මේ වසරේ ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය අද – අප්‍රේල් 8 සූර්යග්‍රහණයක්

121

මහාචාර්ය චන්දන ජයරත්න

මෙම වසරේ ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය අද (25 වැනිදා) සිදුවන බවත් අප්‍රේල් 8 වැනිදා සූර්යග්‍රහණයක් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ හා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම වසරේ ඉදිරියේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදු වුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර, මීළඟට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි දින ඇතිවීමට නියමිත සූර්ග්‍රහණයක් බව මහාචාර්ය ජයරත්න මහතා පවසයි.

අද ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනුනත් එය යුරෝපයේ බොහෝ ප්‍රදේශ, උතුරු / නැගෙනහිර ආසියාව, ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශ, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව ඇතුළු ලෝකයේ විශාල කොටසකට එය දෘශ්‍යමාන වනු ඇත. ශ්‍රී ලංකාවේ සම්මත වේලාවට අනුව චන්ද්‍රග්‍රහණය අද සඳ ක්ෂිතිජයට යටින් ඇති දිවා කාලයේදී පෙරවරු 10.23ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වේ.

ඉන් දින 14කට පසු, එනම් 2024 අප්‍රේල් 8 වන දින, පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. එය ලෝකයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර විශේෂයෙන්ම සූර්යග්‍රහණය දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාසල් වසා දමන්නට පවා සැලසුම් කර ඇත. මෙම පූර්ණ සූර්යග්‍රහණයද ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු ඇමෙරිකාවේ, උතුරු දකුණු ඇමරිකාවේ, පැසිෆික් සාගරයේ, අත්ලාන්තික් සාගරයේ සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වේ. ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් සූර්යග්‍රහණය 2024 අප්‍රේල් 8 වන දින රාත්‍රී 9.12ට ආරම්භ වී අප්‍රේල් 9 වන දින අලුයම 2.22ට අවසන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment