ජාත්‍යන්තර සංක්‍රමණික දිනය අද

86

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය අදට යෙදී තිබේ. ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය වර්ෂ 2000 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලද්දේ ජාත්‍යන්තර සංක්‍රමණයේ අභියෝග සහ අවස්ථාවන් හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම සඳහා ය. මෙවර ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දින තේමාව වනුයේ “සංක්‍රමණිකයන්ගේ ශ්‍රම දායකත්වයට ගරු කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමයි” මනුෂ්‍යයා නිර්මාණය වූ දා සිට ඔවුන් එක් දේශයකින් තවත් දේශයකට සංක්‍රමණය විය. එසේ ඔවුන් ගමන් කරන ලද්දේ ආහාර ජලය සහ නවාතැන් සොයා ය. නමුත් වර්තමානයේ එය වෙනස් මුහුණුවරක් ගෙන ඇත.

සෑම වසරකම ස්වභාවික විපත්, ආර්ථික අභියෝග, දරිද්‍රතාවය සහ ගැටුම් වැනි විවිධ සාධක හේතුවෙන් මිනිසුන් සංක්‍රමණිකයන් බවට පත්වේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ සුලභව දැකිය හැක්කේ ජාත්‍යන්තර ශ්‍රම සංක්‍රමණයයි. ශ්‍රී ලංකාව තුළ මෙලෙස බොහෝ පිරිසක් ශ්‍රම සංක්‍රමණය සඳහා යොමුවීම තුළ බුද්ධි ගලනය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ද මතුව තිබේ. උගත් බුද්ධිමත් පිරිස රට හැර යෑම හමුවේ මෙරට ඇති විය හැකි සමාජ, ආර්ථික හා දේශපාලනික බලපෑම කඩිනම් අවධානයට ලක්විය යුතු කරුණකි. මෙලෙස ශ්‍රම සංක්‍රමණය මෑත කාලීනව කෙතරම් ඉහළ ගොස් තිබේද යත් ශ්‍රී ලංකාව ශුද්ධ ශ්‍රම අපනයනකරුවකු ලෙස සැලකේ. ඒ අනුව පෙනී යනුයේ සෑම වසරකම රටට ඇතුල්වන පිරිසට වඩා රටින් පිටව යන පිරිස වැඩි බවයි.

මෙලෙස විදේශගත වන ශ්‍රමිකයන් පහර කෑම්වලට හා ඝාතනයන්ට ලක්වීම, ශාරීරික හා ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වීම, වැටුප් නොගෙවීම හෝ අදාළ ගිවිසුමට යටත් නොවන වැවඩවල යෙදවීම සුලභව අසන්නට දකින්නට ලැබේ. කනගාටුවට කරුණ නම් සංක්‍රමණිකයන් කොතෙක් දුක් දොම්නස් වින්දද පහළ මට්ටමේ කුසලතා අවශ්‍ය රැකියා සඳහා මිනිසුන් සංක්‍රමණය වීම පසුගිය කාලය පුරාවටම අඩු වී නැත. මෙවැනි සිදුවීම් හේතු කොට ගනිමින් සංක්‍රමණික කම්කරුවන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම පිණිස නිසි ආකාර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමක් අවශ්‍යය.

පසිඳු පෙරේරා
ජනසන්නිවේදන අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment