ඩයනාගේ විදෙස් ගමන් තහනම දින 5 කට ඉවතට

166

ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට තම අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් තහනම දින පහක කාලයකට තාවකාලිකව ඉවත්කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (15 දා) නියෝග කළේය. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීම අනුව රුපියල් ලක්‍ෂයක ඇප බැඳුම්කරයකට යටත්ව එලෙස විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සවිස්තර වාර්තාවක් ලබන ජනවාරි 5 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන එම රාජ්‍ය ඇමැතිවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ දක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලු සහගත බවත් සාමාන්‍ය අයකු එවැනි වරදක් කළා නම් මේ වනවිට ඔහු හෝ ඇයට සිරගෙදර සිටීමට සිදුවන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ගුණරත්න වන්නිනායක හා තුසිත ගුණසේකර ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට පැවසූහ.

ඇයට විදේශ ගතවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු විරෝධතා දැක්වූහ. තම අධිකරණය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු සලකා බලා එම තහනම් නියෝගය පනවනු ලැබුවා සේම විත්තිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ විට ඒ සම්බන්ධයෙන් සලකා බලා සුදුසු නියෝගයක් ලබාදීම කළ යුතු බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

සිය සේවාදායිකාව මේ දක්වා සැකකාරියක ලෙස නම්කර නොමැති බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයට කීවේය. විමර්ශන නිලධාරීන් විසින් මේ දක්වා තම අධිකරණයට ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තා අනුව ඩයනා ගමගේ මහත්මියව විමර්ශනවල සැකකාරියක ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බව තම අධිකරණයට පෙනී යන බවත් විවෘත අධිකරණය හමුවේදී පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා යැයි ද පැවසීය.

නීතිඥ කැළුම් කුමාරසිංහ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment