නිවස ගිනිගෙන මව ඇතුළු දරු දෙදෙනා නිදි යහනේදීම මරුට

358

මියගිය දියණියත් ශිෂ්‍යත්ව හපනෙක්
විදුලිය අරගෙන තිබෙන්නේ අසල්වැසි නිවසකින්
කාමරයේ පෙට්‍රල් බූලියකුත් තිබිලා – පොලිසිය
බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ පියා රෝහලේ

අනුරාධපුර ඇලයාපත්තුව වැව පාර මාන්කඩවල ප්‍රදේශයේ නිවසක පෙරේදා (26 දා) රාත්‍රී ඇතිවූ ගිනි ගැනීමකින් එකම පවුලේ මව, දියණියක් සහ පුත්‍රයකු එම නිවසේ කාමරයක් තුළ පිලිස්සී මරුමුවට පත්ව පියා බරපතළ පිලිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

පෙරේදා (26 දා) රාත්‍රී 11.30 ට පමණ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ගෙහිමියාගේ බිරිඳවන තිස් හැවිරිදි නිශාන්ති හේමලතා, දස හැවිරිදි ජයරත්නගේ හංසකා ප්‍රබෝධනි සහ පස් හැවිරිදි ජයරත්නගේ විනුජ නවෝද ජයරත්න යන තිදෙනා මරුමුවට පත්ව ඇත.

නිවස ගිනිගෙන මව ඇතුළු දරු දෙදෙනා නිදි යහනේදීම මරුට

මෙම සිද්ධියෙන් නිවසේ හිමිකරුවන හිටපු යුද හමුදා සෙබළෙකු වන තිස් අට හැවිරිදි ජයරත්නගේ සමන්ත යන අය බරපතළ පිලිස්සුම් තුවාල ලබා ඇත.

නිවසේ හිමිකරුවන හිටපු යුද හමුදා සෙබළා විසින් පෙරේදා (26 දා) සවස සිය ත්‍රිරෝද රථයේ ටැංකියෙන් ලබා ගෙන තිබු පෙට්‍රල් බූලියක් මියගිය තිදෙනා අවසන් වරට නිදා සිටි කාමරයේ ඇඳක් යට තබා ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර ගිනිගත් නිවසට අසල්වැසි නිවසකින් විදුලි රැහැනක් ආධාරයෙන් විදුලි බල මණ්ඩලයේ අවසරයකින් තොරව විදුලිය ලබා ගෙන තිබී ඇති අතර ඉන් හටගත් විදුලිය කාන්දුවකින් පෙට්‍රල් බුලියට ගිනි ඇවිලී මෙම ගින්න හට ගන්නට ඇති බවට මේ පිළිබඳව විමර්ශන පවත්වන ඇලයාපත්තුව පොලිසිය සැක පහළ කරයි.

නිවසේ අදාළ ගින්න හටගත් අවස්ථාවේ හෘද රෝගියකු බව කියන නිවසේ හිමිකරු නින්දයෑම සඳහා ඖෂධ වර්ගයක් පානය කොට සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා නිදා සිටි කාමරයට යාබදව පිහිටි කාමරයේ නිදා සිට ඇත.

රාත්‍රී 11.30 ට පමණ අසල්වැසි නිවසේ හිමිකරු ඇතුළු පිරිසක් අදාළ නිවස ගිනි ගෙන නිවස තුළින් ගිනි දැල් පිටවන අයුරු දැක ඔවුන් විසින් පසුව ගින්න නිවීම සඳහා ආධාර ඉල්ලා කෑ ගසන හඬ ඇසි නිවසේ හිමිකරු අවදිවී ගින්නට මැදිව පිලිස්සෙමින් සිටි සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුට පිලිස්සුම් තුවාල සිදුවී ඇත.

නිවස ගිනිගෙන මව ඇතුළු දරු දෙදෙනා නිදි යහනේදීම මරුට
සැමියා (යුද හමුදාවේ සිටියදී ගත් ඡායාරූපයක්)

ගින්නට මැදිවී ජීවිතක්ෂයට පත්වූ දස හැවිරිදි හසංකා දැරිය පෙරේදා ප්‍රතිඵල නිකුත්වූ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා තිබිණි. මියගිය කුඩා පුතු වන හැවිරිදි විනුජ ලබන වසරේ සිට පාසල් යෑම සඳහා ඇඟිලි ගනිමින් පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිට ඇති බව මෙහිදී අසල් වැසියෝ පැවසූහ.

සිද්ධියෙන් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන එම දරු දෙදෙනාගේ පියා වන සමන්ත ජයරත්න කලක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත්ව මාළු වෙළෙඳාමේ නිරතව සිට ඇති අතර ජීවිතක්ෂයට පත්වූ මව, දරු දෙදෙනා රැක බලා ගනිමින් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.

ගින්නෙන් පිළිස්සී මියගිය මව දියණිය සහ පුත්‍රයාගේ සිරුරු මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් ඊයේ (27 දා) දවල් වනවිටත් ඔවුන් නිදා සිටි කාමරය තුළ තිබෙනු දක්නට ලැබිණි. මේ අතර මියගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවීමටද පොලිසිය පියවර ගෙන තිබිණි.

මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ඒ. පුෂ්පකුමාර සහ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහානාම යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, නාච්චාදුව – ප්‍රභාත් වනසිංහ, මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment