ජන හා නිවාස සංගණනයට නිලධාරීහු 22,000 ක්

72

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15 වැනි ජන හා නිවාස සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් විසිදෙදහසක් රටපුරා සහභාගි වන බවත් ඒ සඳහා රු. කෝටි 284 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. එම්. පී අනුර කුමාර මහතා ඊයේ (26දා) පැවසීය.

මෙවර නවීන තාක්ෂණය භාවිතා කරමින් ටැබ්ලට් පරිගණක මගින් තොරතුරු රැස්කරන බවත් ඒ සඳහා ටැබ්ලට් පරිගණක 15,000 ක් පමණ යොදාගනු ලබන බවත් ඒ මහතා කීවේය.

ප්‍රධාන අදියර හතරක් යටතේ පැවැත්වෙන මේ සංගණනයේ ප්‍රථම අදියර වන සංගණන සිතියම් සකස් කිරීම සිදුකර ඇති බවත් එහි දෙවන අදියර වන රටේ සියලුම ගොඩනැගිලි ලැයිස්තුගත කිරීම මේ වසරේ (2023) සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරෙන බවත් ඒ මහතා කියා සිටියේය.

ක්‍ෂේත්‍රයට ගොස් පුද්ගලයින් හා නිවාස ගණන් ගැනීමේ කටයුතු ලබන වසරේ (2024) අප්‍රේල් මාසයේ ආරම්භ කර සති තුනකින් පමණ අවසන් ිකිරීමට අපේක්‍ෂා කරන බවද මේ සඳහා දත්ත පද්ධතියක් සකස් කර අවසන් බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.

බත්තරමුල්ල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පී. එම්. පී අනුර කුමාර මහතා මේ තොරතුරු සඳහන් කළේය.

මේ වන විට සියලුම සංගණන නිලධාරීන්ගේ පුහුණුව ආරම්භ කර ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සහ අධ්‍යක්‍ෂවරියක් වන ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර මහත්මියද කතා කළහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment