ග්‍රාම නිලධාරීන් අඩුයිලු…ග්‍රාම සේවක රාළහාමි නැතිව ගම දුවන හැටි

897

රට පුරා ග්‍රාම නිලධාරි හිඟයක්? ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2400?

ග්‍රාම පාලනයට කලෝචිත ප්‍රතිනිර්මාණයක්…

ගමේ පාලනය

රාජ්‍ය සේවයේ ඉතා වැදගත් සේවයක් සපයන ග්‍රාම නිලධාරි සේවයේ හිඟයක් පවතින බව පසුගිය දින වාර්තා විය. ග්‍රාම නිලධාරි සේවය ද සම්ප්‍රදායිකව ඉදිරියට පැමිණි හා බොහෝ සම්ප්‍රධායික ගති ලක්‍ෂණ සහිත රාජ්‍ය සේවා අනු ඛණ්ඩයක් වන අතර මෙහි විරුද්ධත්ව ඉදිරි ප්‍රතිසංස්කරණ පිළිබඳ බුද්ධිමය සංවාදයන් හා විචාරශීලී යොමුවක් අවශ්‍ය වන්නේ මෙම සේවය ගතානුගතික සේවයකට වඩා නවීකරණය වූ හා ග්‍රාම සංවර්ධන අවශ්‍යතාවයන් අනුව හැඩගැසිය යුතු බවට වර්තමාන අවශ්‍යතාවයන් අනුව තේරුම්ගත යුතු බැවිනි.

ග්‍රාම නිලධාරි සේවය පුරවැසියාගේ උපතේ සිට මරණය දක්වා කටයුතු සඳහා මැදිහත්භාවයක් සහිත රාජ්‍ය සේවාවක් වන අතර එහි විකාශනය දෙස බැලීමේදී බොහෝ දුරට නාම මාත්‍රික ප්‍රතිසංස්කරණයන්ට පමණක් බොහෝ දුරට භාජනය වී ඇති සේවාවක් ලෙස පවතී. ඉතිහාසයේ සිටම ග්‍රාමීය නිලධාරිවාදයක් ලෙස විනාශය වූ ග්‍රාම නිලධාරි සේවය වඩා ඵලදායීව භාවිතා කළ හැකි මානව සම්පත් පොදියක් බවට නිර්වචනය කර ගැනීමත් කාලීනව සිදුවී නැත. බොහෝ දේවල් හා වගකීම් ග්‍රාම නිලධාරි වෙත පැවරුවත් ඔවුන්ගේ සේවය වඩා කාර්යක්‍ෂමව ඉටුකර ගැනීමටත්, ඔවුන්ගේ සේවා තත්ත්වය වඩා යහපත් කිරීමේ නිසි අවධානයක් ද තුලනාත්මකව සිදුවී නැත.

● දීර්ඝ ඉතිහාසය

ග්‍රාම නිලධාරීන් අඩුයිලු…ග්‍රාම සේවක රාළහාමි නැතිව ගම දුවන හැටි

රාජ්‍ය සේවාව අතර දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන සේවාවක් වන්නේ ග්‍රාම නිලධාරි සේවාවයි. මහාවංශයේ තොරතුරුවලට අනුව විජයාගමනයත් සමගින් මෙරට මහවැලි ගඟ ආශ්‍රිතව මුල් ආර්ය ජනාවාස ඇතිවිය. මෙම ජනාවාස මූලිකව ගම් ලෙස ව්‍යාප්ත වූ අතර එහි ප්‍රධානියාගේ නමින් එම ග්‍රාමය නම් කර තිබූ බව ඓතිහාසික සාක්‍ෂි ඇත. රජුගේ පාලනය ව්‍යාප්ත වීමත් සමග රජු යටතේ පැවති ගම්මානවල ආරක්‍ෂාව, යුක්තිය පසිඳලීම, ආදායම් එකතු කිරීම පොදු හා ආගමික කටයුතු පවත්වාගෙන යෑම සඳහා ද රජුගේ යුද හමුදාවට අවශ්‍ය භටයන් ලබාදීම ගම් ප්‍රධානියාට පැවරිණි. ඒ අනුව අතීතයේ සිටම ගමට ප්‍රධානියකු ලෙස පැවති සේවයක් ලෙස ග්‍රාම නිලධාරි සේවය විකාශනය වී ඇති බව සඳහන් කළ හැක.

නීත්‍යානුකූල හා ස්ථාපිත රාජ්‍ය සේවයක් ලෙස පරිවර්තනය වීමට පෙර ඉතිහාසය තුළ ග්‍රාම නිලධාරි සේවය නිලධාරි යාන්ත්‍රණයට එහා ගිය ප්‍රජාව හා රාජ්‍ය පාලනය සමග බැඳුනු එක්තරා ගරු සේවයක් ලෙස ද පැවතිණි. රාජ්‍යයේ බොහෝ පහළ මට්ටමේ පරිපාලන කටයුතු නීතිමය කටයුතු මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු සඳහා ද ග්‍රාම නිලධාරි සේවයේ වගකීම ඓතිහාසික එකකි.

● ඉතිහාසය අනුව නිල නාමය

මුල් යුගයේ ගමේ ප්‍රධානියා හැඳින්වීමට යොදාගෙන ඇත්තේ ‘ගාමරි’ යන නාමය බව ඓතිහාසික සාක්‍ෂි සනාථ කරයි. පසුකාලීනව දකපති, භෝජකත්තිකාර, පරුමක, ගාපිණි, ගමිත, ග්‍රාමභෝජක ගාමිණි ගම්ලත්දා, ගමරාල, රාල, ආරච්චි රාල, ආරච්චිල, ගම්මුලාදෑනි, ග්‍රාමසේවක රාලහාමි, කොට්ඨාශය කරවන නිලධාරි, ග්‍රාමසේවා නිලධාරි ග්‍රාමනිලධාරි ලෙස මෙම සේවය භාවිතාව විකාශනය වී ඇත. මෙම ඓතිහාසික නාම විකාශනය මත දීර්ඝකාලීනව ග්‍රාම නිලධාරිවරයා මෙම සේවය හඳුනා ගත්තේ තමා ඉතා හිතවත් නිලධාරියකු ලෙසය. ඓතිහාසික විකාශනය අනුව තවමත් බොහෝ ගැමියන් ග්‍රාම නිලධාරි මහතා හඳුන්වන්නේ “අපේ ආරච්චි මහත්තයා” ලෙසය. එය බොහෝ දුරට ග්‍රාම නිලධාරිවරයා ප්‍රජාවගේ මිතුරකු ලෙස හඳුනා ගත් ප්‍රවේශය මතවේ. බොහෝ දුරට ජනතාවගෙන් ඈත්වූ ග්‍රාම නිලධාරිවරයා ඇමතීම සඳහා “ග්‍රාමයා” යන ව්‍යවහාරයන් ද සමාජයේ පවතී.

● අධිපතිවාදයෙන් නිලධාරිවාදයට

ඓතිහාසිකව ග්‍රාම නිලධාරි සේවය විකාශනය වී ඇත්තේ අධිපතිවාදයකින් නිලධාරිවාදයක් වෙතය. ඉතා පැරණි යුගයේදී ග්‍රාම නිලධාරිවරයා එක්තරා විධියකට ගමේ අධිපතියෙකි. තම සේවය මතින්ම හෝ පාරම්පරිකව පැවතෙන භෞතික සම්පත් හා ධනයක් ද ඔහු සතුවිය. බොහෝ දුරට ගමේ වලව්ව හෝ විශාල නිවස ඔහුගේ අධිපතිවාදයේ ලක්‍ෂණයක් විය. ඔහුගේ නීතිය රජයේ නීතිය විය. ඔහුගේ සිතැඟි පරිදි ගැමියන් ජීවත් විය යුතු විය. ඔහු බොහෝ දුරට ගමේ ප්‍රධානියා ලෙස තේජාන්විත ගතියක් දැක්වීය. ගමේ ප්‍රජාව ඔහුට පඬුරු පාක්කුඩම්වලින් මෙන්ම ස්ත්‍රි ප්‍රාණයන් මගින්ද දොල පිදේනි ලබා දීම අධිපතිවාදය යටතේ සිදුවිය. අපරාධ හෝ වැරදි සඳහා ඔහුගේ තීරණය එකල ප්‍රබල වූ අතර වැරදිකරු දඬු කඳේ ගැසීම කස පහරදීම වැනි දඬුවම් ක්‍රමයක් ද ඔහුගේ අණසක යටතේ ක්‍රියාත්මක විය. අධිපතිවාදයෙන් නිලධාරිවාදයට ග්‍රාම නිලධාරි සේවය පරිවර්තනය වන්නේ යටත් විජිත පාලනයෙන් පසුවවේ. එහි ද බොහෝ දුරට අධිපතිවාදී ගති ලක්‍ෂණ වෙනුවට නිලධාරිවාදී ගති ලක්‍ෂණ ග්‍රාම නිලධාරි සේවයට සමීප වන්නේ ඔහු වෙත බොහෝ නිලමය රාජකාරි සමුදායක් පැවරීමත් සමගය. රජය හා ගම අතර සම්බන්ධීකරණ පුරුක ලෙස ග්‍රාම නිලධාරිවරයා පත්වුවද වර්තමානයේ බොහෝ දුරට අධිපතිවාදී ගති ලක්‍ෂණ වෙනුවට නිලධාරිවාදී ගති ලක්‍ෂණ ග්‍රාම නිලධාරි සේවයේ දක්නට ඇත. කෙසේ වුවද වර්තමාන දියුණු සමාජයේ පවා බොහෝ දුරට ග්‍රාම නිලධාරිවරයා අධිපතිවාදී නිලධාරියකු ලෙස කටයුතු කිරීම කරනු ලබන බවට ද සමාජ සාධක පවතී. “ආරච්චි මහත්තයා හෝ ග්‍රාමසේවක මහත්තයා හෝ ග්‍රාමයා තරහ කර ගත්තොත් වැඩ වරදින බව හෝ පාඩුවක් සිදුවිය හැකි බවද බොහෝ සේවාලාභීන්ගේ පිළිගැනීමටත් පවතින්නේද ග්‍රාම නිලධාරිවරුන්ගේ පවතින අධිපතිවාදී හා නිලධාරිවාදී ජානමය ගති ලක්‍ෂණ නිසාවෙනි.

● ග්‍රාම නිලධාරි සේවය හා දේශපාලනය

රජයේ පත්වීමක් ලෙස ඉතා පැරණි කාලයේ සිටම ග්‍රාම නිලධාරි සේවය දේශපාලනය හා බැඳී පවතී. මෑත යුගයේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම් පිළිගත් විභාග ක්‍රමයක් යටතේ පැවතියත් අප දන්නා කාලයේ ද ග්‍රාම නිලධාරීන් පත් කිරීම අදාළ ප්‍රදේශයේ දේශපාලකයාගේ අනියම් දේශපාලන සබඳතාවයන් මත සිදුවිය. ඉතා අතීතයේ ද රජු විසින් ගමේ ප්‍රධානියා පත් කිරීමේදී තම හිතවත්කම, කීකරුකම, යටහපත් පහත් බව සැලකූ අයුරින් තමාගේ ඡන්ද වැඩ සඳහා උදව් කළ තරුණයන්ට ග්‍රාම නිලධාරි පත්වීමක් හෝ ලබා දීමට දේශපාලකයා උනන්දු විය. ග්‍රාම නිලධාරි සේවය වඩාත් සංවිධිත සේවාවක් වීමට පෙර ග්‍රාම නිලධාරි සේවය එක්තරා ලෙසට දේශපාලන සේවාවක්ද විය.

● දේශපාලනය හා විශාල වූ ග්‍රාම නිලධාරි සේවය

ග්‍රාම නිලධාරීන් දේශපාලනය මගින් හඳුනා ගත් අයට පත්වීම් දීමේ මූලාශ්‍රයන් ලෙස නිදහසින් පසු පත්වූ අතර ඔහු ගමේ දේශපාලන නියෝජිතයාද විය. බොහෝ දුරට ප්‍රදේශයේ ඇමැතිතුමාගේ හෝ මන්ත්‍රීතුමාගේ සමීප ගෝලයන් ලෙස අනියම් දේශපාලන කාර්යභාරයක් ග්‍රාම නිලධාරි වෙත පැවරී තිබිණි. දේශපාලන රැස්වීම් සඳහා ජනතාව කැඳවීමේ ප්‍රධාන කැඳවුම්කරු ලෙස ගමේ ක්‍රියාකරනු ලැබුවේ ග්‍රාම නිලධාරිවරයාය. ග්‍රාම නිලධාරිවරයා පාලනය වීමට ස්වදේශ කටයුතු හෝ රාජ්‍ය පරිපාලනයට භාර වුවත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ ස්වාමියා වූයේ ප්‍රදේශයේ දේශපාලකයාය. එම දේශපාලන බැඳීම මත දේශපාලන ජයග්‍රාහණයන් සඳහා අනියම් ලෙස වගකීම් දැරීමද ග්‍රාම නිලධාරි වගකීමක් විය.

මැතිවරණ දිනීම සඳහා එක්තරා පක්‍ෂයක් ග්‍රාම නිලධාරි සේවය අනියම් ලෙස ප්‍රබලව භාවිතා කරනු ලැබූ එක් දේශපාලන පක්‍ෂයක් ගමේ දිනීමේ දේශපාලන හවුල්කරු ලෙස යොදා ගැනීමට ඊළඟට බලයට පැමිණීමට අපේක්‍ෂිත පක්‍ෂයට එබඳු වෙනත් විකල්ප සඳහා යොමුවීමේ අවශ්‍යතාවය මතු කරවිය. ඒ අනුව බිහිවූ රාජ්‍ය සේවයක් වන්නේ “විශේෂ සේවා නිලධාරි” සේවයයි. එයද තම දේශපාලන හිතවතුන්ට රජයේ පත්වීම් ලබා දීමේ දේශපාලන මානව සම්පත් කූට උපායක් වූ අතර ගමට තවත් නිලධාරියකු පැමිණීමේ දේශපාලන පොරොන්දුව මත විශේෂ සේවා නිලධාරියකු ද ගමට පත්වීම් රැගෙන පැමිණේ. කාලයක් ගතවීමේදී විශේෂ සේවා නිලධාරි සේවාව ඵලදායී නොවන සේවයක් බවට හඳුනා ගැනීම මත රජයේ අටුව කඩා පුටුව හැදීමේ උපාය මාර්ගය වන්නේ විශේෂ සේවා නිලධාරීන් ග්‍රාම නිලධාරි සේවයට අන්තර්ග්‍රහනය කිරීමයි. මේ මගින් ග්‍රාම නිලධාරි සේවය කිසිදු විචාරශීලී අර්ථ ගැන්වීමකින් තොරව සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වේ. ඒ අනුව පැවති ග්‍රාම නිලධාරි වසම් වෙනම නමකින් A, B, C, D වශයෙන් හෝ උතුර, දකුණ, බටහිර, නැගෙනහිර ලෙස කඩා වෙන්කර තවදුරටත් ග්‍රාම නිලධාරි වසම කුඩා කර රජයේ පත්වීම් ප්‍රමාණය විශාල ලෙස වැඩි කිරීමක් සිදුවේ.

● අතාර්කික පුරප්පාඩු

ග්‍රාම නිලධාරීන් අඩුයිලු…ග්‍රාම සේවක රාළහාමි නැතිව ගම දුවන හැටි

ඉහත තර්කයන් අනුව සඳහන් කළ හැක්කේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු යනු සැබෑ අවශ්‍යතාවය මත නොවන මානව සම්පත් ගණන් බැලීමක් බවයි. 2015 යහපාලන රජය පත්වෙන තෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ස්වදේශ කටයුතු භාර අතිරේක ලේකම්වරයා ලෙස වසර 5කට ආසන්න කාලයක් ග්‍රාම නිලධාරි සේවය අධීක්‍ෂණ නිලධාරියා විය. එම යුගයේදී ග්‍රාම නිලධාරි සේවය තවත් පුළුල් කිරීමේ දේශපාලන අවශ්‍යතාවයක් විය. එනම් ග්‍රාම නිලධාරි වසම් තවත් බෙදා වෙන් කර ඒ සඳහා සුදුසු සමෘද්ධි නිලධාරීන් පත්කිරීම එම යෝජනාව විය. ඉන් බොහෝ දුරට එම දේශපාලනය අදහස් කළේ “ඡන්ද මැෂිම” තවදුරටත් උපායශීලීව වර්ධනය කර ගැනීමයි. ග්‍රාම නිලධාරි සේවය මැතිවරණ රාජකාරි, සහනාධාර සේවා වැනි නිත්‍යානුකූල කටයුතුවල යෙදෙන බැවින් සමෘද්ධි නිලධාරීන් ග්‍රාම නිලධාරි සේවයට ඇතුළත් කිරීමේ අදහසට බාධාවක් වූයේ ග්‍රාම නිලධාරි වෘත්තිය සංගම් මගින් එයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමයි.

එවකට ග්‍රාම නිලධාරි වසම් ගණන අද පවතින ප්‍රමාණයම වූ අතර සමෘද්ධි නිලධාරීන් ද මේ සඳහා අන්තර් ග්‍රහණය කළේ නම් මෙය දෙගුණයක් හෝ පමණ වීමට ඉඩ පැවතිණි. මෙම කාලය තුළ ද ග්‍රාම නිලධාරි පුරප්පාඩු 5000 ක් පමණ ඒකරාශී වූ අතර අදාළ අධිකරණ ක්‍රියාමාර්ග හා දේශපාලන වුවමනාවන් මත නිර්මාණය වූ ගැටුම මත ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීම වසර 5කට අධික කාලයක් නීත්‍යානුකූලව ප්‍රමාද විය.

● කොට්ඨාශ සීමා නිර්ණය වාර්තාව

මෙම කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා ග්‍රාම නිලධාරි කොට්ඨාශ සීමා නිර්ණය සඳහා බුළුමුල්ල සීමා නිර්ණය කමිටුව පත්වූ අතර එහි ලේකම් ලෙස කටයුතු කලෙමි. අදාළ අංශ සමග සාකච්ඡාවලින්ද අමතරව ග්‍රාම නිලධාරි කොට්ඨාශයක පැවතිය යුතු පවුල් ප්‍රමාණය පිළිබඳ නිර්වචනයක් අදාළ කමිටුව මගින් ගොඩනඟන ලදී. මේ අනුව ග්‍රාමීය ප්‍රදේශ අර්ධ නාගරික ප්‍රදේශ හා නාගරික ලෙස පැවති ග්‍රාම නිලධාරි කොට්ඨාස වර්ග කරනු ලැබීය.

මේ මගින් අදාළ කොට්ඨාශයක සිටිය යුතු පවුල් සංඛ්‍යාව නිර්ණය කරනු ලැබූ අතර භූගෝලීය පිහිටීම්ද මේ සඳහා සලකා බලනු ලැබීය. උදාහරණයක් ලෙස භූගෝලීය දුෂ්කරතා සලකා බලා ග්‍රාමීය ප්‍රදේශයක පවුල් 250-500 දක්වා සීමාවන් යටතට ග්‍රාම නිලධාරි වසමක් ලෙස හඳුනා ගැනීම අදහස විය.

මෙම සීමා නිර්ණය නිර්දේශ සමග ශ්‍රී ලංකාවේ ජනගහන දත්ත මත ශ්‍රී ලංකාවට අවශ්‍ය ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව 8000 ක පමණ ප්‍රමාණයක් බව කිසියම් තර්කානුකූල හා විද්‍යාත්මක ප්‍රවේශයකින් නිර්දේශ කරනු ලැබීය. එම කාලයේදී සේවය තුළ ක්‍රියාත්මක වූයේද එයට සමාන ග්‍රාම නිලධාරි ප්‍රමාණවත් වන අතර පුරප්පාඩුව පැවති 5000 කට ආසන්න ග්‍රාම සේවා වසම්වල වැඩ බැලීමද සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන් විසින් ඉටුකරනු ලැබීය. එයින් අදහස් වන්නේ 14000 ක් අවශ්‍ය යන මතවාදය 8000 කින් ක්‍රියාත්මක කිරීමය.

● සීමා නිර්ණයට දේශපාලන ප්‍රතිචාරය

සීමා නිර්ණ කමිටුව මගින් මෙම තත්ත්වය එවකට ජනාධිපතිවරයාට හා අදාළ දේශපාලන අංශ හා මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් වෙත පැහැදිලි කිරීමට සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වනු ලැබීය. එහිදී මතු කල තර්කයක් වූයේ ශ්‍රී ලංකාවට ග්‍රාම නිලධාරි වසම් 8000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවයි. ඒ අනුව අලුතින් බඳවා ගැනීම් අනවශ්‍ය බවත් එම ප්‍රතිසංස්කරණ මත රජයට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවත්ය.

ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ සිටි ප්‍රධාන නිලධාරියාගේ මුහුණ බලා අවඥාසහගත ප්‍රවේශයකින් අදාළ යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීමක් සිදුවූ බව අංග ලක්‍ෂණ විද්‍යා මූලධර්ම මත සීමා නිර්ණය කමිටුව වෙත සංනිවේදනයක් සිදුකළ අතර එය එතනින් අවසන් විය. ඒ අනුව ඉන් අර්ථවත් වූයේ ග්‍රාම නිලධාරි වසම් අඩු කිරීම හා පුරප්පාඩු නොපිරවීම දේශපාලන වශයෙන් අවාසි බව දේශපාලනය තක්සේරු කළ බවයි.

● පළාත් පාලන සීමා නිර්ණය

ඊට ආසන්න කාලයේදී ක්‍රියා කළ පළාත් පාලන සීමා නිර්ණය කමිටුවේ නිර්දේශය අනුව යෝජිත පළාත් පාලන කොට්ඨාස ප්‍රමාණය තක්සේරු කිරීමේදී ඉහත තත්ත්වයන් හා නිර්දේශයන්ද සලකා බැලිය යුතුය. ඒ අනුව කලින් පැවති ග්‍රාම නිලධාරි හා පරිපාලන කොට්ඨාස නිර්ණය කමිටුවේ නිර්දේශයේ නව සීමා නිර්ණය කමිටුවක් හරහා කාර්තික ලෙස ග්‍රාම නිලධාරි කොට්ඨාස නැවත සලකා බැලීම රාජ්‍ය සේවා ප්‍රතිනිර්මාණ හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛ න්‍යාය පත්‍රයක් කිරීම වඩා කාලෝචිත වේ. ඒ අනුව ප්‍රශස්ථ ග්‍රාම නිලධාරි වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනීම හා ඒ අනුව නිසි ප්‍රමාණයට මානව සම්පත් ගණනය කිරීම තුළ දෙපාර්ශ්වයටම වාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ පෙන්වනු ඇත.

පවුල් ප්‍රමාණයේ අසමතුලිතභාවය

අදාළ සීමා නිර්ණය කටයුතුවලදී හෙළි වූයේ ග්‍රාම නිලධාරි වැඩි වසම් ප්‍රමාණය හා පවුල් ප්‍රමාණය ඉතාමත් අසමතුළිත බවයි. දේශපාලන බලපෑම් මත තීරණය ගැනීම මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ග්‍රාම නිලධාරි කොට්ඨාසය ශීඝ්‍රයෙන් පැටව් ගසා ඇති ප්‍රදේශ පවතී. සමහර ග්‍රාම නිලධාරි කොට්ඨාසවල පවුල් 25 පමණ විය. මේ තත්ත්වය අනුව වෙනස් විය හැකි වුවත් විද්‍යාත්මක ප්‍රවේශයක් මත ග්‍රාම නිලධාරි වසම් ප්‍රතිනිර්මාණය කරන්නේ නම් අවම වශයෙන් ග්‍රාම නිලධාරි වසම් ප්‍රමාණය 25% කින් අවම කළ හැකිවනු ඇත.

● අසතුටුදායක සේවා තත්ත්වයන්

ග්‍රාම නිලධාරි සේවය අත්‍යවශ්‍ය සේවයක් හා පැය 24 සේවාවන් වුවත් ග්‍රාම නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් ඉතා අසතුටුදායක වේ. ඔවුන්ගේ කාර්යාල පවතින්නේ පන්සලක හෝ ලෑලි මඩුවකය. එසේ නැත්නම් කුලියට ගත් අඩු පහසුකම් සහිත ස්ථානයකය. ඔවුන්ට ලැබෙන දීමනා හෝ වැටුප් ප්‍රමාණවත් නැත. බොහෝ කටයුතු සඳහා ඔවුන්ගේම ප්‍රවාහන පහසුකම් යොදා ගනී. සේවය කිරීමේදී ලැබෙන ආර්ථික අපහසුතාව හා සමාජ අපහසුකම්ද දැඩි වශයෙන් අත්විඳීමට සිදුවේ. වර්තමානයේදී බොහෝ ග්‍රාම නිලධාරීන් උපාධිධාරීන් වේ. ඒ අනුව සේවා තත්ත්වයන්, වගකීම්, වැටුප් හා දීමනා මෙන්ම වෘත්තීය ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහා පියවර ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් නිසි ග්‍රාම නිලධාරි වසම් නිර්ණයන් මගින් වුවද සපයා ගැනීමේ ඉඩකඩ ඇත.

ග්‍රාම නිලධාරි සේවය ඇගයීම, ප්‍රතිඵලදායක කාර්ය සාධනය උසස්වීම් සඳහා තරගකාරී ඉඩකඩ සැපයීම, වඩා ප්‍රජා කේන්ද්‍රීය සේවාවන් බවට ග්‍රාම නිලධාරි සේවය පත් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම පුරප්පාඩු පිරවීමේ සම්ප්‍රදායික ප්‍රවේශයට වඩා ඉදිරියෙන් සිටින න්‍යාය පත්‍රයක් බවට පත්කළ යුතුය.

● ඵලදායී ප්‍රතිසංස්කරණ

ප්‍රධාන ඵලදායී ප්‍රතිසංස්කරණයන් යටතට ඉහත කී වසම් සීමා නිර්ණය, සේවා ගැටලු විසඳීම, ග්‍රාම නිලධාරි සේවය අභිමානවත් සේවයක් ලෙස පවත්වාගෙන යෑම, සංවර්ධනාත්මක මානව සම්පත් කළමනාකරණ හා සංවර්ධන උපාය මාර්ග හඳුන්වා දීම ප්‍රමුඛතාවේ. රජය විසින් රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කොට ඇති යුගයක ප්‍රධානාත්මක නිර්ණායක වෙනුවට ගුණාත්මක නිර්ණායනයක් ග්‍රාම නිලධාරි සේවයට හඳුන්වා දීම අවශ්‍ය වේ. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරියකු රටට අවශ්‍ය වන්නේ අවශ්‍ය ප්‍රමාණයකි. එය පැලැස්තර ක්‍රමයෙන් කරනවාට වඩා යහපත් විද්‍යාත්මක ප්‍රතිශතයක් යටතේ කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය විශේෂඥතාවය මත අදාළ යෝජනා පටු දේශපාලන අරමුණුවලින් තොරව සිදුකළ යුතුය. ඒ අනුව පවතින පුරප්පාඩු පිරවීම වෙනුවට ප්‍රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රයක් හඳුන ගැනීම ග්‍රාම නිලධාරි සේවයටද කාලෝචිතව ගැළපේ. ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට පවතින විට සේවයේ ගුණාත්මක භාවයද සැලකිල්ලට ගැනීම සඳහා වන ප්‍රවේශයන් වෙතද රජය සබඳතා දැක්විය යුතුය.

● විදේශ අත්දැකීම්

සිංගප්පූරුවේ හෝ දියුණු බටහිර රටවල ග්‍රාම නිලධාරි සේවාවල් නැත. ඉතා කුඩා දෙයකටත් නිලධාරියකු සහතික නිකුත් කිරීම හෝ ලබා ගැනීම අවශ්‍ය නොවේ. නිරන්තරව එකම දෙයට සහතික ලබා ගැනීමට කාර්යාලවලට යා යුතු නැත. බොහෝ දේවල් තොරතුරු තාක්‍ෂණය මත සිදුවේ. පුද්ගල තොරතුර පද්ධතියක් මත ඔහුගේ උපත හෝ මරණය ලියාපදිංචිවේ. දරුවා පාසලට දැමීමට පදිංචි සහතික ගැනීමට කාර්යාලවලට යා යුතු නැත. දැනට පදිංචිය තොරතුරු පද්ධතියේ ඇත. පුද්ගලයාගේ භෞතික තොරතුරු අධ්‍යාපන තොරතුරු, සෞඛ්‍ය තොරතුරු,

රැකියා තොරතුරු, ආදායම් මාර්ග හෝ දේපළ විස්තර ඒකාබද්ධ දත්ත පද්ධතියේ ඇත. පුද්ගලයා පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ සඳහා අදාළ වෙනස්කම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම ඒ සඳහා කටයුතු කරන නොතාරිස්ගේ වගකීමකි. ඔහු ඒ සඳහා සේවා දායකයාගෙන් නීත්‍යානුකූල ගෙවීම ලබා ගනී. සාම්ප්‍රදායික ග්‍රාම නිලධාරි සේවාවන් නවීකරණය වූ සංනිවේදන ක්‍රම මත සිදුකරන සමාජයක් නිර්මාණය කිරීම තුළ ග්‍රාම නිලධාරි සේවාවක අවශ්‍යතාවයක් නොමැති වන තරම් විය හැක.

ග්‍රාම නිලධාරිවරයා මැතිවරණ කාලවලදී පෝර්ම මිටියක් සමග ගෙන් ගෙට යයි. දේශපාලන බලපෑම් මත සමහර පුද්ගලයන් මැතිවරණ ලේඛනයෙන් ඉවත් වී ඇති සිදුවීම් උදාහරණ ඇත. වසර 18 පිරීමේදී ඡන්ද අයිතිය තොරතුරු පද්ධතියක් හරහා ලබාගත හැකි අතර ඒ පිළිබඳ දැනුම් දීමද සංනිවේදන තාක්‍ෂණය හරහා සිදුවේ. ග්‍රාම නිලධාරීන් වැනි සේවාවන් පිළිබඳ පුරප්පාඩු පිරවීමේ දන්නා පදයට වඩා ලෝකය තුළ සිදුවන බොහෝ වෙනස්කම් හා පරිවර්ථනයන් පිළිබඳව ද ඇමැතිවරු අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව දැනටමත් සෑහෙන්න කල් පසුවී ඇත.

● ප්‍රජා දායකත්වය හා ග්‍රාම පාලනය

සිංගප්පූරුවේ පවතින ප්‍රජා සම්මේලන ක්‍රමය මගින් විසඳුමකින් තොරව ග්‍රාම නිලධාරි රාජකාරි ඉටුවන ප්‍රජා දායකත්ව ක්‍රමයකි. සෑම ගමකට හෝ මහල් නිවාසයක ප්‍රජා කමිටුවක් ඇති අතර එය නීත්‍යානුකූල ප්‍රජා දායකත්ව ක්‍රමයකි. Gommunity federation of Singapoore මගින් නීත්‍යනුකූල කර ඇති එම ප්‍රවේශය මගින් ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම, තොරතුරු හුවමාරු හා බොහෝ සහතික කිරීම් සිදුවේ. නිලධාරිවාදය බින්දුවට බස්සවා ප්‍රජාවේ අයිතිය හා වගවීම වැනි තීරණ තුළ බොහෝ නිවැරදි දේ සිදුවීම සඳහා ප්‍රජාවගේ සහාය ලබා ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ දියුණු සමාජයක් විශ්වාසය ඇති කොට ඇත. දියුණු රටවල නිලධාරිවාදය වෙනුවට ධබකසබැ ක්‍රමවේද හා නවීන සංනිවේදන ක්‍රම යොදා ගන්නා යුගයක ශ්‍රී ලංකාවේ ඇමැතිවරු පුරප්පාඩු පිරවීමටත් ඒ මගින් ඡන්ද දිනීමටත්, තමාගේ මිනිස්සුන්ට රැකියා දීමේ අනියම් සබඳතා පිළිබඳවත් ලොකුවට කතා කරති. එසේ කරමින් මහ පොළවේ සිදුනොවන ප්‍රතිසංස්කරණ පිළිබඳවද කතා කරති.

ලෝකයේ පවතින්නේ Less Goverment සංකල්පය හෙවත් රජයේ මැදිහත්වීම් අවම කිරීමේ ප්‍රවේශයන් වේ. එහෙත් ශ්‍රී ලංකාව Move Goverment හෙවත් සියල්ල රජය කළ යුතුය. ග්‍රාම නිලධාරි පුරප්පාඩු තව පිරවිය යුතුය. රාජ්‍ය සේවයට අත නොතැබිය යුතුය යනාදී මෝඩ හා ගතානුගතික සංකල්ප හා භාවිතාවන් තුළ හිරවී සිටී. නිසි කාලෝචිත හා අවශ්‍ය න්‍යාය පත්‍රයක් නොමැතිව තම වගකීම් ප්‍රදේශය තවදුරටත් ඵලදායී නොවන ප්‍රවේශයන් තුළ හිර කිරීම අවශ්‍ය නොවන බව යුගයේ ප්‍රබල මතවාදය වී ඇත. ඇමැතිවරු ඒ අනුව ක්‍රියා කිරීම ජනතා ඉල්ලුම හා අවශ්‍යතාවයක්ද වන්නේය.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment