දමිතා හා සැමියා 17 තෙක් රිමාන්ඩ්

264

කොරියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05දා) පස්වරුවේ නියෝග කළේය.

මෝසම් පත්‍රයක් ඉදිරිපත් කොට නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමට පැමිණ සිටියදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පෙරේදා (04දා) අත්අඩංගුවට ගත් එම සැකකාර යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05දා) අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

සිය සේවාදායකයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් වරදක් සිදුකර නොමැති බව එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට පැවැසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වී නොමැති බැවින් සැකකරුවන් ඉදිරි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු අනුව සැකකරුවන් ආගමන හා විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා වන ලෙනින් ජොන්ස්ටන් මහතා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment