චීන ජනපතිගේ ජාත්‍යන්තර තානාපති අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි

67

යටිතල පහසුකම්, මානව සම්පත් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලකිය යුතු මට්ටමෙන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට සූදානම් බව චීන ජනපති ෂී ජින් පිං මහතාගේ ජාත්‍යන්තර තානාපතිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ පවසා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ චීන ජනපතිවරයාගේ ජාත්‍යන්තර නියෝජිත ලින් සොන්ග්ටියාන් (Lin Songtiyan) මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතා මේ බව සඳහන් කර ඇත.

විදේශ රටවල් සමඟ මිත්‍රත්වය පවත්වාගැනීම සඳහා වූ චීන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියාන් මහතා මෙම සාකච්ඡාවේදී පැවසුවේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට දැන් අවශ්‍ය වන්නේ නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම බවයි. අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ආයෝජකයින්ට හිතකාමී වාතාවරණයක් ඉක්මනින්

ස්ථාපිත කෙරුණහොත් හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු අනෙකුත් ආර්ථික කලාප මෙන්ම කොළඹ වරාය නගරයද ගෝලීය ආකර්ෂණයට ලක්වීමට බොහෝ ඉඩකඩ ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියන් සාගර මධ්‍යයේ උපාය මාර්ගික ස්ථානයක පිහිටීම, මහාමාර්ග, වරායන් මෙන්ම කාර්මික හා කෘෂිකාර්මික සංවර්ධනයේ ඉදිරි පිම්මක් සඳහා අවශ්‍ය නිපුණතා සහිත තරුණ ශ්‍රමිකයන්ගෙන් සමන්විත වීම වැනි සියලුම සුදුසුකම් ශ්‍රී ලංකාව සතුව ඇත. විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා නව බලශක්ති ප්‍රභවයන් අත්‍යාවශ්‍ය බැවින් සූර්ය බලය සහ සුළං බලය සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව තානාපති සොන්ග්ටියාන් පැවසීය.

මෙම සතිය මුලදී චීනයේ පැවති දෙමුහුන් සහල් ප්‍රභේද පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මාර්ගගත ක්‍රමය ඔස්සේ අමතා අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා සිදුකළ දේශනය පිළිබඳ සඳහන් කරමින් තානාපති සොන්ග්ටියාන් ශ්‍රී ලංකාවේ දෙමුහුන් වී වගාව සඳහා නියමු ව්‍යාපෘාතියක් ආරම්භ කිරීමට චීනය සූදානම් බව සඳහන් කළේය.

විදේශ හවුල්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද ආයෝජන යෝජනා කඩිනමින් විශ්ලේෂණය කොට සහතික කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම රජයේ ප්‍රමුඛතාව බව අග්‍රාමාත්‍යවරයා චීන නියෝජිත පිරිසට පැහැදිළි කළේය. සූර්ය බලශක්තිය, සුළං බලය සහ වෙනත් විකල්ප බලශක්ති සම්පත් වැනි නව ක්ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව විසින් අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ චීන විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment