිළිතුර – මොනවද යල්පැනපු උපක‍්‍රම…..

 ප‍්‍රශ්නය – ඇයි තෙල් මිල ඉහළ දැමීම වැරදියි කියලා ‘මිනිකූපර්. වලින් උද්ඝෝෂණය කිරීම, ඒවාට ගහන්නෙ තෙල් නෙමයිද?

 පිළිතුර – ඕකට මම සහභාගි වුණේ සති දෙකක් පමණ නිවාඩු පිට ඉන්න මොහොතකයි. අපේ සහෝදර මන්ත‍්‍රීවරු කීප දෙනෙක් ඒක සංවිධානය කරල තිබුණේ. ඇත්තටම ඒකෙ අරමුණ වුණේ විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කිරීමයි. හැමෝම පාපැදි සහ යතුරුපැදිවලින් එන්නේ නැහැනේ. සමහර අය කුඩා ප‍්‍රමාණයේ ට‍්‍රක් රථ, ලොරි රථ, ට‍්‍රැක්ටර් රථවල ආවා. ත‍්‍රිරෝද රථවල ආවා. මම බස් එකක ආවා. මෙම වාහනවල එන අයට ඇතිවන අපහසුතාවය පෙන්වන්නයි අපට ඕන වුණේ. රාජපක්ෂලා ෆුට් සයිකල් පැද්දට කිසිම හරයක් තිබුණේ නෑ. මේ උද්ඝෝෂණයේ සියලූම ක්‍ෂේත‍්‍රවල විරෝධය සංකේතාත්මකව පෙන්නුවා. ඉතිං මේක ග‍්‍රාම්‍ය ද උපක‍්‍රමශීලී නැද්ද කියන එක බලන කෙනාගේ දේශපාලන කෝණය අනුව වෙනස් වෙනවා. ඒක අපිට අදාළත් නැහැ.

 ප‍්‍රශ්නය – හරි අපි හිතමු, මේ මොහොතේ සමගි ජන බලවේගය රටේ ආණ්ඩුව කරනවා කියලා. මේ මිල ඉහළ දැමීම සිද්ධ වෙන්නේ නැද්ද?

 පිළිතුර – අපි මිල සූත‍්‍රයක් ගෙනැල්ලා ඒක අනුව කටයුතු කළානේ. එතකොට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ – පහළ යෑම අනුව මිල තත්ත්වයන් වෙනස් වෙනවා.

 ප‍්‍රශ්නය – ඒ මිල සූත‍්‍රයේ විදිහට ගණන් හැදුවොත් තෙල් මිල මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්.

 පිළිතුර – මිල සූත‍්‍රය ගැන නිශ්චිත අධ්‍යයනයක් මට නෑ. නමුත් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යෑමේදී ඒ වාසිය ජනතාවට දෙන්න පුළුවන් කියන සරල දේ කවුරුත් දන්න දෙයක්. දැන් උදාහරණයක් හැටියට ටික කාලයකට උඩදී ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඩොලර් 26 ට පහළ ගියහම ඒ වාසිය ජනතාවට නොදී, අදාළ ලාභය සංචිතයට දානවා කිව්වා. හැබැයි ඒ අරමුදලට වෙච්ච දෙයක් නෑ. තෙල් මිල වැඩි වුණොත් ඒ අරමුදලින් ජනතාවට සහනයක් දෙනවා කිව්වා. ඒ කතා කෝ… අපේ ආණ්ඩුව කාලෙ රුපියල් හතරකින් මිල වැඩිවුණ මොහොතේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ අය දියවන්නාවේ බයිසිකල් සවාරි ගියේ.

 ප‍්‍රශ්නය – දැන් තෙල් සංස්ථාවේ පාඩුව බිලියන 45 යි. මේ පාඩුව එන්නේ මේ ආණ්ඩුවේ වරදකින් නෙවෙයි. අවුරුදු දහයක් ආපස්සට ගිහින් කෝප් කමිටුවේ වාර්තා බැලූවොත් මේක තේරුම් ගන්න පුළුවන්. හැම ආණ්ඩුවක්ම මේකට වගකියන්න ඕන. එතකොට මේ මිල වැඩි කිරීම, සංචිත අරමුදල් ඒ පාඩුව පියවන්න යොදා ගැනීම වැරදි ද?

 පිළිතුර – නෑ…මිල ඉහළ නොදැමිය යුතුයි කියන තර්කය නොවෙයි මම ගෙනඑන්්නේ. ඒ ඒ කාලවලට අදාළව ඒක සිදුවිය යුතුයි. නමුත් මෙතැනදී අමු අමුවේම රටේ ජනතාව ගොනාට ඇන්දවීමක් කළා. මේ වෙනකොට රටේ ජනතාව අර්බුදයක ජීවත්වෙන වෙලාවක්. එතකොට අපි හිතනවා මීට වඩා අවංකවම කටයුතු කරන්න තිබුණා කියලා. හරි ඔබ කියන එක ඇත්ත. මේක හැම ආණ්ඩුවක්ම නිවැරදි කර නොගත්ත වරදක්. හැබැයි අමතක කරන්න එපා මේ ආණ්ඩවේම ඉන්න උදවියට 2005 ඉඳලා අවස්ථා තුනක්ම ඒ වරද නිවැරදි කරගන්න අවස්ථාව රටේ ජනතාව තමන්ගේ ඡන්දයෙන් දීල තියෙන එක. විපක්ෂයට බැණ බැණ ඉන්නේ නැතුව ඒ වරද නිවැරදි කරන්න තිබුණානේ. කොටින්ම කීවොත් පාඩු ලබන ආයතන ගොඩදානවා කියන එක මේ අයගේ ‘සාම්ප‍්‍රදායික. සහ ‘නිත්‍ය. ඡන්ද පොරොන්දුවක්. ඒ වගේ ඡන්ද පොරොන්දු ගණනාවක් තියෙනවා. රට, ජාතිය බේරගන්නවා. රටේ සම්පත් විකුණන්නේ නෑ. නීතිය සැමට සමානයි. නීතියේ ආධිපත්‍ය සුරකිනවා. ඔය වගේ තව ගණනාවක් තියෙනවා. ඒ එකක්වත් කරන දේවල් නොවෙයි.

 ප‍්‍රශ්නය – ඔය කියන විදිහට විශ්වාසභංගය ගේන්න තිබුණේ ආණ්ඩුවට විරුද්ධවනේ.

harin2පිළතුර- නෑ, මේක ප‍්‍රමුඛ කාරණයක්. හරිනම් විශ්වාසභංගය ගේන්න ඕන කොවිඞ් තත්ත්වය කළමනාකරණය කර නොගැනීම සම්බන්ධයෙනුයි. මරණ, ආසාදිතයන් වාර්තාවීම, මේවා පාලනය කර නොගැනීම, දත්ත පිළිබඳ විනිවිදභාවයක් නොමැතිවීම මේ වගේ කාරණා ගණනාවක් තියෙනවා. ඡන්දයක් නිසා රට ඇරලා පළමුවැනි රැල්ල ගෙන්වා ගත්තා. බ‍්‍රැන්ඩික්ස් පොකුර ගැන රටට හංගලා දෙවැනි රැල්ල ගෙනාවා. ඒක කළේ 20 වැනි සංශෝධනය සම්බන්ධ කරගත යුතු නිසයි. සිංහල අවුරුද්දට රට වැහුවේ නෑ. තුන්වැනි රැල්ලත් ආවා. ආණ්ඩුවේ මේ නොහැකියාවට එරෙහිව විශ්වාසභංගයක් එයි. මේ මොහොතේ වැදගත් වුණේ ඉන්ධන ප‍්‍රශ්නයයි.

 ප‍්‍රශ්නය – ඔය කියන විදිහට ලෝකේ බොහෝ රටවල ආණ්ඩුවලට එරෙහිව විශ්වාසභංග ගේන්න වෙයි. මොකද ඒ රටවලත් තිබෙන්නේ මෙවැනිම තත්ත්වයක්.

 පිළිතුරු – නෑ ඔබ වරද්දගත්තා. බොහෝ රටවල් අවශ්‍ය මොහොතේ අවශ්‍ය පියවර ගත්තා. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ඔස්ටේ‍්‍රලියාව කිහිප වතාවක් ලොක්ඩවුන්් කළා. පසුගිය සතියේ නැවත ලොක්ඩවුන් එකකට ගියා. ඒ ‘ඩෙල්ටා ප‍්‍රභේදයේ. ව්‍යාප්තිය නිසයි. අපට එහෙම සැලසුමක් නෑ. ලෝකයේ අනිත් රටවල් වැක්සින් කරලා ඉවරයි. සමහර රටවල තව ඉතිරිවෙලා තියෙන්නේ ඉතාම සුළු ප‍්‍රතිශතයක්. අපේ රටේ මොකද කරන්නේ, වැක්සින් ගහන්න ඕන කාලෙ පැණි පෙව්වා. මේකට විiාවෙන් උත්තර දෙන්න ඕන කියන කාලෙදි මිථ්‍යාව ඉස්සරහට දාගත්තා. ගංගාවලට කළගෙඩි විසිකළා. වීසි කරපු අයටත් කොවිඞ් හැදුණා. මේ වගේ ගොන් තකතීරු වැඩ නිසා ඒකට වන්දි ගෙවන්න වුණේ මේ රටේ දිළිඳු යමක් කරගන්න බැරි ජනතාවට. එන්නත ගහගත්තෙත් ඇති – හැකි අය සල්ලිවලටත් ගහගත්තා. සෞඛ්‍ය ඇමැතිවරු මතක තියාගන්නත් බැරි තරම්. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරුත් එහෙමයි. එහෙත් වැඬේ අකර්මණ්‍යයි. අපි රණවිරුවන් ගැන කිසිසේත් අවතක්සේරු කරන්නේ නෑ. ඒ අයගේ මේ මොහොතේ ක‍්‍රියාකලාපයත් අගයනවා. ඒත්, දොස්තරවරු, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ගතයුතු ක‍්‍රියාමාර්ග ගැන කියද්දිත්, මේ ගැන තීන්දු තීරණ ගන්නේ වෙනත් අය. මම පුදුම වෙන්නේ නෑ, ඉස්සරහට ”කි‍්‍රකට් ගොඩගැනීමත්” හමුදාවට භාර දුන්නොත් ජනාධිපතිතුමා කතා කරලා ”ශවේන්ද්‍ර මේක පොඞ්ඩක් බලන්න” කියන දවස වැඩි ඈතක නෑ. වගකිවයුතු මාධ්‍යයක් විදියට ස්වාධීනව හොයල බලන්න වෙනත් රටවල් මේක කළමනාකරණය කරලා තියෙන විදිහ.

 ප‍්‍රශ්නය – හිටපු අගමැති, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ දැන් නැවතත් පාර්ලිමේන්තුවේ. ඔහු පාර්ලිමේන්තු පැමිණෙනවා කියන දවස්වලම ස.ජ.බ. ය කලබල වෙලා පාඨලී චම්පික රණවකට ඉහළ තනතුරක් දෙන්න සූදානම් වුණා. ඇයි ඒ හදිසිය.

 පිළිතුර – ඒක බොරුවක්, අපේ පක්‍ෂයේ පළමු සංවත්සරය දැනට මාස කිහිපයකට උඩදී තිබුණා. එතකොට රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු එන කතාවක් තිබුණෙත් නෑ… හැබැයි අපි එදා තීන්දු කළා පාඨලීට ස.ජ.බ. යේ තනතුරක් දිය යුතුයි කියලා. එහි යම් ප‍්‍රමාදයක් ආවේ යම් යම් දේ ගැන දෙපාර්ශ්වය අතර සාකච්ඡා විය යුතු දේවල් තිබුණු නිසයි. නැත්නම් මෙය කඩිමුඩියේ සිද්ධවෙච්ච දෙයක් නෙවෙයි.

 ප‍්‍රශ්නය – ඒත් මන්තී‍්‍රතුමා මනෝ ගනේෂන් මන්තී‍්‍රවරයා කියනවා හරින්ගෙයි, චම්පිකගෙයි ප‍්‍රශ්නය විසඳා ගත යුතුයි සියල්ලට පෙර කියලා. ඇයි ඒ…

 පිළිතුර – බොහොම කෙටි පිළිතුරක් තියෙන්නේ. එහෙම දෙයක් නෑ. සමහර අය ප‍්‍රශ්න හදන්න යනවා. සමගි ජනබලවේගය තමන්ගේ ස්ථාවරය ගොඩන`ගා

 ගන්නකොට ජනතාව ඒ වටා එක්රොක් වෙනකොට එහෙම කතා එනවා.

 ප‍්‍රශ්නය – රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවට එනකොට ස.ජ.බ. යේ මන්තී‍්‍රවරු 16 ක් ඔහුගේ නායකත්වය පිළිගන්න බව කිව්වා. ඔබත් ඒ ගොඬේ ඉන්නවද?

 පිළිතුර – මගේ නමත් ඒ ලැයිස්තුවේ තිබෙන බව මා දැක්කා. ලැයිස්තු හදපු අයත් මගේ නම දාල තියෙනවා. එහෙම තීන්දුවක් නෑ.

 ප‍්‍රශ්නය – පාර්ලිමේන්තුවේදී ඔබ හිටපු අගමැතිවරයාගේ අසුන ළඟට ගිහින් කතා කළා..

 පිළිතුර – ඇත්තටම අපි එජාපයෙන් එළියට ආවේ රනිල් වික‍්‍රමසිංහ විරෝධයක් නිසා නෙවෙයි. මම හිතන්නේ සියයට අසූවක පමණ ප‍්‍රමාණයක් අපි එළියට ආවා. ඒ ආවේ රනිල් මහත්තයාගේ වටේ හිටපු කිහිපදෙනෙක් එතුමාව පාලනය කරපු නිසයි. හැබැයි එහෙම නොවී එතුමා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට තනතුරු බෙදලා අපිට අනුශාසකයෙක් හැටියට හිටියනම් අපි එජාපය දාල යන්නෙ නෑ කවදාවත්. ඒත් මට දේශපාලන ගුරුහරුකම් දුන්, මාව දේශපාලනයට කැන්දාගෙන ආපු කෙනෙක්ට මම අගෞරව කරන්නේ නෑ කවදාවත්.

 ප‍්‍රශ්නය – හැබැයි ඔබ ඔහුව විවේචනය කළා.

 පිළිතුර – ඔව්, දේශපාලන වේදිකාවල ඔහුගේ දඩබ්බර කි‍්‍රයාපටිපාටිය විවේචනය කළා. හැබැයි මම අදටත් කියනවා ඔහු තමයි මේ රටේ ඉන්න වැඩිම දේශපාලන දැනුමක්, සමාජයීය දැනුමක්, රට තොට ගැන අවබෝධයක් තිබෙන පරිණත නායකයෙක් කියන එක. හැබැයි ඒක සමාජගත වෙන්න අවශ්‍ය පුද්ගල චරිත ඔහු ඉදිරියට ගත්තේ නෑ. හැමදාම වුණේ ඒක. ඉතිං අපි මේ දෙකඩවීමේ හේතුව ඒකයි. ඒත් මම හිතනවා විපක්‍ෂයේ සියලූම කණ්ඩායම්, සිවිල් සංවිධාන එකට එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ඉන්න රටක් ඉතුරු වෙන්නේ නෑ. මම මේ ඉදිරිපත් කරන අදහස සමගි ජන බලවේගයේ පොදු මතය නෙවෙයි, මගේ පෞද්ගලික මතයක්. මම විශ්වාස කරනවා දේශපාලනිකව බෙදෙනවාට වඩා රටට යහපතක් වෙන අවුරුදු දහයක වැඩපිළිවෙළක් යෝජනා කරන එක තමයි වඩා වටින්නේ. එතැනදී අපි අපේ ”පොර සංකල්පයෙන්” මිදිලා එක තැනකට එන්න පුළුවන්නම් ඒකයි වටින්නේ. අවුරුදු දහයකට ඡන්ද නෑ, කුලල් කාගැනීම් නෑ… අපේ සෞඛ්‍ය, අධ්‍යාපනික, වෙළෙඳ ප‍්‍රතිපත්ති මේකයි, රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙළ මේකයි කියලා හැමෝම එකට එකතු වෙන්නේ නැතුව

 ගහමරා ගත්තොත් අපිට රටක් නැතිවෙයි. දැන් මේක කිව්වම මගේ පක්‍ෂයත් ඇතුළුව තුන් හතර පැත්තෙන්ම එකතුවෙලා මට ගහයි. හැබැයි මේ තරම් සම්පත් තිබෙන, ලෝකේම හොල්ලන්න පුළුවන් දක්‍ෂයෝ ඉන්න රටක අපි හැමෝම එකතුවෙලා අවුරුදු දහයකට කුලල් කාගැනීම නවත්තල රට ගොඩන`ගන ප‍්‍රතිපත්තියකට එකතු වුණොත්, අපිට දේශපාලනය කරන්න රටක් ඉතුරු වෙයි. මේ ඡන්දවලට වියදම් කරන සල්ලි වලින් තව හයිවේ පහක් විතර හදන්න තිබුණා. අපි බෙදෙන තාක්කල් මට කැමති නැති පාක්‍ෂිකයා මට කුණුහරපයෙන් බණිනවා. මම කොච්චර මෝඩ ගොනෙක් වුණත් මම බොරු කිව්වත් කැමති මිනිහා මට ඡන්දෙ දෙනවා. මේ රට ඉදිරියේ තිබෙන අභියෝගය ජයගන්න අපිට එහෙම තැනකට එන්න වෙයි.

 ප‍්‍රශ්නය – දැන් ඔබ එහෙම කිව්වට, සමගි ජනබලවේගය තවමත් පරණ පුරුදු දේශපාලන ප‍්‍රතිපත්ති උපක‍්‍රම අනුගමනය කරන බව තමයි පෙනෙන්න තියෙන්නේ. පසුගිය මහමැතිවරණයේදි රටේ දැන උගත් මධ්‍යම පංතිය ස.ජ.බ. ය ප‍්‍රතික්‍ෂේප කරන්නත් එය හේතුවක්. රටේ ජනතාව ඉල්ලන්නේ ඔබ කියනවා වගේ අලූත් දේශපාලන ප‍්‍රවේශයක්.

 පිළිතුර – ඔව්… අපි මේ වෙනකොට එවැනි අලූත් ප‍්‍රවේශයක් ගැන නිර්මාණශීලී ප‍්‍රවේශයක් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ස.ජ.බ. ය ඉදිරි වැඩපිළිවෙළ සකස් කරන්නේ එහෙමයි. මගේ පෞද්ගලික මතය නම් අවුරුදු 60 කට පස්සේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් වෙන්න බැරිනම් තව දුරටත් දේශපාලනය කරන්න නරකයි. අලූත් පරම්පරාවටයි මේක වැදගත් වෙන්නේ. පවුල් දේශපාලනය වළක්වන්න දැඩි නීති, රීති ව්‍යවස්ථා රාමුවක් හදන්න ඕන. අපේ පක්‍ෂය තුළ අලූත් ප‍්‍රතිපත්තියක් හදන්න ඕන. මේ දවස්වල අපි ඒ වගේ දෙයක් කරගෙන යනවා. අපි වෙනස් විය යුතුමයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න මුල් වූ කෙනෙක් හැටියට මම ඒ ගැන ආඩම්බර වෙනවා. 20 වැනි සංශෝධනය වෙනුවට නැවත 19 වැනි සංශෝධනය ගෙන ආ යුතුමයි. විධායක ජනාධිපති ධුරය කියන්නේ මහා පරමාණු බෝම්බයක්. එය මට ලැබුණත් මම පිස්සෙක් වෙන්න ඉඩ තියෙනවා.

 ප‍්‍රශ්නය – ඔය කතාවම තමයි රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ස්ථාවරයත්. ඔහුත් කියන්නේ 19 නැවත ගෙන ආ යුතුයි කියලා.

 පිළිතුර – (සිනහ වෙමින්) ඉතිං මම දේශපාලනයේ හෝඩිය ඉගෙන ගත්තේ එතැනින්නේ. ඒ ආභාසය මට ඇති. මම අදටත් හදවතින්ම ආඩම්බර වෙනවා. මම එජාප සාමාජිකයෙක් වීම ගැන.

 මම සාමාන්‍ය පෙළ කරන දවස්වල ඉඳල එජාප ප‍්‍රතිපත්තිය පස්සේ පැන්නුවා. ඒකට එකතු වුණා. කැබිනට් ඇමැතිවරයෙක් මහ ඇමැතිවරයෙක් දක්වා ගියා. ඉතිං රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඒ සංකල්පවලට මම කැමතියි.

 ප‍්‍රශ්නය – බදුල්ල අමතක කරල ගම්පහට එන්න හිතුවේ, ඊළඟ පාර ජයග‍්‍රහණය ගැන විශ්වාසයක් නැති නිසාද?

 පිළිතුර – නැහැ. මම මගේ ගමනට පාර කපපු බදුල්ල කවදාවත් අමතක කරන්නේ නෑ. ඒ වගේම තමයි බදුල්ලේ ජනතාව මාව පරද්දන්නෙත් නෑ. මම හැමදාමත් අභියෝග ජයගත්ත මිනිහෙක්. මම ඉතාම දරුණු විදිහට දේශපාලන පිළිගැනීම්වලට ලක්වූ මිනිහෙක්. මගේ ගෙදරට පොලිසියෙන් පනිනවා, සිරගත කරන්න හදනවා. දුරකථනයෙන් තර්ජනය කරනවා. මේ සියලූ දේවල් එසේ තිබියදී මම මේක අභියෝගයක් හැටියට භාර ගන්නවා. මගේ මුල් පදිංචිය වත්තල, ගමත් එහේ. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ලක්‍ෂ 17 ක් ඡන්ද තියෙනවා. කොළඹින් තියෙන්නේ ඡන්ද ලක්‍ෂ 16 යි. මම කරපු ප‍්‍රකාශයක් නිසා අදටත් මට පන්න පන්න ගහනවා. ඒ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන්. එතැනදී මාව විනාශ වුණා. එසේ තිබියදීත් කතෝලික බහුතරයක් ඉන්න ප‍්‍රදේශයක් තෝරගෙන ඔවුන්ට ශක්තියක් වෙන්නයි මම ගම්පහට ආවේ.

 ප‍්‍රශ්නය – ඔබ විශ්වාස කරනවද කතෝලික ජනතාව ඔබව විශ්වාස කරයි කියලා.

 පිළිතුර – මම කියපු කතාව දැන් පාවිච්චි කරන්නේ ”දඩයමක්” හැටියටයි. ඒක ජනතාව දන්නවා. මාව පාස්කු කොමිසමට ගෙන්වලා ඒ ගැන ඇහුවා. මම ඊට කිසිදු සම්බන්ධයක් නෑ කියලත් ඔප්පු වුණා. මාධ්‍යට ඕන වුණෙත් මාව විනාශ කරන්න. ඒ නිසයි මේ අභියෝගය මම භාරගන්නේ.

 ප‍්‍රශ්නය – ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ඔබේ පක්‍ෂයේම බොහෝ දෙනෙක් මේ ගැන ඔබට විරෝධය පෑවා.

 පිළිතුර – නෑ… ඒක බොරු කතාවක්..

 ප‍්‍රශ්නය – රන්ජන් රාමනායක ගැන, දැන් කට අරින්නෙවත් නෑ නේද?

 පිළිතුර – නෑ, හැම මොහොතකම ඔහු වෙනුවෙන් පෙනීසිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment