ලොවක්‌ මවිත කළ නාලන්දාවේ නර්තන ගුරු පියාණෝ

1677

දෙස් විදෙස් පතළ කෘතහස්ත නර්තන ශිල්පියකු සහ නර්තනාචාර්යවරයකු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ නර්තන අංශයේ බාහිර කථිකාචාර්ය ප‍්‍රවීණ නර්තනවේදී කලාභූෂණ එස්. වෙලබඩගේ මහතා පුරා වසර අනූවක් (90* ආයු වළඳා 03.09.2021 දින උදෑසන සිය දිවි සැරිය නිමා කොට නර්තන දිවියෙන් ද සමුගෙන යෑම ඉතා සංවේගජනක සිදුවීමකි.

සබරගමුව පළාතේ අටකලං කෝරළයේ පුරන්වත්ත අම්මඩුව ග‍්‍රාමයෙහි දී පාරම්පරික ගුරු කුලයක 1931 දෙසැම්බර් 25 වැනිදා උපත ලැබූ මෙතුමාට නම් තැබුණේ සයිමන් වෙලබඩගේ ලෙසිනි.

මාකඳුර රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා නර්තන අධ්‍යාපනය ලැබූයේ සබරගමු සාම්ප‍්‍රදායික නර්තනාචාර්යව රජකු වූ යකුටුමුල්ලේ මොහොට්ටිහාමි කපුනිළමේ ගුරුතුමා වෙතිනි. ූ

උඩරට නර්තනය වැල්කෙනියාය නායක හිමියන්ගේ මඟ පෙන්වීමට අනුව කොස්කොළවත්තේ ගුරුතුමා යටතේ ප‍්‍රගුණ කෙරිණි.

පාසල් වියේ පටන් ම අම්මඩුව පත්තිනි දේවාලයේ තම්මැට්ටම් වාදකයකු ලෙස කටයුතු කළ මෙතුමා පාසල් අධ්‍යාපනයෙන් පසුව ගාන්ධර්ව විභාගය (වර්තමාන ජාතික නැටුම් හා සංගීත විභාගය) උඩරට නර්තන අංශයෙන් සමත්ව එවකට එස්. පණීභාරත මහතාගේ මූලිකත්වයෙන් පිහිටවූ රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ මුල් කාලීන ශිෂ්‍යයකු ලෙස ඇතුළත්ව නර්තනය පිළිබඳ සය අවුරුදු ඩිප්ලෝමාව ලබා ගත්තේය.

1959 වසරේදී ක/වරකාගොඩ විද්‍යාලයට ගුරු පත්වීමක් ලබා රජයේ සේවය අරඹන වෙලබඩගේ මහතා 1967 වසරේ දී කොළඹ නාලන්දා විද්‍යාලයේ නර්තන උපදේශකවරයා ලෙස පත්ව විත් එවක් පටන් 1991 වසරේ දී රජයේ සේවයෙන් විශ‍්‍රාම යන තෙක් ම පුරා වසර තිස් දෙකකට (32* ආසන්න කාලයක් නාලන්දාවේ නර්තන අංශයේ ප‍්‍රධානාචාර්ය ධුරය හෙබවීය.

එසේම 1978 සිට 2010 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ නර්තනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කර ඇත.

අධ්‍යාපන, සංස්කෘතික, ක‍්‍රීඩා යන අමාත්‍යාංශ මෙන්ම විවිධ ආයතන හා එක්ව සිය මූලිකත්වයෙන් නර්තන හා වාදන සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති එතුමා ලැබූ සම්මාන සහ ඇගයීම් අතර,

1955 දී සබරගමු මහා කලා උළෙලෙහි දක්ෂතම උඩරට වෙස් නර්තන ශිල්පියා ලෙස පදක්කම් ලබා සම්මානයට පාත‍්‍රවීම, 1956 දී සබරගමු මහා කලා උළෙලෙහි උඩරට වෙස් නර්තන අංශයෙන් ප‍්‍රථම ස්ථානය ලබා ගැනීම, 1984/1985 දී මහනුවර දළදා පෙරහැරෙහි මඟුල් මඩුවේ පැවැති තරගයෙන් උඩරට වෙස් රන් පදක්කම් දිනා ගැනීම,1986/1992/1995 දී මහනුවර දළදා පෙරහැරෙහි දක්ෂතම නර්තන ශිල්පීන් විෂයෙහි පිදෙන ජනාධිපති සම්මාන දිනා ගැනීම විශේෂ අවස්ථා ලෙස දැක්විය හැක.

මීට අමතරව 1994 දී කලාභූෂණ සම්මාන, 2000 දී කලාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම වස් සංස්කෘතික අමාත්‍යාංශය විසින් පිරිනමන ලද විශිෂ්ට නර්තනවේදී සම්මානය ආදී ගෞරව සම්මානයන්ගෙන් ද පුද ලබා ඇත.

1965 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කලා උළෙල ප‍්‍රධානව එතුමා සහභාගී වූ විදේශ සංචාර අතර,ූ

1962 දී ඉන්දුනීසියාව සහ ඉන්දියාව, 1965 දී එංගලන්තය, නවසීලන්තය සහ

ඔස්ටේ‍්‍රලියා (සංස්කෘතික අමාත්‍යාංශය*, 1975 දී ප‍්‍රංශය, බෙල්ජියම සහ ස්පඤ්ඤය, 1979 දී ස්විට්සර්ලන්තය සහ මැද පෙරදිග, 1984 දී හොංකොං ජන කලා උළෙල, 1986 දී වැන්කුවර් පොදු රාජ්‍ය මණ්ඩල කලා උළෙල, 1988 දී ටොරොංටෝ හාබ්බෙරි වාදක සංදර්ශනය, 1988 දී එක්ස්පෝ ‘88 ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් සිට කේන් දක්වා, 1989 දී ඊශ‍්‍රායලය, 1994 දී ජර්මනියේ ස්වුට්ගාඞ් මහා කලා උළෙල, 1994 දී ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් විශ්වවිද්‍යාලයීය කලා උළෙල, 2003/2004 දී ඕමානය යන සංචාරයන් වැදගත් වෙයි.

එසේම දැනට නර්තන ක්ෂේත‍්‍රයේ සිටින ප‍්‍රවීණ ශිල්පීන් රැුසකට නර්තනයේ අත් පොත් තැබූ මෙතුමාණන්, ප‍්‍රවීන නර්තනාචාරීණි මල්ලිකා වෙලබඩගේ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ අතර ප‍්‍රවීන නර්තන ශිල්පී රේණුක සහ ශිල්පිනී අචලා යන දූ පුතුන්ගේ සෙනෙහෙබර පියාණන් විය.

ශ‍්‍රී ලාංකේය නර්තන ක්ෂෙත‍්‍රයේ උන්නතියට මහත් සේවයක් කළ අපේ කාලයේ දයාබර නර්තනවේදියාණෙනි, නර්තනාචාර්යතුමාණෙනි, ගුරු මුෂ්ටි නොතබා නොමසුරු ලෙස ශිල්ප ඥානය අප වෙත හා ඉදිරි පරම්පරාවන් වෙත මහත් සෙනෙහසින් ලබා දුන් මහඟු පිනෙහි මහිමයෙන් ඔබතුමාණන් හට නිවන් පුර රුවන් දොරටු විවර වේවා..!

(මෙහි සටහන් කරුණු එක් රැස් කිරීමේදී මා වෙත විශේෂ සහයක් ලබා දුන් කුමාර වසන්ත පෙරේරා සහ නාලන්දා විද්‍යාලයේ හිටපු නර්තනාචාර්ය අසංග තිලකරත්න සොයුරන් හට මාගේ විශේෂ ස්තූතිය*

ඉරාමල් දහනායක
කොළඹ නාලන්දා විද්‍යාලයීය
‘88 කණ්ඩායම
.

advertistmentadvertistment
advertistmentadvertistment