ගණිකා ජාවාරමේ ලොකුම දඩය

839

ජිනා මැඩම්ගේ ගෝලයන් දෙදෙනාට ලක්ෂ 13 ක දඩයක්
තරුණියට ලක්ෂ 7ක් ගෙවන්නත් නියෝග

කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළදී තරුණියක ගණිකා වෘත්තියේ යෙදවීමෙන් කුට්ටනය නමැති වරද සිදුකිරීමට ආධාර අනුබලදීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනාවට වරදකරුවන් කළ එම ගණිකා නිවාසයේ සේවකයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ දහතුනක දඩයක් හා අගතියට පත් තරුණියට රුපියල් හත් ලක්ෂයක වන්දි ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ
(24 දා) නියෝග කළේය.

ප්‍රැන්සිස් මර්වින් පෙරේරා හා දිනේෂ් සම්පත් කාලිංග නමැති එකී විත්තිකරුවන් දෙදෙනා සිය නීතිඥවරයා මගින් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් එකී චෝදනාවට වරදකරුවන් කළ විනිසුරුවරයා එලෙස දඩ හා වන්දි ගෙවීමට නියෝග කළේය.

2009 ජනවාරි 24 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී තරුණියක් ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ටගය) ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම ගණිකා නිවාසයේ හිමිකාරිය වන පෙලේසියා පෙරේරා හෙවත් ජීනා මැඩම් නමැත්තිය ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

නඩු පැවරීමෙන් අනතුරුව තුන්වන විත්තිකරු මියගොස් තිබූ අතර වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත භාරයේ පසුව පළමු වන විත්තිකාරිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කොට තිබිණි. එකී චෝදනාවට වරද පිළිනොගත් පළමු වන විත්තිකාරියට හා මේ වනවිට අධිකරණය මඟ හැර ගොස් සිටින පස්වන විත්තිකරුට එරෙහිව සාක්ෂි විභාගය ලබන මැයි 18 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා දින නියම කළේය. මෙවැනි චෝදනාවට වරදකරුවන් කළ විත්තිකරුවකුට මහාධිකරණ ඉතිහාසයේ නියම කළ ඉහළම දඩය හා වන්දිය මෙය වේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment