තවත් දොස්තරලා 5000ක් රට හැර යෑමේ අවදානමක්

301

ගැටලු නොවිසඳුවහොත් ජනවාරි 1 දා සිට වෘත්තීය ක්‍රියා වෛද්‍ය හරිත අලුත්ගේ

වෛද්‍යවරුන් රටේ රඳවා තබාගැනීමට රජයට මේ දක්වා නිශ්චිත වැඩපිළිවෙළක් නොමැතිකමින් මේ වනවිට රටට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 1700ක් අහිමිව ඇති බවත් තවත් වෛද්‍යවරුන් 5000කට වැඩි පිරිසක් නුදුරේ දීම රට හැර යෑමේ අවදානමක් ද මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය රැකගැනීම වෙනුවට තමන්ගේ ගජ මිතුරන්ට වරදාන වරප්‍රසාද ලබාදීමට බලධාරීන් කටයුතු කරන්නේ යැයි ද සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ සේවාවට සරිලන ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, ආර්ථික අර්බුදය, යහපත් වෘත්තීය පරිසරයක් නොමැති වීම සහ රට තුළ පවතින සමාජ ආර්ථික අස්ථාවරත්වයන් හේතුවෙන් මෙසේ වෛද්‍යවරුන් රට හැර යන බව ද ඔහු කීවේය.

වෛද්‍යවරුන් නොමැති නිසා මෙරට කුඩා රෝහල් 20කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට පූර්ණ ලෙස වැසී ගොස් තවත් රෝහල් 400කට වැඩි සංඛ්‍යාවක් සහ විශේෂඥ වෛද්‍ය ඒකක ප්‍රමාණයක් ද ඉදිරියේ දී අඩපණ වීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.

සෞඛ්‍ය පද්ධතියේ පවතින අර්බුද අවසන් කිරීම සඳහා සිය සංගමය විසින් ඉදිරිපත් කර ඇති අට වැදෑරුම් යෝජනාවලිය මෙන්ම, බුද්ධි ගලනය සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටු වාර්තාව ද නිර්දේශ කරන පරිදි වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකර ඔවුන් රැකගැනීම මෙන්ම පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය ද ආරක්‍ෂා කිරීම රජයේ සහ බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් බවත් එසේ වුවත් එම වැඩපිළිවෙළ දිනෙන් දින ප්‍රමාද කරන බවත් ඒ සම්බන්ධයෙන් සිය සංගමය රජයට බලවත් විරෝධය පළ කර සිටින බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තම ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් ජනවාරි 1 වැනිදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීවේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment