කෝටියේ අල්ලස: සභාපතිට ඇප – සෙසු දෙදෙනා යළි රිමාන්ඩ්

329

පැමිණිල්ලේ සාක්‍ෂි දුර්වලයි : තවදුරටත් රිමාන්ඩ් කිරීමට බැහැ – මහෙස්ත්‍රාත්

පරිසර ආරක්‍ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට දැවි තෙල් පිරිපහදු කිරීමේ ආයතනයකින් රුපියල් ලක්‍ෂ 100 ක අල්ලසක් ඉල්ලා තැරැව්කරුවන් දෙදෙනකු මගින් එකී අල්ලස ලබා ගැනීමට තැත් කළේ යැයි චෝදනා එල්ල වී තිබූ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ශෂේන්‍ද්‍ර පතිරගේ මහතා රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද අනුරුද්ධ පොල්ගම්පල හා ටෙනිසන් ෆොන්සේකා යන සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පළමුවන සැකකාර සභාපතිවරයා දේශපාලන සබඳතා ඇති අයකු වන බැවින් ඔහු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශන කටයුතුවලට දේශපාලන බලපෑම් එල්ලවීමට ඉඩ ඇතැයි පෙන්වා දුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් ඔහු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධත්වය දැක්වූ නමුත් එම විරෝධතා ප්‍රතික්‍ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය කළේය.

සැකකාර සභාපතිවරයා එකී අල්ලස ලබාගැනීමට සම්බන්ධ වූ බවට පැමිණිල්ල කිසිදු සාක්‍ෂියක් ඉදිරපිත් කර නොමැති බවත් ඉදිරිපත් කර ඇත්තේ ද ඉතාමත් දුර්වල කරුණු බවත් විවෘත අධිකරණය හමුවේදී පැමිණිල්ලට පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එවැනි දුර්වල සාක්‍ෂි මත එම සැකකරු තවදුරටත් රක්‍ෂින බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව ද පෙන්වා දුන්නේය.

ඉතා සුළු වැටලීමකදී පවා පැමිණිලි පාර්ශ්වය අල්ලස් ලබාගත්තේ යැයි කියන පාර්ශ්වය හා සෙසු සැකකරුවන් අතර සිදුකරන කතාබහ පටිගත කිරීමත්, වැටලීම සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමත් අල්ලස් කොමිෂන් සභා විමර්ශන නිලධාරීන් සිදුකරන නමුත් අවම වශයෙන් ජංගම දුරකථනයකින් හෝ පළමුවන සැකකරු එකී ක්‍රියාවට සම්බන්ධ වූ ආකාරය හා ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ සිද්ධිය පටිගත කර නොතිබීම ඉතා බරපතළ අඩුපාඩුවක් බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

එවැනි දුර්වල සාක්‍ෂි මත ඔහුට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් පවතින්නේ දැයි සැක පහළ වන බව ද විවෘත අධිකරණය හමුවේදී පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සෙසු සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩුව ඉදිරියට ගෙන යෑමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බව ද පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා රට තුළ හෝ නොමැති අවස්ථාවකදී බවත් එය සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් සහගතව කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත් පැවසූ සැකකාර සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය මගින් පැමිණිලිකරු ඉල්ලා සිටි පරිසර ආරක්‍ෂණ බලපත්‍රය නිකුත් කර තිබියදීත් එම වැටලීම සිදුකිරීම මගින් ඒ බව මනාව සනාථ වන බව අධිකරණයට පැවසීය.

යමෙකු අල්ලස් ඉල්ලා සිටින්නේ නම් එය කරනුයේ යම් කාර්යයක් ඉටුකිරීමට පෙර වන නමුත් කලින් බලපත්‍රය ලබා දී පසුව අල්ලස් ඉල්ලා සිටි බවට විමර්ශන නිලධාරීන් පැවසීම ගොතන ලද කතාවක් බවට පැහැදිලි වන බවත් ඔහුට ඇප ලබාදීමෙන් කුමන දේශපාලනඥයකු විමර්ශනවලට බාධා කරනු ඇතැයි හෙළි නොකිරීමත් බලවත් අඩුපාඩුවක් වන්නා සේම එහි වියහැකි භාවය අවම වන්නේ යැයි ද අධිකරණයට පැවසීය. දැනටමත් සිය සේවාදායකයා වැඩ තහනමට ලක්කර ඇති බැවින් විමර්ශනවලට බාධා කිරීමේ හැකියාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් තුළදී සිය සේවාදායකයා එම අල්ලස ලබාගත් බව විමර්ශන නිලධාරීන් පැවසුවත් එවැනි විශාල මුදල් පාර්සලයක් එහි දොරටුව අසල පිහිටි කවුන්ටරයේ නොතබා පරිශ්‍රය තුළටම ගෙන යා හැකි දැයි විමර්ශන නිලධාරීන්ගෙන් විමසූ දෙවන හා තෙවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා, පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ කැකිල්ලේ නඩුවට සමාන නඩුවක් බව ද පැවසීය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල, නීතිඥ කසුන් සරත්චන්‍ද්‍ර, අචල බස්නායක, කරකනාත් අමරසිංහ හා නීතිඥ සජීවිකා ඉලන්දර මෙනවිය සමග ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා පළමුවන සැකකරු වෙනුවෙනුත් නීතිඥ මහේෂ් කුමාර මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා දෙවන හා තෙවන සැකකරුවන් වෙනුවෙනුත් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment