ඩී.එන්.ඒ. පරීක්ෂණ ප්‍රමාදයෙන් අබිරහස් ලෙස මරුකටට ගිය සැමියාගේ වැටුපවත් මට නැහැ!

668

පොලිස් නිලධාරියාගේ බිරිඳ නිලූකා දරුවන් තිදෙනා සමග හඬා වැළපෙයි

“අවුරුදු තුනත් ඉවර වෙන්න ළඟයි. ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාව තාමත් නැහැ. යන්න ඕන හැමතැනටම ගියා. කියන්න ඕන හැම කෙනෙකුටම කිව්වා. මෙව්වර කාලයක් මහත්තයාගේ පඩිය නැතිව ජීවත් වෙන්නේ. ඉස්සරහට මේ දරු පැටව් තුන්දෙනා එක්ක කොහොම ජීවත් වෙන්න ද කියල මට හිතා ගන්න බෑ.”

සිය දියණියන් තිදෙනාට අහිමි වූ පිය සෙනෙහසේ හිදැස පිරවීමට වෙර දරණ නිරූපා රණවීර එසේ තම දුක් ගැනවිල්ල මාධ්‍යයට කියා සිටියේ පොලිසියේ සේවයේ යෙදී සිටියදී වසර 3 කට ආසන්න කාලයක් අතුරුදන්ව සිටින බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධන යන අයගේ බවට සැකකෙරෙන අස්ථි කොටස්වල ඩීඑන්ඒ වාර්තා මේ වන තෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව සොයා බැලීමට පුත්තලමට පැමිණී අවස්ථාවේය.

නිරූපා රණවීර ගේ ගම රත්නපුර අයගම ප්‍රදේශයේය. ඇය වයස අවුරුදු 4, 8, 12 දියණියන් තිදෙනකුගේ මවකි. ඇයගේ සැමියා පොලිස් සැරයන් 39288 බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධනය.

ඩී.එන්.ඒ. පරීක්ෂණ ප්‍රමාදයෙන් අබිරහස් ලෙස මරුකටට ගිය සැමියාගේ වැටුපවත් මට නැහැ!

සුමිත් අබේවර්ධන කුරුවිට පොලිස්ථානයට අනුයුක්තව සිරිපාගම මාර්ග බාධකයේ සේවය කරමින් සිටියදී 2020 වසරේ ඔක්තෝබර් 29 දින අතුරුදන් විය.

ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධව කුරුවිට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් දිගින් දිගටම සිදු කළ විමර්ශන කටයුතු සිදු කිරීමේ දී 2001 ජූලි මස 29 වෙනි දින ප්‍රදේශවාසියකු විසින් මුන්දලම පොලිසිය සිදුකළ පැමිණිල්ලකට අනුව මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී 9 එම්. එම්. වර්ගයේ ගිනි අවියක්, එයට යොදන පතොරම් 7 ක්, මිනිස් අස්ථි කොටස් කීපයක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පතක් හා රියැදුරු බලපත්‍රයක් තිබී හමුවිය.

මෙම සිද්ධිය මාධ්‍ය තුළින් වාර්තාවීමත් සමග අතුරුදන්ව ඇති පොලිස් සැරයන්වරයාගේ බිරිඳ වන නිරූපා රණවීර හා ඥාතීන් පිරිසක් මදුරන්කුලිය සෙම්බැට්ට ඉඩමට පැමිණ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත හා රියැදුරු බලපත්‍රය ඔහුට අයත් බවට හඳුනා ගත්තාය. ඉන් අනතුරුව අස්ථි කොටස් හා පිස්තෝලය රස පරීක්ෂක වෙත යොමු කර ඩීඑන්ඒ වාර්තා ලබා ගැනීම සඳහා ඉදිරි ඉදිරිපත් කරන ලදී.

රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු හමුවූ පිස්තෝලය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එකක් බව තහවුරු කරමින් වාර්තා එවා ඇති බවත් අස්ථි කොටස් වල වාර්තා තවමත් නොලැබුන බව මුන්දලම පොලිසිය සඳහන් කරයි.

ඩීඑන්ඒ වාර්තාව නිකුත් නොකිරීම හේතුවෙන් වසර දෙක හමාරක කාලයක් තම සැමියාගේ වැටුපද අහිමිවීම නිසා මහත් අසීරුතාවකින් දියණියන් තිදෙනා සමග ජීවත් වන අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ බිරිඳ නිලුකා රණවීර මෙසේ කීවාය-

“මගේ මහත්තයාට සියදිවි හානිකරගන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. එයා හොඳට රාජකාරි කරපු කෙනෙක්. මටයි දරුවන්ටයි පුදුම ආදරයක් තිබුණේ නිවසේ කොටසක් පවා ඉදිකර තිබුණේ. එහෙම කෙනෙකුට මොකටද ජීවිතය එපා වෙන්නේ. මොකද ගෙදර ප්‍රශ්න නැති කෙනා ජීවිතය නසා ගන්න යන්නේ නැහැ. මෙය ඝාතනයක්. මේ අස්ථි කොටස් මහත්තයාගේ බවට මට විශ්වාසයි. ඇයි මහත්තයෝ මේ වාර්තා දෙන්න අවුරුදු ගණන් යන්නේ. අපි පුංචි මිනිස්සු හින්ද ද? පොලිසියේ අවුරුදු 20 ක් රාජකාරිය කරපු මගෙ මහත්තයගෙ ඩීඑන්ඒ වාර්තා ඇයි තවත් එවන්නෙ නැත්තෙ. මම ඉල්ලා සිටින්නේ ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න කියලා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment