දසවසරක ආර්ථික සංවර්ධන සැලැස්මක් හදන්නැයි  කෝපා වෙතින් උපදෙස්

170

රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09 දා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ විදේශ සම්පත් දෙපාරතමේන්තුවට අනුමැපතිය ලබාගැනීමට ඇති ව්‍යාපෘති, දැනට අනුමැතිය ලැබුණද අතරමග නැවතී ඇති ව්‍යාපෘති සහ වර්තමාන ආර්ථික තත්ත්වය මගහරවාගැනීමට මෙම දෙපාර්තමේන්තුවේ පවතින ඉදිරි සැලසුම් ආදිය පිළිබඳවයි.

මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ දේශපාලන අධිකාරිය වෙනස් වුවද රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වෙනස් නොවෙමින් වසර 10 ක් ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිතව හඳුනාගත් සංවර්ධන සැලැස්මක් පැවතිය යුතු බවයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමතිය ලබාගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ විධායකයේ තීරණ මත මෙලෙස ඇතැම් ව්‍යාපෘති අතරමග නැවැත්වීමට සිදු වූ බවයි. ඒ සඳහා බලපෑම් කිරීමට නිලධාරීන්ට නොහැකි බවද ඔවුහු පෙන්වා දුන්හ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ දේශපාලන අධිකාරිය වැරදි තීරණයක් ගන්නේ නම් එය පෙන්වාදීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවයි. එවැනි කටයුත්තකට නිලධාරීන්ට සම්බන්ධවී උපදෙස්දීමට ක්‍රමවේදයක් නොමැතිනම් එය සකස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා කෝපා කමිටුව අවශ්‍ය සහයෝගයක් ලබා දෙන බවයි.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ආචාර්ය හරිනි අමරසූරිය, දුමින්ද දිසානායක, නිරෝෂන් පෙරේරා, එස්. ශ්‍රීදරන්, බී. වයි. ජී. රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ සහ ප්‍රසන්න රණවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment