ජනාධිපති දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ පපුවට පිහියෙන් ඇන්නා

112

ලියලා තියා ගන්න හොරුන්ට තියෙන්නෙ ටික කාලයයි

77 ට කලින් තිබ්බ පාර්ලිමේන්තුව 24 දී ආයෙත් ගේනවා

අපි සටන් අතහැර මග දාලා යන මිනිස්සු නෙවෙයි

ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ…මගේ ආරක්‍ෂාව ත්‍රිවිධරත්නයට භාරදී අවසන්

ක්‍රිකට් ප්‍රශ්නේ විසඳන්න ජනාධිපතිවරයාට කවදාවත් ඕන කමක් තිබුණේ නැහැ

දූෂිත යැයි කියනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් ඉවත් කිරීම සඳහා සටනට පිවිසි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ වන විට ඇමැති තනතුරු ගැළවී ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 නොවැම්බර් 27 වැනිදා.රොෂාන් රණසිංහ මහතාව ඇමැති ධුරයෙන් නෙරපූ පසු “හොරු බලවත්, හොරු දිනුම්” යැයි ඔහු කීවේය.ඇත්තටම හොරු ජයග්‍රහණය කළේ ද? ලබන ජනාධිපතිවරණයේදී මෙම ප්‍රශ්නය කොහොමත් විසඳනවා යනුවෙන් කිව්වේ කුමක්ද? ඊළඟ නැවතුම කොතැනද? යන්න ඇතුළු ගැටලු ගණනාවක් පිළිබඳ විමසීම සඳහා “දිවයින ඉරිදා සංග්‍රහය” හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු.
පහතින් පෙළගැසෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ඔබව ඇමැති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඇතැමුන් සැබෑවටම කනගාටු වෙනවා. ඒ වගේම ඔබට එරෙහි පාර්ශ්වයන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව තිබෙනවා. ඔය දෙපාර්ශ්වයටම නොමැති තවත් කොටසක් “හොඳ වැඩේ, මරු වැඩේ” කියලා කියනවා. මොකද, මෙතරම් කාලයක් ඔබ නියෝජනය කළ, ඔබ ආරක්ෂා කළ දේශපාලනයේ නිරුවත තවත් විදිහකින් හෙළි වූ බව ඔවුන්ගේ අදහස. හොරුන්ට වංචනිකයන්ට ඉඩක් දෙන්න බැරි බව කියන ඔබට මෙතරම් කාලයක් එම දේශපාලනය නියෝජනය කරන්න වීම පිළිබඳ ඇත්තේ කිනම් හැඟීමක්ද ?

පිළිතුර – පවතින ක්‍රමය තුළ අපි කැමති වුණත් නැති වුණත් දේශපාලනයට එන්න නම් ප්‍රධාන දේශපාලන කඳවුරක් තෝරගන්න වෙනවා. එය මටත් පොදු කාරණයක්. දේශපාලන පක්ෂවල භාවිතාවන් පිළිබඳව මට ලොකු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ සියල්ල වෙනස් කරන්න දැන් කාලය හරි.

මම දේශපාලනයට පිවිසෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් 2010 වසරේදී. එම අවස්ථාවේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ තුනයි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ. එතනදී මහින්ද රාජපක්ෂ මහතා හැර වෙන විකල්පයක් නැහැ. එතුමා ප්‍රායෝගික දේශපාලනඥයෙක් ලෙස කටයුතු කළා. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කළ ප්‍රතාපවත් චරිතය එතුමා. ඔහු රටට නිදහස ගෙනා නායකයා. එවන් තැනක දී ඒ තෝරා ගැනීම හැර වෙන විකල්ප නැහැ.

2015 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අතර තරගය. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ කඳවුරේ අඩුපාඩු රැසක් තිබුණත් ජනාධිපතිවරණ කඳවුරු දෙක සංසන්දනය කිරීමේදී රාජපක්ෂ කඳවුර හොඳ නිසා මම එතන හිටියා. 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනයේ දී ජනතාව බොහෝ විශ්වාසයන් එතුමා ගැන තැබුවා. එම විශ්වාසය මටත් එලෙසම ඔහු කෙරෙහි තිබුණා.

මගේ දේශපාලනය දිහා ආපසු හැරී බැලීමේදී මා නියෝජනය කළ කඳවුරු තුළ මොන ප්‍රශ්න තිබුණත් මම මගේ රාජකාරිය හරියට අවංකව නිවැරදිව කළා. කිනම් තත්ත්වයන් තුළ වුවත් සැබෑවටම සතුටු විය හැකි ලෙස අපි අපේ දේශපාලනය කළා.

ප්‍රශ්නය – මෙම දේශපාලනය තුළ රටට, ජනතාවට සාධාරණය ඉටු කරන්න පුළුවන් වුණා යැයි ඔබ අවංකව හිතනවද?

පිළිතුර – මම සාධාරණය කරන්න උපරිම උත්සාහ කළා. වැරදි වැඩ වෙන තැන්වලදී අපි ඒ ගැන සෘජුව කතා කළා. අපිට කැපිලි කෙටිලි වැඩි වෙන්නත් හේතුව එයයි. කෙළින් කතා කරන තර්ක කරන අයට ඉඩක් නැහැ. වත්මන් ජනාධිපතිවරයා එවැනි දේවල් ගන්නේ එතුමාට කරන හතුරු කමක් ගාණටයි.

ප්‍රශ්නය – ඔබ ඔය චෝදනා කරන්නෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම තනතුරට ගෙනඒම සඳහා ඔබත් ඔබගේ ඡන්දය භාවිතා කළ කෙනෙක්. කාලයත් සමඟ දැන් සියල්ල වෙනස් වෙලා. ඔබ එදා ගත් තීරණය ගැන දැන් තිබෙන්නේ සතුටක්ද? දුකක්ද?

පිළිතුර – ඇත්තටම මට සතුටු වෙන්න බැහැනේ. මම අවංකව දූෂණයට, වංචාවට එරෙහිවයි කටයුතු කළේ. නමුත් එතුමා හිටගත්තේ දූෂණයට එරෙහි අපි සමඟ නෙවෙයි. ක්‍රිකට් මෙරට ජාතික ක්‍රීඩාව නොවූවත් මෙරට ජනප්‍රිය ක්‍රීඩාව. දෙකෝටි විසි ලක්ෂයක් වූ මෙරට ජනතාව එයට ආදරය කරනවා. දූෂිත ක්‍රිකට් පරිපාලකයන්ගෙන් ක්‍රීඩාව බේරගන්න හදද්දී ජනාධිපතිතුමා හිට ගත්තේ දූෂකයන්ගේ පැත්තේ. ඇත්තටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ කළේ ක්‍රිකට් විනාශ කරන හොරු බේරා දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වැඩක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඡන්දය දීලා අපට දුක් වෙන්න වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – ජනාධිපති කරන්න ඡන්දය දුන් රොෂාන්ට වඩා ඔබ කියන හොරු බලවත් වුණා එහෙනම්.

පිළිතුර – ඔව් ඔව්.. හොරු මාර බලවත්. ඒක දැන් ඔප්පු වෙලා හමාරයි. හැබැයි ඔය හැමදේටම තියෙන්නෙ ටික කාලයයි. ඒක ලියලා තියාගන්න. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඡන්දය දෙද්දී මම හිතුවේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වශයෙන්, අත්දැකීම් බහුලම දේශපාලනඥයා වශයෙන් රටට යම් දෙයක් කරාවි කියලා. ඒ නිසා අපි එදා ඔහු වෙනුවෙන් කතා කළා. අපේ ගොඩක් අය එතුමා ජනාධිපති කරන්න කැමති වුණේ නැහැ. එහෙම තියෙද්දී තමයි අපි බැහැලා ගේමක් ගැහුවේ. හැබැයි එතුමා ජනාධිපති ධුරය අරගෙන සති දෙක තුනක් පමණයි අපේ සතුට තිබ්බේ.

ප්‍රශ්නය – ඇයි සතුට හොරු අරන් ගිය ද?

පිළිතුර – හොරු අරන් ගියා නෙමෙයි. හොරු එතුමාට ළං වුණා. රකින්න පරම්පරාවක් නැත්තම්, තිබුණු එකම දේපළ රාජකීය විද්‍යාලයට පවරා දුන්නනම් මොකටද දෙයියනේ ඔච්චර සල්ලි. එතුමාට ළං වෙලා ඉන්න හොරු ඊළඟ ජනාධිපතිවරණයේදී මහා සල්ලියක් මැතිවරණයට වියදම් කරන්න ඕනා කියලා හොරා කන්න බලනවා. තෙල්, ගෑස්, කිරිපිටි, ගල්අඟුරු එකී මෙකී නොකී හැම දේකින්ම ගසාගන්න බලනවා. බලන්නකෝ නුවරඑළිය තැපැල් කන්තෝරුව. ඕක අරගෙන කරන්න දේශීය ආයෝජකයෝ නැද්ද? එතකොට පෙට්‍රල් ෂෙඩ් 450ක් දුන්නා. මේක දේශීය ව්‍යාපාරිකයන්ට කරන්න බැරිද? ඔය සේරම මෙහේ අයට කරන්න පුළුවන්. මම ෂෙඩ් දුන්න රටවලට විරුද්ධව කතා කරනවා නෙමෙයි. නමුත් ඇත්ත එයයි. හොරුන්ට ඕනේ කොමිස් පමණයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරයාට ළංව සිටින හොරු කවුද?

පිළිතුර – මෙන්න මේ අය බොරු කියලා මම කියන්න යන්නේ නැහැ. හිතලා බලන්න එතුමාට ළං වෙලා ඉන්නේ කවුරුන්ද කියලා. දූෂිත චෞර වළල්ලක් එතැන වෙලාගෙන ඉන්නවා. මේවා දැන්වත් වෙනස් කරන්න ඕන. නැත්නම් මේ රටට ඉදිරි ගමනක් නැහැ.

ප්‍රශ්නය – මේවා වෙනස් කරන්න ගිහින් තමන්ට දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දෙන්න වී ඇති බව ඔබ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔබගේ ජීවිතයට යම් අනතුරක් වුණොත් එයට විධායකය සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බවත් ඔබ ප්‍රකාශ කළා. දැන් ඔබට කැබිනට් අමාත්‍ය ධුරය නොමැති බලය අඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණයි. එවන් තත්ත්වයක් තුළ ඔබ හමුවේ ඇති අනතුර කෙසේද?

පිළිතුර – මගේ ආරක්‍ෂාව ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයට භාර කර තිබෙනවා. ජීවිත තර්ජනය ඉහළ ගොස් ඇති නිසා මගේ ආරක්‍ෂාවට පොලිසියේ මහත්වරු තුන්දෙනකු වැඩිකර තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ උපරිම දේ කරනවා. නමුත් ආරක්ෂාව ගැන මට සෑහීමකට පත්වෙන්න බැහැ. එදා මම පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවක කොටසක් මෙහිදී උපුටා ගන්නම්. ජනාධිපතිතුමා කියන්නේ සේනාධිනායකයා වගේම ආරක්ෂක අමාත්‍යවරයා. සාගල රත්නායක කියන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ප්‍රධාන ආරක්ෂක උපදේශක. එවන් වූ තනතුරු ඇති පුද්ගලයන්ගේ හයිය අරන් තමයි පිරිසක් මට අභියෝග කරන්නෙ. උඹව වෙන තැනකට ගෙන යනවා කියන්නෙ ඒ අය. ඒකයි තත්ත්වය.

මෙරට අධිකරණය ගැන මම කිව්වේ කිරි කළයක් වගේ කියලා. අධිකරණයට මම හැම විටම ගරු කරනවා. එහෙම තිබියදී තමයි විධායකය පාර්ලිමේන්තුවේදී වෙනස් විදිහේ කතාවක් කියන්න උත්සාහ කළේ. ඒ සමගම මගේ ව්‍යාපාරික ස්ථානවලට පොලිසියෙන් යනවා. මේවා යම් යම් අයගේ ඕනෑ එපාකම් මත සිදුවෙන කටයුතු. ආරක්ෂක ඇමැති විදියට ජනාධිපති මේවට වගකියන්න ඕන. දැන් මට මගේ ආරක්ෂාව මටම සපයා ගන්න වෙනවා. ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ.

ප්‍රශ්නය – ඔබට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් ගේ ඉහළ සම්බන්ධතා ජාලය බලවත් බව පෙනෙන්නට තිබූ කාරණයක්. එහෙම තත්ත්වයක් මත බොරු ප්‍රශ්න දාගන්න ඕනෙ නැහැ කියලා ඔබට සිතුනේ නැද්ද?

පිළිතුර – එහෙම ඉඳලා මොකටද? මට ලබාදීපු වගකීම මා ඉටු කළ යුතු නැද්ද? ක්‍රිකට් කියන්නේ මේ රටේ ආගම වැනි ක්‍රීඩාවක්. එය බේරා ගත යුතු නැද්ද? දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න පුරුද්දක් මට නැහැ.

ප්‍රශ්නය – ඇතැමුන් කියනවා ඔබ කලබල වුණා වැඩියි කියලා.

පිළිතුර – කිසි කලබලයක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ වංචා දූෂණ පිළිබඳව මම ජනාධිපතිතුමා සමඟ කෙතරම් කතා කර ඇද්ද. ඒවා පිට මිනිස්සු දන්නේ නැහැ. ඒවා එළියට ගියේ නැහැ. විගණන වාර්තාවලින් ඇත්ත හෙළි වෙලා තිබියදී කලබල වුණා වැඩියි කියන්නේ කොහොමද. අවුරුද්දක් තිස්සේ මේ ප්‍රශ්නය විසඳන්න අපි කෙතරම් කටයුතු කර තිබෙනවාද? ඒක රටේ ලොකුවට කතා වෙන්න පටන් ගත්තේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පිහිටුවීමත් සමඟයි.

ප්‍රශ්නය – ඔබ කිව්ව ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් බොහෝ කතාබහ කළා කියලා. මෙම ගැටලුව විසඳීමේ දී ජනාධිපතිතුමා හිටියෙ මොන වගේ තැනක ද?

පිළිතුර – දිගටම එතුමාගේ එකඟතාවයක් තිබුණෙ නැහැ.

ප්‍රශ්නය – අන්තිමට ඔබ නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ කියලා තමයි ඇතැමුන් සඳහන් කරන්නේ.

පිළිතුර – මෙහෙමනේ. මම හොරු කවුද කියලා ඔප්පු කරලා ඉවරයි. ඒක මුළු රටම දැන් දන්නවා. සල්ලිවලින් වහං හිටිය බොහෝ වංචා දූෂණ අක්‍රමිකතා දැන් රටම දන්නවා. එතකොට ඔය කියන කතාව වලංගුද? ඔය කතාව කිව්ව මනුස්සයා ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙනැවිත් තිබෙන තැන කොහෙද? ක්‍රිකට් වට්ටපු අය තමයි ඔය වගේ කතා කියලා සතුටු වන්නේ.

ප්‍රශ්නය – කොහොම, කොහොම හරි දැන් ඔබතුමාගේ ඇමැති ධුරය ගැළවී අවසන්. ඔබගේ අනුප්‍රාප්තිකයා හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා. ඔබ හිතනවද ඔබ කළ සටන හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා ඉදිරියට ගෙන යාවි කියලා.

පිළිතුර – දූෂිත ක්‍රිකට් පරිපාලකයන් ඉවත් කිරීමේ සටන මම හොඳ තැනකට ගෙනැවිත් තිබෙනවා. හරීන් ප්‍රනාන්දු මහත්මයාට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා දූෂකයන් ඉවත්කර හොඳ කණ්ඩායමක් දමා රටම ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට අරන් යන්න. මම හිතනවා එතුමා ඒ දේවි කරාවි කියලා.

මම ක්‍රීඩා නීතියක් ගෙනැවිත් තිබෙනවා. ඒකට එරෙහිවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකරණය හමුවට ගියා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එය රැක දුන්නා. වයස අවුරුදු 70 ට වැඩි අයට ඉන්න නොහැකි ලෙස නීති සකසා තිබෙනවා. ඒ වගේම වසර හතරකට වඩා ඉන්න බැහැ. මැතිවරණයට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්න ඕන. ඒ වගේ නීති ගණනාවක් ඇතුළත් ක්‍රීඩා නීතියක් තමයි අපි ගෙනැවිත් තිබෙන්නේ. මෙම නීති සියල්ලටම එකඟ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟව තිබෙනවා. ඇත්තටම මේ අය බෙල්ලටම හිර වෙලා දැන් ඉන්නේ. මෙම නීතිය යටතේ ඡන්දයකට ගියොත් දූෂිත කල්ලි කණ්ඩායම්වලට තේරේවි බෙරයේ පලු තියෙනවද නැද්ද කියලා.

ප්‍රශ්නය – ඔබ යම් සටනක් කරන්න උත්සාහ කළා. නමුත් අනුප්‍රාප්තිකයා ජනාධිපතිවරයාගේ තේරීම. එවන් වූ ඇමැතිවරයකුගෙන් ඔබගේ අපේක්ෂාවන් ඉටු කරගත හැකිද යන්න ප්‍රශ්නයක් නොවේද? ආණ්ඩුව ප්‍රශ්නය විසඳුවේ නැතහොත් ඊළඟ ජනාධිපතිවරණයේදී මේ ප්‍රශ්නය කොහොමත් විසඳනවා යැයි ඔබ කිව්වේ කුමක්ද?

පිළිතුර – කිසි දෙයක් සදාකල් නැහැ. මට තියෙන විශ්වාසය තමයි බොරුවට වංචාවට තවදුරටත් මේ රටේ ඉඩක් නැහැ කියන එක. විශ්වයෙන් ඒකට ඉඩක් දෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණයේදී සහ මැතිවරණයේදී රටේ දේශපාලනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනවා. එහිදී දූෂිත කල්ලි කණ්ඩායම් ඔක්කොටම ගෙදර යන්න වේවි. ඒක ස්ථිරයි. අපි ආරම්භ කළේ සටනේ ප්‍රතිඵල අනිවාර්යෙන් එනවාමයි. ක්‍රීඩාවට ආදරය කරන්න මිනිස්සුන්ට මට කියන්න තියෙන්නේ ක්‍රීඩාව ගැන සුබවාදී වෙන්න කියලා. අපි සටන් අතහැර මග දාලා යන මිනිස්සු නෙවෙයි. මම ආරාධනා කරනවා රටට අවංකව ආදරය කරන මිනිසුන්ට දේශපාලනය තිත්තයි කිය කියා ඉන්නේ නැතිව දේශපාලනයට එන්න කියලා. භාණ්ඩාගාරයේ දේවල් ගෙදර අරන් යන්නේ නැති, හම්බ කරගත්ත දේ රටට දෙන්න පුළුවන් මිනිස්සු දේශපාලනයට එන්න ඕන. 1977 ට කලින් පාර්ලිමේන්තුව අපි 2024 දී නැවත ඇති කළ යුතුයි. එතනට එන්න කියලා මම මිනිසුන්ට ආරාධනා කරනවා.

ප්‍රශ්නය – ඔබ ඔවුන්ට එන්න කියන්නේ කොතැනටද? ඒක ටිකක් පැහැදිලි මදි.

පිළිතුර – එන්න ඕන තැන හැදේවි. ගොඩ එකතු වෙනකොට තැන හැදෙනවා. ඒකට කලබල වෙන්න එපා. තැන ලස්සනට හැදෙනවා. දූෂිත කල්ලියට එරෙහි මේ රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු එකතු වෙන්න ඕන.

ප්‍රශ්නය – මේ දවස්වල පාර්ලිමේන්තුවේදී ඔබ ගැන වැඩිපුර කතා කරන්නේ විපක්ෂය. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බව පෙනෙන්න තිබෙනවා. ඔබගේ ඊළඟ නායකයා සජිත් ප්‍රේමදාස මහතා ද?

පිළිතුර – නැහැ.

ප්‍රශ්නය – නායකයෙක් නැතුව ඉදිරියට යන්න බැහැ නේ.

පිළිතුර – නායකත්වය වෙලාවට ඒවි. අපි ආරම්භ කළ දූෂණයට එරෙහි සටනට මම නායකත්වය දෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වෙලා සිටියදී ඒ බලයත් සමග අපි හොඳට හැප්පුණා. මම පක්ෂ දෙකක් පොලොන්නරුවේදී පරාජය කළ මිනිහෙක්.

ප්‍රශ්නය – කළු ගල්වල ඔළුව ගහගනිමින් රොෂාන් රණසිංහ මේ ලෑස්ති වෙන්නෙ ඊළඟ නායකත්වයේ පිම්ම පනින්න නේද ?

පිළිතුර – එහෙම නෙමෙයි. මම වැඩ කළේ හරි දේ වෙනුවෙන්. මට තනතුරු තාන්න මාන්න නායකත්ව පිස්සුවක් නැහැ. හැබැයි මේ දූෂණයට එරෙහි වැඩපිළිවෙළට මම නායකත්වය දෙනවා.

ප්‍රශ්නය – ඔබට රාජයෝගය ඇති බව සඳහන් වෙනවා.

පිළිතුර – මෙහෙමයි. ඕවා මනස්ගාත. මගේ මෑණියන් නැති වුණේ මට අවුරුදු විසි එකේදි. එතකොට මම හිටියේ ජපානයේ. එතුමිය මගේ පුස්කොළ කේන්ද්‍රයක් හදලා තිබුණා. ඒක අස්ථානගත වෙලා. මම කේන්දර පස්සේ යන මිනිහෙක් නෙමෙයි. හරි දේ කරද්දි විශ්වයේ බුදුන්ගේ දේවාරක්ෂාව ලැබෙනවා. මම ජපානයට යනකොට අතපය හතර විතරයි අරගෙන ගියේ. මහන්සි වෙලා දුක් විඳලා මම ව්‍යාපාරයෙන් ගොඩා ආවා. එහේ ගිය මුල් කාලයේ මාරි බිස්කට් තුනයි ප්ලේන්ටියයි බීලා දවස් තුන හතර වැඩ කර තිබෙනවා. මම ප්‍රධාන ව්‍යාපාරිකයෙක් ලෙස නැඟීසිටින නිසයි මට මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ආරාධනා කළේ. මම විපක්ෂයේ දේශපාලනය කරන විට පොහොට්ටුවෙන් හරි රාජපක්ෂ මහත්වරුන්ගෙන් හරි රුපියලක් අරගෙන නැහැ. මම මගේ සල්ලිවලින් තමයි ඒ දේවල් කළේ. මම මුදල් අවභාවිතා කළ බව, තක්කඩිකම් කරන බව කොහෙවත් නැහැ. මම එක රුපියලක් හොරකම් කර නැහැ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිහෙක් ලෙස මම උත්සාහ කළේ රටට යුතුකම් කරන්නයි.

ප්‍රශ්නය – සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔබට ඔවුන් සමග එක්වන ලෙස ආරාධනා කළා. එම ආරාධනාව ඔබ පිළිගන්නවා ද?

පිළිතුර – නැහැ. මම එවැනි තීන්දුවක් ගෙන නැහැ. මා ගැන විශ්වාසය තබා මහා ප්‍රසිද්ධියේ මට ආරාධනා කිරීම පිළිබඳ මම එතුමාට ගෞරව කරනවා.

ප්‍රශ්නය – මීළඟ මැතිවරණවලදී ඔබ ඡන්දය ඉල්ලීමට බලාපොරොත්තු වෙන්නේ කිනම් පක්ෂයකින්ද?

පිළිතුර – ඒ ගැන තීරණයක් කර නැහැ. සැලසුම් හැදේවි. සැලසුම්වලට කලබල වෙන්න ඕන නැහැ. එකම දේ පිරිසුදු, පුද්ගල අභිලාශ නැති, පොදු ප්‍රතිපත්ති සහ වගවීම හා වගවීම තිබෙන ජාතික ප්‍රතිපත්ති ආරක්ෂා කරන දේශපාලන වැඩපිළිවෙළක් එන්න ඕනා. එහෙම නොවුණොත් රටට ඉදිරි කලදසාවක් නැහැ.

ප්‍රශ්නය – ඔබ දීර්ඝ සැලසුමක් පෝලිමේ තබාගෙන වැඩ කරන චරිතයක් බව පේනවා.

පිළිතුර – නැහැ. එහෙම එකක් නැහැ.

ප්‍රශ්නය – නැහැ කියල කියන්න බැහැ. ඔබ නියෝජනය කරන පක්ෂය මැයි දිනය පවත්වද්දී ඔබ වෙනම මැයි දිනයක් පොළොන්නරුවේ දී කළා. මේ කල් යල් බලා ඔබ තනතුරු අතහැරියා. ඒ වගේම ඔබ ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා විධායකයේ බලතල තරම් ඇති බව දැන දැනත් ඔබ විධායකයට අභියෝග කළා. මේවා එක පෙළට සියුම් ලෙස ගතහොත් ඔබ පූර්ව සැලසුමක් මත වැඩ කරන චරිතයක් බව හිතන්න වෙනවා.

පිළිතුර – ඔබ වටින් ගොඩින් මොනවා ඇහුවත් මට කියන්න තියෙන්නේ එක දෙයයි. මම කළේ හරි දේ පමණයි. එහෙම වැඩ කරනකොට ඔබට ඔය විදියට පෙනෙන්න පුළුවන්. ඒක ඔබ බලන විදිහ. වගකීමක් දුන් පසු ඒක හරියට ඉටු කිරීම අපේ යුතුකම සහ වගකීම. එහෙම නැතුව තනතුරු අරගෙන වැඩක් නෑ. මම කාගෙවත් එහෙයියෙක් නෙවෙයි. මට පුද්ගල අභිලාශ නැහැ. රට වෙනුවෙන් මම පොදුවේ හිතන්නෙක්.

ප්‍රශ්නය – ඔබ මේ වනවිට පොදුජන පෙරමුණේ සාමාජිකයකු ද?

පිළිතුර – පොදුජන පෙරමුණේ සාමාජිකයකු ලෙස සිටිනවා. නමුත් මම ස්වාධීනයි. මම මගේ ස්වාධීන මතය සමග ඉන්නේ.

ප්‍රශ්නය – ඔබට ඔබ ගැන අධි තක්සේරුවක් තිබෙනවා නේද?

පිළිතුර – මට මම ගැන කිසිම අධිතක්සේරුවක් නැහැ. මට මම ගැන ඇත්තේ විශ්වාසයක් පමණයි. හරි දේ කළොත් හරි ප්‍රතිඵල ලැබෙන බව මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය – රටේ මිනිස්සු ඔබ ගැන මොනවා සිතනවා ඇත්දැයි ඔබ සිතනවාද?

ප්‍රශ්නය – මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. මේ රට පත්ව ඇති තත්ත්වය ගැන මිනිස්සු දන්නවා. ඒවාට වගකිව යුත්තේ කවුරුන් දැයි ඔවුන් දන්නවා. මම මහන්සි වුණේ ක්‍රිකට් ක්‍රීඩාව බේරගන්න බව ඔවුන් දන්නවා. මහජනතාව ගැන මට විශ්වාසයි. මම ඉන්නේ මහ ජනතාවගේ පැත්තේ. මම අන්ත දුක් විඳි මිනිහෙක්. සල්ලි තිබී දේශපාලනේ නිසා බින්දුවට වැටිල එතැනින් ගොඩනැඟිලා ආපු මිනිස්සු අපි. මම පාසල් යන කොට අපේ මෑණියෝ කඩවල්වලට කෑම හදලා දෙනවා. ඒ කාලේ අයියයි අක්කයි නුවර ඉගෙන ගත්තෙ. මම පාසලේ ළමයින්ට පේන්න කලින් උදේ පාන්දර ලෑස්ති වෙලා කඩවල්වලට කෑම දාලා කිලෝමීටර් 25 ක්ම පාපැදියෙන් පාසල් ගිය මිනිහෙක්. මේ ආර්ථික ප්‍රශ්න නිසා මම අවුරුදු 14 දී අක්කර එකහමාරක් මිරිස් වගා කරලා තිබෙනවා. මම හොඳට කට්ට කෑවා. මම මිනිසුන්ගේ දුක දන්නවා. හොඳට තිබී නැති වෙන එකේ දුක මම දන්නවා. ඇති නැති පරතරය ඇත්තටම අත්විඳි මිනිහෙක් මම. ඒ නිසා මිනිස්සු වෙනුවෙන් යමක් කළ යුතුයි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment