ගිය වසරට වඩා මේ අගෝස්තුවේ අපනයන ආදායම බැහැලා – අපනයන සංවර්ධන මණ්ඩලය කියයි

48

ගිය වසරේ (2022) අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව මේ වසරේ (2023) අගෝස්තු මාසයේ අපනයන ආදායම සියයට 10.91 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අංශවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළෙඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත.

මේ අතර ගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව ඉකුත් අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,091.6 දක්වා සියයට 6.98 කින් වැඩි වී ඇතැයි ද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දැක්වේ.

2023 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,409.08 ක් වී ඇති අතර එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා සියයට 12.96 කින් වැඩි වී ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ, ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment