ජනවර්ජනගේ පාන් ගෙඩිය සහ ලංකාවේ හාල් කිලෝ දෙක

1217

ඉතා ලස්සන කතාවක් කියමු. වව්නියාවේ ගනේශපුරම් ශ්‍රී සිත්තිවිනයාගර් කෝවිලේ මීට සිව් දිනකට පෙර පැවැති සල්පිලකදී අඹගෙඩි තුනක් සහ ප්ලාස්ටික් මල්මාලයක් රුපියල් ලක්‍ෂ 10 කට වෙන්දේසි විය. ඒ අඹ ගෙඩි තුනම වව්නියාවේම වැවෙන කර්තකොලොම්බන් අඹ වූ අතර මල් මාලය ලාබ ප්ලාස්ටික් රෙදිවලින් සාදන ලද්දකි. ඉහත සඳහන් සල්පිල පැවැත්වුණේ කෝවිලේ අභිවෘද්ධියට ආධාර ලබාගැනීම පිණිසය. වෙන්දේසියෙන් ඉහත සඳහන් ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ලංසු තබන්නා ලෙස කුඩා දරුවෙක් ඉදිරිපත් විය. ලෝක ඉතිහාසයේ සාමාන්‍ය අඹගෙඩි තුනක් හා ඉටිරෙදි මල්මාලයක් රුපියල් ලක්‍ෂ දහයක් හා සමාන මිලකට විකුණුනු මුල් අවස්ථාව මෙය වීමට පුළුවන. දරුවාට රුපියල් ලක්‍ෂ 10 එවා තිබුණේ ඔහුගේ විදේශගත දෙමාපියන් සහ විදේශගත ඥාතීන් විසිනි. සිත්තිවිනයාගර් කෝවිල පවතින ප්‍රදේශය තිස් අවුරුදු යුද සමයේදී විශාල ලෙස හානියට පත්විය. යුද්ධය නිමවී අවුරුදු 13 ක් ගතවීමෙන් පසු අඹ ගෙඩි තුනක් රුපියල් ලක්‍ෂ 10 ක් දී ලබාගැනීමේ වත්කම එම ප්‍රදේශවාසී ජනතාවට තිබේ. උතුරු නැගෙනහිර පළාතෙහි සිටින ජනයාගේ වැඩි පිරිසක් කැනඩාව, එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ටේ්‍රලියාව යන රටවල රැකියාවල් කර ලංකාවට මුදල් එවති. එහෙත් උන්ඩියල් ක්‍රමයට එවන එම මුදලින් ආර්ථික ප්‍රතිඵලයක් නෙළාගැනීමට ආණ්ඩුවට නොහැක. දකුණේ සිටින ජනයා මේ රුපියල් ලක්‍ෂ දහයේ කතාව ගැන ඉරිසියාවක් උපදවා ගත යුතු නැත. ඔවුන් කළ යුත්තේ තමන්ද වැඩි මුදල් ඉපයිය හැකි කර්මාන්තයකට යොමුවීමය. එය බොහෝදුරට විදේශ රැකියාවක් වීමට ඉඩ තිබේ. උන්ඩියල්කාරයන් අත්හැර පුළුවන් තරම් ඩොලර් සහ යූරෝ ලංකාවට එවීමට ඔවුන්ට හැකි නම් ජනතාවත් රටත් යන දෙකම දිනුම් ය.

 උතුරේ කතාව මෙසේ වන අතර දකුණේ කතාව මෙසේය. කඩයකින් බිත්තර හොරකම් කරන කාන්තාවකගේ වීඩියෝවක් පසුගියදා රූපවාහිනියෙන් ප්‍රචාරය කරන ලදි. ඇය මාතාවකි. ඇය බිත්තර හොරකම් කළේ බිත්තර බිස්නස් කිරීමට නොව නැතිබැරිකම නිසා දරුවන්ට දීමටය. ඊළඟට තාත්තා කෙනෙක් කඩයකින් හාල් කිලෝ 2 ක් සහ ධාන්‍යමය කෙටි ආහාර පැකට් 4 ක් ලබාගෙන මුදල් නොදී  මාරු විය. ඔහු අල්ලා බොරැල්ලේ පොලිසියට භාරදෙන ලදි. එම පොලිසියේ උපපොලිස් පරීක්‍ෂකවරයෙක් සැකකරුගෙන් ප්‍රශ්න කරන ලදුව හෙළිවූයේ සැකකරුගේ ගෙදර දරුවන්ට දින දෙක තුනකින් කෑම නැති බවය. එවිට පොලිස් පරීක්‍ෂකවරයා වහාම සිය පෞද්ගලික මුදලින් සැකකරුගේ බිල පියවා කාරණය එකඟත්වයට පත්කර ගත්තේය. මේ සමාජය තුළ අදටත් යහගුණ පිරි මිනිසුන් ඉතිරිව සිටින බව ඉහත සඳහන් සිද්ධියෙන් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් මෙවැනි සිද්ධියකදී වෙනදාට අසන්නට ලැබෙන කතාව පොලිසිය විසින් සැකකරුට අම්බානට නෙළන ලද බවය. එහෙත් පොලිසිය ඇතුළු සෑම රාජ්‍ය ආයතනයකම සිටින්නෝ සාමාන්‍ය මනුෂ්‍යයෝය. ප්‍රංශයේ ජීවත් වූ මහා ලේඛකයකු වූ වික්ටර් හියුගෝ විසින් 1862 දී Les Miserables යනුවෙන් නවකතාවක් ලිවීය. මෙහි සිංහල පරිවර්තනයක් පසුගිය ශතවර්ෂයේ මැදදී ‘මනුතාපය’ යන නමින් අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල විද්වතාණෝ සිංහලයට පරිවර්තනය කළහ. ජනවර්ජන යනුවෙන් චරිතයක් මේ පොතේ තිබේ. සිය සොයුරියගේ දරුවා කුසගින්නේ හඬනකොට පාන් ගෙඩියක් සොරා ගැනීම නිසා ජනවර්ජනට පස් අවුරුදු සිරදඬුවමක් නියම වේ. ඔහු හිරෙන් පනින්නට උත්සාහ කිරීම නිසා එම සිරදඬුවම ජීවිතාන්තය දක්වාම දීර්ඝ වේ. ඔහු අන්තිමට රෙජිස්ටර් වන්නේ දරුණු අපරාධකරුවකු ලෙසය. බොරැල්ලේ උප පොලිස් පරීක්‍ෂකතුමා වැනි පොලිස් නිලධාරියෙක් එදා ප්‍රංශ පොලිසියේ සිටියේ නම් ජනවර්ජනට හිරේ යන්නට සිදුවන්නේ නැත. එහෙත් ජනවර්ජනලා ජීවත්වූ මධ්‍යකාලීන ප්‍රංශ සමාජය වැඩවසම්වාදය විසින් දූෂණයට පත්කෙරුණු කාලපරිච්ඡේදයක් වෙයි. අද වනවිට ලෝකය ශිෂ්ටාචාරය දිගේ ඉදිරියට ගොස් ඇති බැවින් තත්ත්වය වෙනස්ය. කෙසේ වුවද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල පොලිසියේ තිබෙන දුප්පත්කමත් කුණුකමත් නිසා අපරාධකාරයෝ බිහිවෙති. කුඩුකාරයන් වැඩිදෙනා පොලිසියේ සහය ලබන්නාහ. සමහර පළාත්වල කසිප්පු ව්‍යාපාරය තනිකරම කරන්නේ පොලිසියේ උදව්වෙනි. මේ සඳහා පොලිසියට නිමක් නැතිව ජරාව දිය යුතුය. කුඩුකාරයන් සමග එක්ව සිටින ඇතැම් දේශපාලනඥයෝ පොලිසියට දැඩි බලපෑම් කරති. පොලිසිය සිටින්නේ ද ආර්ථික ප්‍රශ්න නිසා මිරිකිලාය. කොතරම් යහපත් පොලිස් නිලධාරියකුට වුවද දූෂිත සමාජ ක්‍රමයෙන් ගැලවීමට නොහැක. මෙය මීට මාස කිහිපයකට හෝ ගිය අවුරුද්දේ හෝ 1977 දී හෝ අලුතින් හටගත් තත්ත්වයක් නොව 1948 දී ලංකාව නිදහස ලැබූ දින පටන් දිගින් දිගටම වර්ධනය වී පුපුරාගොස් ඇති තත්ත්වයකි. අද වනවිට රටේ උද්ධමනය කොතරම් දරුණු වී ඇද්ද යත් 10% ක්වූ බැංකු ණය පොලිය 18.5% ක් දක්වා ඉහළ ගොස් ඇත. රුපියල් විසිදෙදහසක් වූ බැංකු ණය වාරිකය රුපියල් තිස්දෙදහ දක්වා ඉහළ ගොස් ඇත. මේ නිසා ෆිනෑන්ස් කොම්පැනි වෙතින් ලබාගත් හිඟ ණය වාරික සහිත ත්‍රිරෝද රථ සියල්ලම උස්සන්නට පටන්ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සහන සලසන ලෙස ආණ්ඩුව විසින් ෆිනෑන්ස් කොම්පැනිවලින් කරන ලද ඉල්ලීම ෆිනෑන්ස් කොම්පැනි අයිතිකාරයෝ තඹදොයිතුවකටවත් ගණන්ගෙන නැත්තාහ. මිනිසුන් ආර්ථික අර්බුදය නිසා දුකට පත්ව සිටින මෙවැනි අවස්ථාවලදී ෆිනෑන්ස් කොම්පැනිකාරයන් හැසිරෙන දුෂ්ට සහ නීච ක්‍රමයට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. ඒ අතර බොරැල්ල පොලිසියේ මානුෂීයවාදී පොලිස් නිලධාරියා කෙරෙහි අවධානය යොමුකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment