තනතුරුවලින් පහ කළ සමාගම් අධ්‍යක්ෂවරයාගේ පෙත්සමේ තීන්දුව ලබන 8 දා

258

සිය සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයක තමන් දැරූ කළමනාකාර අධ්‍යක්ෂ ධුරවලින් හා අධ්‍යක්ෂ ධුරවලින් තමන් අයුතු සහගත ලෙස ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රධාන පෙළේ සමාගම් කළමනාකරුවකු වන ගිහාන් සජිත රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස අට වැනිදා නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (19 දා) දින නියම කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කළ ඇති සෙසු අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා එම පෙත්සම ලබන 2 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියම කළේය.

සිය සේවාදායකයා ඔහු දැරූ සමාගම්වල තනතුරුවලින් ඉවත් කොට ඇත්තේ සමාගම් පනතට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයෙන් හා ස්වභාව යුක්ති ධර්මයට පටහැනිව නිසි පෙර දැනුම් දීමකින් තොරව වන්නේ යැයි සජිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට පැවසීය. එකී සමාගම් සමූහයට අයත් සමාගම් අතරින් සියයට 60 කට අධික ශුද්ධ ලාභයක් සිය සේවාදායකයා මෙහෙය වූ සමාගම් උපයා ඇති බවත් ඔහුගේ එකී දක්ෂතාවය නිසා අනෙකුත් සමාගම්වල මූලිකයන් ලෙස කටයුතු කළ වගඋත්තරකරුවන් ද්වේශ සහගතව එකී කුමන්ත්‍රණය දියත් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය. සිය සේවාදායකයාගේ නිවසේ දොරටුවට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් මුල්කරගෙන ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා සෙසු පිරිස එලෙස කුමන්ත්‍රණකාරි ලෙස කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට පැවසීය.

පසුගිය වසරේ මැද භාගයේදී සිදුවූ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සිය සේවාදායකයාගේ නිවසේ දොරටුවට එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිලි කළ සිය සේවාදායකයාවම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී වෙඩි ප්‍රහාර මාලාවට ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර ගැනීමෙන් තොරව බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසිය විමර්ශනය ආරම්භ කොට තිබීම යුක්ති සහගත නොවන බවත් පෙන්වා දුන් මහාධිකරණය ඔහු ඇපමත මුදාහළ නමුත් එම සිද්ධිය දඩමීමා කරගෙන සෙසු පිරිස ඔහුව තනතුරුවලින් ඉවත් කොට ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් හෝ පරිවේෂණීය සාක්ෂියක් නොමැති බව කියමින් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම කෙරෙහිව ද මහාධිකරණය අවධානය යොමු කර එම ඇප නියෝගය නිකුත් කර ඇතැයි ද ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට පවසා ඔහු තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment