ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර

248

පවතින විදේශ විනිමය අර්බුදය තුළ ගුවන් යානා ඉන්ධන ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන්යානාවලට ඉන්ධන ලබාගැනීමේදී මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඇමැතිවරයා සහ ගුවන් සමාගම් නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා (24දා) පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණු අනුව ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාව මේ පිළිබඳ පසුගිය 27 දා ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබේ.

ගුවන් සමාගම් නියෝජිතයන් සමග ඇමැතිවරයා සිදුකළ සාකච්ඡාවේදී තෙල් සංස්ථාව සතු ගුවන්යානා ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම නිසා සමහර ගුවන්යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම අඩුකර ඇතැයි ගුවන් සමාගම් පෙන්වාදී ඇත. එමෙන්ම ගුවන්යානා ඉන්ධන ගෙන්වීමේ ඒකාධිකාරිය තෙල් සංස්ථාව සතුව ඇති බවත් ඉන්ධන ගෙන්වීමට, ගබඩා කිරීමට සහ අලෙවියට තම ආයතනවලට අවසර දෙන්නේ නම් එය ඉටුකිරීමට තමන්ට හැකි බවත් එම සංගම් නියෝජිතයෝ ඇමැතිවරයාට පෙන්වා දී ඇත.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන්යානා ප්‍රමාණය අඩු වුවහොත් සංචාරක කර්මාන්තය, අපනයනය, විදෙස් ආයෝජන මෙන්ම ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා යන අයට එය තදින්ම බලපාන බැවින් පවතින නීති රීති සංශෝධනය කර හෝ පෞද්ගලික අංශයට ගුවන් යානා ඉන්ධන ගෙන ඒමට අවස්ථාව සලසා ගතයුතු බව මෙහිදී ඇමැතිවරයා විසින් අවධාරණය කර ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment