ඡන්දයකට යන්න ජාත්‍යන්තරය කියද්දී..රජයේ වගේම විපක්ෂයත් අර්බුද රැසක හිරවෙලා…

986

පසුගිය සතියට පෙර සතියේ අප දේශපාලන කරළිය මත බොහෝ දේ සිදුව තිබිණි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාස භංග යෝජනාව පරාජයට පත් විය. එය පරාජයට පත් කරවීමට දැනට විපක්ෂයේ පසුවන, ආණ්ඩුව පිළිබඳ යම් යම් විවේචන ඇති මන්ත්‍රීවරුන් ද ඡන්දය දීම විශේෂත්වයක් විය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම් උත්සන්න විය. පක්ෂ සම්මේලනයෙන් දින කීපයකට පසුව පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරව තනතුරෙන් පහකර දමනු ලැබීය. ඒ සමග පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද රැසක් හටගත්තේය.

එපමණක්ද… නැත. ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඇතුළාන්තයේ ද පසුගිය සතියට පෙර සතිය වන විට අර්බුද ගණනාවකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවිය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙක් ඇතුළේ කැරලි ගසන්නට වූහ. පාඨලී චම්පික රණවක කලක් සජිත්ගේ ලොකු සවියක්ව සිටියත් දැන් ටික කලක සිට ඔහු සිටින්නේ වෙනම න්‍යයායපත්‍රයකය. සමගි ජන බලවේගයේ සටන් පෙරමුණුවල ප්‍රධාන සෙනවියකු වූ සරත් ෆොන්සේකා ද දැන් පක්ෂ නායකයාට අවනත නොමැති තරම්ය. සියල්ලටම වඩා පක්ෂයේ යම් යම් තීරණාත්මක නායකයෝ කීප දෙනෙක් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඇතිකරගෙන තිබෙන රහසිගත සබඳතා විපක්ෂ නායකට මහත් හිසරදයක්ව ඇත.

විපක්ෂය තුළ ද ඇති එකමුතුවක් නැත. විපක්ෂය ඇතුළේද මේ වනවිට පක්ෂ රැසක් තිබුණත් ඒවායින් බොහෝ පක්ෂ ආණ්ඩුවේම ආයෝජන මත නිර්මාණය වූ ඒවා බව දේශපාලන කරළියේ ප්‍රසිද්ධ රහසකි. බොහෝ කඳවුරු තාවකාලික වාසස්ථාන බව රහසක් නොවීය. එම නිසා විපක්ෂය තුළ අවම එකඟතාවක් සහිතව වත් එකමුතුවක් තනා ගැනීම පහසු කරුණක් නොවීය…

මෙම පසුබිම පසුගිය සතියට පෙර සිට පැවතියත් ඒ කිසිවකට නිශ්චිත විසඳුමක් නොවීය.

ගැටලු ගැටලු ලෙසත් අර්බුද අර්බුද ලෙසත් ප්‍රශ්න ප්‍රශ්න ලෙසත් දිගින් දිගටම පවතින්නට විය.

● දයාසිරිට ලේකම්කම
නැති වුණේ මෙහෙමයි…

ඒ අතර දයාසිරි ජයසේකරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්කම අහිමිවීම ගැන ලොකු කතිකාවක් නිර්මාණය විය. බොහෝ දෙනා එය කෙසේ සිදුවී දැයි සොයන්නට වූහ. සිද්ධිය පිටුපස ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා කඳවුරේ ප්‍රබල සාමාජිකයකු වූ සරච්චන්ද්‍ර මොන්ටේගු නම් අයෙක් වර්තමාන පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් බව හෙළිවූයේ ය.

මෙම නඩුව පවරා තිබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා දරන පක්ෂයේ සභාපති තනතුර ව්‍යවස්ථා විරෝධී තනතුරක් බව පෙන්වා දෙමිනි. ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරයෙක් පත් විය යුත්තේ නායකයා හෝ සභාපති තනතුරට නොව, පක්ෂයේ අනුශාසක පදවියට ය. කාගේ හෝ උපදෙස් මත සරච්චන්ද්‍ර මොන්ටේගු හෙවත් මොන්ටි නඩුව පවරා තිබුණේ මෛත්‍රිපාලගේ පක්ෂ නායකත්වයට එරෙහිව ය.

නඩුව පැවරුවට පසු ටික දිනකින් පක්ෂ නායක මෛත්‍රිපාල පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර ගනිමින් නමුත් තනතුරට සුදුසු පරිදි වගන්ති වෙනස් කළ බව ඇත්ත ය. එහෙත් නඩුව පවරා තිබුණේ එම වෙනස් කිරීමට පෙර නිසා අධිකරණය තුළ එම නඩුව සාකච්ඡා වූයේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනට අවාසිදායක පසුබිමකය. කාරණාව උණුසුම් වූයේ එම නඩුවේ තීන්දුව සම්මේලනයෙන් දින කීපයකට පසුව දීමට නියමිතව තිබූ බැවිනි.

නඩුවේ තීන්දුව පක්ෂ නායක මෛත්‍රීට විරුද්ධව පැමිණියහොත් කුමක් වන්නේදැයි පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇති විය. පක්ෂයට සම්බන්ධ නීතිඥවරුන් නායකයාට පෙන්වා දී තිබුණේ නඩුවේ තීන්දුව ඔහුට විරුද්ධව පැමිණියහොත් පක්ෂයේ නායකයාට සභාපතිට හිමි සියලු බලතල පක්ෂයේ මහලේකම්ට ව්‍යවස්ථානුකූලව හිමි වන බවකි. ඊට කුමක් කළ හැකි දැයි යන සාකච්ඡාවේදී අවසාන උත්තරය වී ඇත්තේ පාඩුවේ තීන්දුවට පෙර පක්ෂ නායකයාගේ බලය පාවිච්චි කර ලේකම්වරයා තනතුරෙන් ඉවත් කළහොත් කිසිදු ගැටලුවක් නැති බවකි. එදා රාත්‍රියේ හදිසියේම මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකරගේ ඉවත් කිරීම සිදු කරන්නේ එම නීති උපදෙස් අනුවය.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ කීපදෙනෙක් චන්ද්‍රිකා මැතිනිය හමුවී මෙම තත්ත්වයට පිළියමක් යොදන්නට සැලසුම් කළ අතර තවත් කීපදෙනෙක් නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්දැයි සොයා බලන්නට වූහ. තීන්දුව එන්නට පෙර නඩුව ඉල්ලා අස්කර ගත නොහැකි දැයි කියා සාකච්ඡාවක්ද ගියේය. කවර හෝ හේතුවක් නිසා එම නඩුවේ තීන්දුව දීම අදාළ දිනට සිදුවූයේ නැත. එහෙත් දයාසිරිගේ ඉරණම සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ නායකයා ප්‍රමාද කර තිබුණේ නැත.

දයාසිරිව පක්ෂයෙන් ඉවත් කළාට පසු හෙලිකොප්ටර් ලකුණෙන් නිර්මාණය වූ නිදහස් ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් කැඳවන්නට තිලංග සුමතිපාල මැදිහත්විය. එම රැස්වීම තිබුණේ වෝටර්ස් එජ් හෝටලයේ වන අතර ඒ සඳහා දයාසිරිට ද ආරාධනා කර තිබුණි. රැස්වීමට සහභාගි වූ විමල් වීරවංශ උදය ගම්මන්පිල වැන්නන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් උණුසුම් අදහස් දැක්වීම් කීපයක් ද කරනු ලැබීය. මෙම අදහස් දැක්වීම් හේතුවෙන් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන දැඩිලෙස කෝපයට පත්වූ බව ආරංචි මාර්ග හෙළි කළේය. එපමනක් නොව, දයාසිරි සම්බන්ධයෙන් එවන් පියවරක් ගැනීම ගැන සාකච්ඡා කිරීමට විශේෂ මධ්‍යයම කාරක සභා රැස්වීමක් කැඳවන්නට ද මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දු කළේය.

මෙම රැස්වීම එකොළොස්වන සඳුදා හවස හතරට පක්ෂ මූලස්ථානයේ පැවති අතර ඒ සඳහා තිබුණේ දයාසිරිට පක්ෂපාතී නොවන මට්ටමේ මධ්‍යම කාරක සභිකයන්වය. කෙසේ වෙතත් තිලංග සුමතිපාල ඒ සඳහා පැමිණ සිටියේය. ඒ අතර එදා එම රැස්වීමට
ගාමිණී තිලකසිරි කැඳවා තිබුණේ නැතත් ඔහු කල්තියා පැමිණ මෛත්‍රිපාල පැමිණෙන පෙර මඟට වී බලා සිටියේ ඔහුට’ විරෝධය පාමින් නඩුවක් කියන්නටය. ඒ අතර තවත් කණ්ඩායමක් ගාමිණී තිලකසිරි එතන කරන දේ වීඩියෝ කරන්නට හා ෆේස්බුක් මගින් ප්‍රචාරය කරන්නට මග බලා සිටියහ.

කිසිවක් නොදැන මෛත්‍රිපාල සිරිසේන ඇතුල් වන විටම ගාමිණී තිලකසිරි ඉදිරියට පැන “මොනවද සර් මේ කරන විලි ලැජ්ජ නැති වැඩ…” කියමින් විරෝධය පාන්නට විය. මෛත්‍රිපාල ඔහුව සන්සුන් කරවමින් ඔහු කැටුව මධ්‍යම කාරක සභා රැස්වීමට ගියේය.

මෙම සාකච්ඡාවේදී මෛත්‍රිපාල සිරිසේන උත්සාහ කළේ දයාසිරිට එරෙහිව ගන්නා ලද තීන්දුව සාධාරණීකරණය කිරීමටය. වෙන දා දයාසිරිට පක්ෂපාත ව සිටින පිරිස් මේ සම්බන්ධයෙන් යමක් කියන්නට උත්සාහ කළේ නැත. එහෙත් තිලංග තර්ක කළේය. “ඔබ මේ ඉවත් කිරීම කරනු ලැබුවේ පක්ෂ ව්‍යවස්ථාවේ කවර වගන්තියක්, කවර ප්‍රතිපාදනයක් යටතේ දැයි අසමින් තිලංග ප්‍රශ්න කළේය.

ඒ අතර තවත් පිරිසක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියව පක්ෂයේ වැඩකටයුතුවලට සම්බන්ධ කර ගැනීම පිළිබඳ යෝජනාවක් ගෙනාහ. හෙක්ට බෙත්මගේ මෙහිදී එම යෝජනාව ස්ථිරත්වයෙන් සම්මත කරගත යුතු යැයි පෙන්වා දුන්නේය.

“යෝජනා ස්ථිර කරගෙන නීතියක් කරන්න ඕන්නෑ… අපි ඉදිරියට එහෙම කරමු….” බහුතරය කීවේ එයයි.

කෙසේ වෙතත් මේ වන විට පක්ෂ නායකයා දායාසිරි සම්බන්ධයෙන් එළියේ එළිපිටම ප්‍රකාශයන් කීපයක්ම කර තිබිණි. දයාසිරිට පක්ෂයේ වෙනත් තනතුරක් සඳහා පැමිණිය හැකි බව ඔහු කියා තිබිණි. මේ අතර තවත් පිරිසක් දයාසිරිගෙන් හිස්වූ ලේකම් තනතුර දුමින්ද දිසානායකට ලබාදීමට උත්සාහ කළහ. එහෙත් පක්ෂ නායකයා ඒ පිළිබඳ කිසිදු එකඟත්වයක් ප්‍රකාශ නොකරම නිහඬව සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇත්තේ එතනින් එහාට පක්ෂය රැගෙන යෑම පිළිබඳ අභියෝගයයි.

● අර්බුදයට විසඳුම් සොයා
ජනපති සංචාරය අරඹයි

ජනාධිපතිවරයා පසුගිය සතියේ සිය විදෙස් සංචාරය ආරම්භ කළේ බදාදා අලුයමය. පළමුව ඔහු කියුබාවේ හවානා නුවර පැවැත්වෙන “ජී 77 කණ්ඩායම සහ චීනය” යන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට නියමිතව තිබුණි. එම රැස්වීම අමතා ඉන් පසුව එරට සමග කරන ලද ද්විපාර්ශ්වික හමුවීම්වලින් අනතුරුව 17 වැනිදා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ද නියමිතව තිබිණි.

මෙම සංචාරය නිසා පසුගිය සති අන්තය ජනාධිපතිවරයාට කාර්යබහුල දින කීපයක් විය. පළමුවෙන්ම තමන් දරන අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවරිය යුතු විය. ඒ අනුව ආචාර්ය රංජිත් සියඹලාපිටිය, අනුප පැස්කුවල්, ප්‍රමිත තෙන්නකෝන් හා ෂෙහාන් සේමසිංහ වෙත තම අමාත්‍යාංශ හතරේ වගකීම් දුන්නේය. ඒ අතර අමාත්‍යාංශවල රැස්වීම් කිහිපයකට ද සහභාගි වන්නට ජනාධිපතිවරයාට සිදු විය.

මේ අතර ජනාධිපති කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයකට සහභාගි වන්නට අමතක නොකළේය. පුරුදු පරිදි ඔහුගේ එහි රාජකාරිය වූයේ පෙරහැර හා සම්මත දළදා කරඬුව තැන්පත් කිරීමයි. ඒ කටයුත්ත සඳහා අලුතෙන් අට්ටාලයක් ඉදි කර තිබුණත් ජනාධිපති ආරක්ෂක අංශය මුල සිටම කියා සිටියේ ජනාධිපතිවරයාව එම අට්ටාලයට නැග්ගවීමට නොහැකි බවයි. ඒ අනුව සංවිධායකයන් ජනපති අතින් කරඬුව එම ස්ථානයට ගෙන ඒමටත් අනතුරුව එය හක්තියා මත තැන්පත් කිරීමට සාගල රත්නායකට භාර දීමටත් සැලසුම් කර තිබිණි. ජනාධිපතිවරයා මේ කිසිවක් නොදැන කරඬුව රැගෙන විත් කෙලින්ම අට්ටාලයට ගොඩ වන්නට පටන් ගත්තේය. ආරක්ෂක අංශවලට කළ හැකි දෙයක් නොවීය. සාගල කල් තියා කරන ලද සැලසුම පිළිබඳ කරුණු විස්තර කරන්නට සූදානම් වුවත් ජනාධිපතිවරයා අට්ටාලයේ මස්තකයටම නැග කරඬුව හස්තියා මත තැන්පත් කිරීමේ කටයුත්ත ඉටු කළේය.

එම අවස්ථාවේදී සාගලටත් විජයදාස රාජපක්ෂටත් අට්ටාලය මතට ගොඩ වන්නට සිදුවූයේ ඔවුන් දෙදෙනා අතින් පිච්ච මල් පූජා කිරීම සැලසුම් කර තිබූ නිසාය. ඔවුන් දෙදෙනා ද ඒ අනුව අට්ටාලයට ගොඩවූහ.

පළමුව මල් පූජා කිරීම නියමිතව තිබුණේ විජයදාසට ය. ඔහුගෙන් පසුව සාගලටය. විජයදාස මල් පූජා කර පසෙකට විය. අනතුරුව සාගල මල් පූජා කිරීමට අට්ටාලයේ අයිනට යෑමට උත්සාහ කරද්දී විජයදාස ඔහුව ඉන් වළකන්නට පස්සට අදින්නට විය. ඒ ඇයි දැයි තේරුම් නොගත් සාගල විජයදාසගේ විරෝධය නොතකා ඉදිරියට ගොස් අට්ටාලය කෙළවර සිට කරඬුවට මල් පූජා කළේය.

කෙසේ වෙතත් මේ ගැටලුව සාගලගේ හිතේ තිබිණි. පසුව ඔහු දුරකථනයෙන් විජයදාස රාජපක්ෂට කතා කර මෙසේ ඇසීය…

“ඔබතුමා ඇයි ඊයේ මට දළදා වහන්සේට මල් පූජා කරන්න නොදී පස්සට ඇද්දේ… ඒක හරි නෑ. සමහරු දැක්කා…?”

ඔයා දන්නෑ නේ මට වුණ වැඩේ. මම මල් පූජා කරන්න කලින් අට්ටාලයේ වැටෙන් අල්ලගෙන අයිනට ගියානේ. ඒ වෙලාවේ ඇතා අට්ටාලයේ වැඩට පිට හේත්තු කළා. මගෙ අත හිර වුණා. වේදනාව ඉවසගෙන මං ඔබතුමාගේ අතින් ඇද්දේ ඔබතුමාටත් ඒ අනතුර වෙයි කියලා ඉන් වළක්වා ගන්න….” සාගලට කාරණාව වැටහුණේ එහිදීය….

සඳුදා හවස ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්විණි. ඉන් පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් හමුවේ පැවසීය. අගමැති දිනේෂ් සභානායක සුසිල් ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න මේ කතාබහට සම්බන්ධ වූහ. ඔවුන් කතාබහ කළේ ජනාධිපතිවරයා රටේ නැති දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ හා රටේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම ගැනයි.

අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වේ ය. අගමැති දිනේෂ් ආරක්ෂක මණ්ඩල උපදේශක සාගල ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග මට ඒ ආරක්ෂක තත්ත්වය ගැන සාකච්ඡා කළ ජනාධිපතිවරයාගේ ඊළඟ මාතාව මාතෘකාව වූයේ “චැනල් ෆෝ” වැඩසටහනයි.

“මේ වගේ වැඩසටහන්වලින් අපේ රටේ ආරක්ෂක ප්‍රධානියකු හෝ නිලධාරියකු වෙත යම් චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ කෙනා පමණක් කටයුතු කළ යුතු නෑ.. ඒ වෙලාවෙදි එයාට තනිවෙන්න දෙන්න හොඳ නෑ….” ජනාධිපති පැහැදිලි කිරීමක් කළේය.

● මැතිවරණ වසරකට
පක්ෂ පෙර සූදානමක…

පසුගිය සතියේ පාර්ලිමේන්තු සතියක් නොවූවත් දේශපාලන පක්ෂවලට හා දේශපාලන ක්‍රියාකාරීන්ට කිසිදු විවේකයක් නම් නොවීය. පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමක්ම සිටියේ කාර්යබහුල දේශපාලන න්‍යායපත්‍රවලය.

එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප්‍රතිසංවිධාන කටයුතු අත්හළේ නැත. පක්ෂ සභාපති වජිර අබේවර්ධන ගම් නියම් ගම් හරහා යමින් පක්ෂයේ සංවිධාන කටයුතු ඉටු කරමින් සිටියේය. ඊට අමතරව ඔහු සිරිකොත පක්ෂ මූලස්ථානය මුල්කර ගනිමින් සංවිධාන කටයුතු වේගවත් කරමින් සිටියේය.

අඟහරුවාදා උදේ සිරිකොත මූලස්ථානයට පක්ෂයෙන් නිලධාරි මණ්ඩලයේ පිරිසක් කැඳවා තිබිණි. නියෝජය නායක රුවන් විජයවර්ධන මහ ලේකම් රංග බණ්ඩාර, උපනායක අකිල විරාජ් හිටපු අමාත්‍ය අචල ජාගොඩ සිරිකොත ප්‍රධාන විධායක සමල් සෙනරත් ලක්වනිතා ෂාන්තිනී ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ රැස්වීමට පැමිණ සිටියහ. ඔවුන් සාකච්ඡා කළේ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ඉදිරියට රැගෙන යන ආකාරයයි. ලබන වසර වන විට ඡන්දයක් ඉල්ලන මට්ටමට එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය වර්ධනය කරගැනීමට යෝජනා හා උපායමාර්ග මෙහිදී මැනවින් සාකච්ඡාවට ලක්විය.

එක්සත් ජාතික පක්ෂය මෙසේ ශක්තිමත් වන අතරතුර විපක්ෂයේ ප්‍රධාන බලවේග කීපයද ලබන වසර නිසැකවම මැතිවරණ වසරක් වන බව දැන සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ජන බලවේගය මේ සඳහා සූදානම් වන්නට පටන් ගෙන බොහෝ කල් ය. ඔවුන් පක්ෂයේ ශක්තිය පිළිබඳ ලොකු විශ්වාසයකින් හා තක්සේරුවකින් සිටියහ. රනිල්ට හා රාජපක්ෂවරුන්ට එරෙහිව සමාජයේ පෙනී සිට සියලුම දෙනා තමන්ගේ ඡන්ද දායකයන් යැයි ඔවුහු විශ්වාස කළහ. මේ නිසා දැඩි තක්සේරුවකින් පසුවූ පක්ෂය පිළිබඳ යම් යම් අනවබෝධයන් වලින් හා සුළු සුළු විවේචනවලින් පසුවන කණ්ඩායම් දිනාගන්නට කිසිදු උත්සාහයක් නොකළහ. පක්ෂයේ බොහෝ නායකයන් කළේ ඔවුන් අනිත් ගොඩට දමා වෙනත් කවර හෝ කණ්ඩායමක සාමාජිකයන් හෝ කුලී කරුවන් යැයි කියා හංවඩු ගැසීම පමණි.

එපමනක් නොව, වෙන එකක් තබා ඡන්දයකදී හෝ වෙනයම් සමාජමය කටයුත්තක දී තමන් හා ඒකරාශී වීමට අත දිගු කරන විපක්ෂයේ තමන් තමන්ට සමානකම් ඇති කණ්ඩායම් සමග සන්ධානගත වන්නට ද ඔවුන් උත්සාහයක් දරුවේ නැත.

කෙසේ වෙතත් ජාතික නිදහස් සභාව පහුගිය දිනවල විපක්ෂයේ තමන්ට ගැළපෙන සමානකම් ඇති කණ්ඩායම් ඒකරාශී කර ගැනීමට යම් සාධනීය උත්සාහයක් ගනිමින් සිටියහ. ඔවුන් පළමුව උත්තර ලංකා සභාගය සමග එකඟතාවක් ඇති කරගෙන සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟද සම එකඟතාවක් ඇති කර ගන්නට ඔවුන් පසුගියදා උත්සාහයක් දරා අසාර්ථක වූවත් ඔවුන් එම උත්සාහය අත්හැර දමා තිබෙන්නේ නැත. ජාතික ජන බලවේගය සමග පමණක් නොව ඔවුන් සමගි ජන බලවේගය සමග ද ඒ සඳහා සාකච්ඡා කළහ. මේ සම්බන්ධයෙන් ඔවුන්ට යම් සාධනීය එකඟතාවක් ඇති කර ගන්නට එහිදී හැකියාවක් ලැබිණි.

● අගමැති දිනේෂ්
බැසිල් හමුවන්න ගිහින්…

ඒ අතරතුර ආණ්ඩුව සමග සිටින ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේ එන මැතිවරණ සහ රජයේ ඉදිරි වැඩකටයුතු ඉලක්ක කර ගනිමින් ඉදිරියටත් අවබෝධයක් ඇති කර ගනිමින් කටයුතු කරන්නේ කෙලෙසද කියා සාකච්ඡා කිරීමට මහජන එක්සත් පෙරමුණ සමග සාකච්ඡාවක් ආරම්භ කළේය. පහුගිය දහතුන් වන බදාදා රාත්‍රියේ මෙම සාකච්ඡාව තිබුණේ බැසිල් රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන මූලික කර ගනිමිනි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබසාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ සේවකයන් සමඟ ඇතිවිය යුතු කථිකාවත්, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු, සේවක අයිතිවාසිකම්, අස්වැසුම හා සමෘද්ධි සහනාධාරය පිළිබඳව ඇති ගැටලු, ඖෂධ ප්‍රශ්නය ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු, මැතිවරණ ක්‍රමය සහ තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු විවිධ අණපනත් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බැවින් ඉදිරි අයවැයේදී ජනතා සුභසාධන හා ජනතා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන මෙන් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එහිදී තීරණය විය.

අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව කෙමෙන් අඩු කිරීමට නීතියෙන් නියම වී ඇති නිසා සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුව ඇති බවද පක්ෂ දෙකේ නියෝජිතවරු අවධාරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න යන අයද, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස ජයවර්ධන යාපා, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජය රත්නායක, මහානාම සමරනායක යන අය මෙම සාකච්ඡාවට එක්විය.

● ගජකේශරී යෝගය ගැන
අනාවැකි විවාදයක්

පසුගිය සතිය වන විට අපේ දේශපාලන කරලියේ විවිධ කතා මෙන්ම විවිධ ආරංචි ඒ මේ අත හුවමාරු වන්නට පටන් ගත්තේය. මේ අතරින් කතා දෙක තුනක් කෙරෙහි සමාජ මාධ්‍ය වලින්ද ලොකු අවධානයක් ඇතිවිය. එක් කතාවක් වූයේ ප්‍රසිද්ධ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන ප්‍රකාශ කරන ලද කාරණාවක් ගැන ය.

තම නායකයා වන සජිත් ප්‍රේමදාසට ගජකේශරි රාජයෝගය උදාවී ඇතැයි කියා මේ කතාව මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ඉදිරියේ ප්‍රකාශ කර තිබුණේ හැම ජන බලවේගයට අයත් පසුපෙළ මන්ත්‍රීවරයෙකි. ඔහු නිසැකවම ඊළඟ ජනාධිපති වන බවට මන්ත්‍රීවරයා තර්ක කරද්දී එතන සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඊට එරෙහිව මෙසේ කියා තිබිණි.

“ඔය දෛවඥයාම තමයි 2015දී මහින්ද මහත්තයා දිනනවා කියලා අනාවැකි කියලා නැකැත් හදලා දීලා රාජපක්ෂවරුන්ව ඇන්දුවේ. එයා කියන දේවල් ගැන අපි නම් සලකන්නෙ නෑ…”

“ඒ ඔයාලා නේ… ඒගොල්ලො දන්නෙ නැති වුණාට එදා එතුමා හරි නැකත හදලා දීලා හරි අනාවැකිය කියලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. අපි නම් ඕවා හොඳට දන්නව…” සජිත්ට පක්ෂපාත මන්ත්‍රීවරයා එසේ කියා පිටත්ව ගියේලු…

ඒ අතර කතාවක් පැතිර ගියේ ළඟදි සිදුවන ඇමැති මාරුවක් ගැනය. එහිදී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු තවත් මන්ත්‍රීවරු හතර දෙනකුට ඇමැතිකම් හිමිවනු ඇතැයි විශ්වාසය පළ කර තිබිණි. මේ කතාව ද දේශපාලන කරලියේ ඉතා ඉක්මනින් පැතිර යන්නට විය. එහෙත් සමාජය ඒ පිළිබඳ කතා කරමින් සිටියදී අනුර ප්‍රියදර්ශන යාපා සිටියේ තවත් තැනකය.

අනුර ප්‍රියදර්ශන යාපා තම නිවසේ රැස්වීමක් කැඳවමින් ලංසා ගේ මෙහෙයවීමෙන් ඇතිකරගෙන තිබෙන නව සන්ධානයේ ඉදිරි දැක්ම හා වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරමින් සිටියේය. ඔවුන් මෙය පවත්වනු ලැබුවේ එම කණ්ඩායමේ කුරුණෑගල දිස්ත්‍රික් හමුවීම් මාලාවේ කුලියාපිටිය රැස්වීම ලෙසය. කුලියාපිටිය ඊරියගොල්ල අනුර ප්‍රියදර්ශනගේ නිවසේ පසුගිය සෙනසුරාදා පැවති මෙම හමුවට පළාත් සභා මන්ත්‍රීවරු 8 දෙනෙක් ප්‍රාදේශීය සභාපතිවරු හත්දෙනෙක් ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයන් 34 දෙනකු පැමිණ සිටීම විශේෂත්වයක් වූහ.

ඒ අතර පසුගිය සතියේ නව සන්ධානයේ නායකයන් කිහිප දෙනෙක් අමරවීරගේ නිවසේ එක්ව කතා බහක සිටින අතර දයාසිරි ගේ ඉරණම ගැන ද සාකච්ඡාවක් ඇති විය.

“කොයි නායකයාද කැමති තමන්ව විවේචනය කරන මනුස්සයෙක්ව දිගටම තියාගන්න” නිමල් ලන්සා කීවේය.

“නායකයට අරින්න ගත්තොත් ඉතින් කරන්න බෑනේ” නලින් ප්‍රනාන්දුද කතාබහට එක්විය.

“දැන්නම් එයා හොඳටම බනින්නේ අපිට. මගෙනුත් යන යන තැන මීඩියා එකෙන් ඕක අහනවා මම කිසිදෙයක් කියන්න යන්නේ නෑ. අපි මොකටද නිකන් ඕවට උත්තර දෙන්න ගිහිල්ල සවුත්තු වෙන්නේ” අමරවීර කීවේය.

“ඒ විතරක් නෙමෙයි දැන් ලක්ෂ 50ක් ඔට්ටුවක් අල්ලපු කෙනෙක් ගැනත් කියනවා. ගම්පහ රාජ්‍ය ඇමැති කියල කියන්නේ. සමහරු මගෙනුත් අහනවා අනේ මමනම් කාටවත් කිසිම ඔට්ටුවක් අල්ලලා නෑ” ලසන්ත අලගියවන්න මහතාද කීවේය.

“දැන් දයාසිරි කියන්නේ අපි පක්ෂේ ගෙනිහිල්ල යූ. එන්. පී. එකට හේත්තු කරන්නලු යන්නේ. යන යන තැන දැන් එහෙම කියනවා” දුමින්ද තවත් එකතු කළේය.

“කිසිසේත්ම එහෙම වෙන්නේ නෑනේ. එහෙම වෙන්නේ නෑ කියල මිනිහත් දන්නවා, හැබැයි මේ වෙලාවේ මිනිස්සු කුලප්පු කරන්න එහෙම කියනවා” ලසන්ත කීවේය.

පසුගිය දිනවල ප්‍රසන්න රණතුංගට තැන් තැන්වලදී අසන්නට ලැබුණු විවේචනයක් තිබිණි.

ඔබතුමා ඉස්සර මහින්ද මහත්තයා වෙනුවෙන් කැපවුණු කෙනෙක්. දැන් ඔබතුමා හදන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන් කැපවුණු පාක්ෂිකයෝ ටික අරගෙන ගිහිල්ලා රනිල් වික්‍රමසිංහගේ සාක්කුවට දාන්න…”

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment