මන්ත්‍රීලාට කියලා දෙන්න  මහ බැංකු අධිපති එයි

101

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක් ලබන 30 වැනිදා සවස පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ අනුව එදින සවස 2 සිට 4 දක්වා පාර්ලිමේන්තුවේදී මෙම වැඩසටහන පැවැත්වෙන බව සභානායකවරයා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී කියා ඇත. පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය මේ සඳහා අපේක්ෂා කරන බව ද ඒ මහතා කීය.

මේ අතර ස්ථාවර නියෝගවල සංශෝධනයක් සිදුකරමින් කඩිනමින් ආංශික අධීක්ෂණ කාරක සභා පත් කිරීමට කටයුතු කරන බව ද සභානායකවරයා මෙහිදී පැවසීය.

තවද ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ශක්තිමත් කරමින් තවත් ස්ථාවර කාරක සභා ත්‍රිත්වයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

ඊට අමතරව ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරයන්ට ද පාර්ලිමේන්තු විවාදයන් තුළ සාධාරණ කාලයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 

advertistmentadvertistment
advertistmentadvertistment