දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි

70

පිංවත අපේ රටේ ක්‍රියාත්මක වෙන ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතිය නිසා, පිංවත් ජනතාවගේ ආර්ථික අපහසුතාවයන් දවසින් දවස වැඩි වෙනවා. මේ මොහොතේ භික්ෂුව වැඩසිටින ආරණ්‍යයේ, අද දින දානය බාරගෙන තිබෙන පිංවතුන්ලා, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, දානය පූජා කිරීමට පැමිණියේ නැහැ. දුරබැහැර පදිංචි මෙම දායක පිංවතුන් කැපකරු මහත්මයාගේ දුරකථන ඇමතුම්වලටවත් සම්බන්ධ වෙලා නැහැ. පිංවත රට තුළ ඔඩුදුවන බලවත් ආර්ථික ප්‍රශ්න නිසාම, අව්ව සහ වැස්සේ විකෘතීන් නිසා ඇතිවෙන වගා හානි නිසාම, සමහරක් පිංවතුන්ලාට තම වාර්ෂික දානය නොදන්වාම මගහරින්න සිද්ධ වෙලා තිබෙනවා. පිංවත් දායක පිංවතුනි, රටේ ආර්ථික ප්‍රශ්නවලට ඔබලා වගකිවයුතු නැහැ. ඒවාට වගකිව යුත්තේ ආත්මාර්ථකාමී දේශපාලනයයි. පිංවත් ඔබලාගේ ආර්ථිකය දුර්වලයි කියලා මහා සංඝරත්නයට පෙර දැනුම්දීමකින් තොරවම දානය අහිමි කිරීම නම් බලවත් පාප කර්මයක් වෙනවා. ඔබගේ ආර්ථික ප්‍රශ්න නිසා ඔබේ දානය පූජාකරගැනීමට අපහසුතාවයක් තිබේ නම්, කරුණාකර දානයට පෙරාතුව ලිපියකින් හෝ ආරණ්‍යයට දැනුම් දෙන්න. එවිට පිංවත් ඔබ නොදන්වා සංඝරත්නයට දානය අහිමි කිරීමේ අකුසලයෙන් මිදුනා වෙනවා. පිංවත් ඔබට නොතේරුණාට වර්තමානයේ ආර්ථික ප්‍රශ්න නිසාම රට තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් ධර්මයන්ගේ භීෂණයක් නිර්මාණය වෙලා තිබෙනවා. පිංවත ධනය වැඩි නිසාවත්, පිංවත ධනය හිඟ නිසාවත්, මෙම අකුසලයේ භීෂණයට පිංවත් ඔබ ගොදුරු වෙන්න එපා. එක් පිංවතෙක් නොදන්වාම තම දානය මගහරිත්දි, තවත් පිංවතෙක් දානය දෙන්න පොරකනවා. මේ දෙඅර්ථයේදීම ලෝභ සිත මෝහයට පාවඩ එළනවා.

පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ලෝකයේ, දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි. පිංවත උතුම් ධර්ම දානය නිසාමයි ලෝකයා චතුරාර්ය සත්‍යය දැනගන්නේ. ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ ආනිශංස ධර්මයෝ ලෝකයා දැනගන්නේ. පිංවත ධර්ම දානය නැති සමාජයක මනුෂ්‍යයා ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, දානයේ ආනිශංසයෝ දන්නේ නැහැ. දුගතිය, සුගතිය, නිවන ගැන දන්නේ නැහැ. පිංවත අංගුලිමාල තරුණයාට බුදුරජාණන් වහන්සේ බණ පදයක් නොකිව්වා නම්, අම්බපාලිට බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා නොකළා නම්, මේ දෙදෙනා අද ඉන්නේ සතර අපායේ නේද? පිංවත කෝටි ගණනක් මුදල් වියදම්කොට සිදුකරන පිංකමට වඩා චතුරාර්ය සත්‍යය ධර්මයෝ විග්‍රහකොට දේශනා කිරීම මහත්ඵල මහානිශංසයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංවත උතුම් සද්ධර්මය ශ්‍රවණය නොකිරීම, නුවණින් මෙනෙහි නොකිරීම නිසාමයි, යම් පිංවතෙක් තමන් බාරගත් දානයන් නොදන්වාම මගහරින්නේ. පිංවත ධර්ම දානය සියලු දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ නිසාම, දේශකයන් වහන්සේලා වන අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේ ශ්‍රේෂ්ඨ දහම දරාගන්න, මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපි ප්‍රතිපත්තිගරුක වෙන්න ඕනේ. සියලු දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ දානය වන ධර්ම දානය අපි ඉල්ලුමට අදාළව මිල කළොත්, ධර්ම දානය උදෙසා ලාභ සත්කාර බලාපොරොත්තු වුණොත්, ලෝකයේ විශිෂ්ටම සතර අපා දුකක් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ.

දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි

වර්තමානයේ සියල්ලම විකිණෙන සමාජයේ, උතුම් ශ්‍රී සද්ධර්මයත් මුදල් හම්බකරන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වෙලා. පිංවත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ යොදුන් ගණන් සිය දෙපයින් වැඩමකොට දේශනාකොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය වර්තමානයේ දේශනා කරනකොට, අපිට මැවිලා පෙනෙන්න ඕනේ, මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ වෙහෙසට පත් වූ සිරිපතුල් යුගල. කර්කශ මහ පොළොවේ ගැටී රත්පැහැ ගැන්වුණ සිරිපතුල් යුගල. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ පරාර්ථකාමීත්වයෙන් මොනවට පෝෂණය වුණා වූ මහා කරුණා ගුණය. මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන්දීලා, මහ පොළොවේ පසට වඩා ශරීර මාංශ දන්දීලා දශපාරමී පුණ්‍ය ශක්තියෙන් අවබෝධකොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයේ උත්තරීතරභාවය නිසාම, පුණ්‍ය මහිමය නිසාම ශ්‍රී සද්ධර්මයට වර්තමානයේ ඉල්ලුම වැඩියි. පිංවත වැඩිවෙන සද්ධර්මයේ ඉල්ලුම ඉදිරියේ මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවගේ හිස අකුසල් කළු ගලේ ගසා ගන්නේ නම් නැහැ. පිංවත උතුම් ශ්‍රී සද්ධර්මය ලාභ ලබන හෝ ලාභ පෙන්වන ධර්මතාවයක් නොවේ. මේ සියල්ලගේම නිරෝධය මතුකොටදෙන මාර්ගයයි. පිංවත අනේපිඬු සිටුතුමා කහවණු අසූකෝටියක් වියදම්කොට ශාසනයට පූජාකළ ජේතවනාරාම විහාර කර්මාන්තයට වඩා, යම් භික්ෂුවක් ගාථා පද හතරකින් කරන ධර්ම දානය ශ්‍රේෂ්ඨ නම්, එවන් ශ්‍රේෂ්ඨ ධර්මයක් අපි මිල කළොත්, යමෙක් ජේතවනාරාමය විනාශ කළාට වඩා අකුසලයක්, අපිට සාංසාරිකව හිමිවෙන්න පුළුවන්. පිංවත අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් අපිට අහිමිවීමේ හේතුව අපි නිවීසැනසිල්ලේ සිතලා බලන්න ඕනේ.

පිංවත ඔබ මේ කියවන සටහනත් උතුම් ධර්ම දානයක්. මේ උතුම් ධර්ම දානය උදෙසා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සෑම ඉරිදාවකම තම ජීවිතයෙන් පිටු බාගයක් වෙන් කරනවා. වසර දහහතරක් පුරාවට මේ ධර්ම දානය පළවෙන පිටු බාගය උදෙසා ඉරිදා දිවයින රුපියලක්වත් අරගෙන නැහැ. පිංවත බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අදාළව, අනේපිඬු සිටුතුමා කහවණු අසූකෝටියක් වැයකොට ඉදිකළ ජේතවනාරාම විහාර කර්මාන්තයට වඩා මේ උතුම් ධර්ම දානමය පින ශ්‍රේෂ්ඨයි. දිවයින ඉරිදා සංග්‍රහය සෑම ඉරිදාවකම පිංවත් ඔබට මෙත් සිතින් පූජා කරන, මෙම ධර්ම දානය, තම ජීවිතවලට දරාගෙන කොච්චර නම් ගිහි පිංවතුන්ලා උතුම් පැවිදි උපසම්පදාවන් ලබන්නට ඇති ද? කොච්චර නම් ගිහි සහ පැවිදි පාර්ශ්වයන් ශීලයෙන්, මෛත්‍රියෙන් ශක්තිමත් වෙන්න ඇති ද? මොනතරම් පිංවතුන් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සැනසෙන්න ඇති ද? මොනතරම් විහාර කර්මාන්ත සහ සිවුපසය සම්මා සම්බුද්ධ ශාසනයට පූජා වෙන්න ඇති ද? පිංවත ධර්මයේ උපේක්ෂාවෙන් නිහතමානීව භික්ෂුව තබන මේ සටහන, පිංවත් දිවයින ඔබලාගේ ආශ්වාදය උදෙසා නම් නොවේ. මේ සිදුකරන උතුම් ධර්ම දානයේ ආනිශංස ධර්මයෝ පිළිබඳ හේතුඵල ධර්මයන් නුවණින් දකිමින්, ධර්මාවබෝධය උදෙසා පිංවතුන්ලාට අනුමෝදන්වීම සඳහා පමණක්මය. පිංවත මේ උතුම් ධර්ම දානය සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වුව ද, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඊළඟ සතිය මේ ලිපි පෙළේ අවසානය වුව ද, භික්ෂුව ධර්මයේ උපේක්ෂාවෙන්මයි ලබන සතියේ පිංවත් ඔබෙන් මෙත් සිතින් සමුගන්නේ. මෙම “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” ලිපි පෙළ ජනගත කිරීමට උපකාරක ධර්මයන් සකස්කොටදෙන සියලුම පිංවතුන්ලාට, මෙම උතුම් ධර්ම දානය නික්ලේශී ධර්මාවබෝධයක්ම වේවා!

පිංවත මනුෂ්‍යයා ධාතු ධාතු හැටියට බැඳී යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත සත්පුරුෂයෝ, සත්පුරුෂයින්ට බැඳී යනවා. අසත්පුරුෂයෝ, අසත්පුරුෂයින්ට බැඳී යනවා. පිංවත පසුගිය දවසක දුශ්ශීල චීවරධාරී පුද්ගලයෙක්, බල්ලෙකුට සිවුරක් පොරවපු ප්‍රවෘත්තියක් දායක මහත්මයෙක්ගෙන් දැනගන්නට ලැබුණා. පිංවත මෙම සිද්ධිය තුළ තිබෙන්නේ සුන්දර ධර්මයක්. මෙම දුශ්ශීල චීවරධාරී පුද්ගලයා සමස්ත සමාජයටම ඔප්පුකොට පෙන්වූයේ, සුනඛයාගේ ධාතු ස්වභාවයත්, තමන්ගේ ධාතු ස්වභාවයත් එකම ස්වභාවයේ ධාතු ස්වභාවයක්ය කියලයි. එකම චීවරය දුශ්ශීල පැවිද්දාත්, සුනඛයාත් පෙරවූයේ ඉහත ධර්මතාවය නිසාමයි. සුනඛයෙක්ගේ ධාතු ස්වභාවයට යම් මනුෂ්‍යයෙක් පත්වුණොත්, එම මනුෂ්‍යාගේ එකම උරුමය වෙන්නේ, පටිච්චසමුප්පන්න ඊළඟ ජීවිතයේ දී දුඹුරු පාට හෝ කහ පැහැති සුනඛයෙක්වීම පමණක්මයි. පිංවත සමාජයේ යම් අනුවණ මනුෂ්‍යයෙක් සුනඛයාත්, තමාත් එකම ධාතු ස්වභාවයක් යැයි සිතයි ද, එම පිංවතා තුළින් පුංචි බලු පැටියෙක් සිහියට නගා ගන්න. පිංවත උතුම් තෙරුවන්ට අගෞරව කිරීම, මේ ලෝක ධාතුවේ සියලුම යහපත් ධර්මයන්ට අගෞරව කිරීමක්මයි. සුනඛ ධාතු ස්වභාවයන් අනුවණකමට ලෝකයට පෙන්වන අසරණ මිනිසුනේ, ඔබ ඊළඟ ජීවිතයේ දී පුංචි බලු පැටියෙක් වුණොත්, එතැන් පටන් පටිච්චසමුප්පන්න ආත්මභාව පන්සියයක්ම බලු කුලේම බව කාරුණිකව තේරුම් ගන්න. පිංවත තැනින් තැන, සමාජගතවෙන ධර්ම විකෘති කිරීම් ඉදිරියේ වරදට නීත්‍යානුකූලව දඬුවම් කරනවා වගේම, කරුණාකර අවම වැරදි සහිත සමාජයක් බිහිකොට ගැනීමට අවංකභාවයෙන් කැපවෙන්න. කිනම් ආගමක වේවා, කිනම් ජාතියක වේවා අපි සියල්ලෝම මනුෂ්‍යයෝ. අපි කළයුත්තේ වරදකරුවාට ගල් ගැසීම නොවේ. මනුෂ්‍යයාව තෘෂ්ණාවෙන් වරදට උවමනාවෙන්ම පොළඹවන, මුදලට, මතට ගිජුව පවතින සමාජ ක්‍රමය යම් පමණකට හෝ නිවැරදිකොට ගැනීමයි. අන්තවාදී පිංවත් පාස්ටර්ලා සහ අන්තවාදී චීවර දරාගත් පිංවතුන් බිහිකළේ, ඔවුනට ආශීර්වාද කළේ සමාජගත අකුසලයේ දේශපාලනයයි. මේ උමතු දේශපාලන මාරාවේශයන්ට නිදැල්ලේ හැසිරෙන්න හැරලා, එහි විෂම අතුරුඵලයන් ඉදිරියේ අපි මේ ලබන්නේ කාමයේ සහ රූපයේ කෙටි ආශ්වාදයන් පමණක්මයි. තම තමන්ගේ සමාජ මාධ්‍යජාලාවල ප්‍රේක්ෂක සංඛ්‍යාව සහ ආදායම වැඩිකොට ගැනීම පමණක්මයි. පිංවත කරුණාකර ආත්මාර්ථකාමීභාවයෙන් මිදිලා අවංක වෙන්න. කෙටි ආශ්වාදයේ ආදීනවය ඉතාමත් දීර්ඝයි. ඔබ ප්‍රමාදී වුණොත් හෙට දවසේ පිංවත් පාස්ටර්ලාගේ සහ අන්තවාදී චීවරධාරී පිංවතුන්ගේ කීකරු දායකයෙක්, රටේ රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්.

පිංවත අකුසලය වියරුවෙත්දි, විපාකයෝ වියරුවක්ම වෙනවා. අනුනගේ අකුසල් ඉදිරියේ අපේ කුසල් සිත් මුවහත්කොට ගන්න ඕනේ. මේ පිංවන්ත මනුෂ්‍ය ජීවිතයේ දී අකුසලයේ වියරු විපාකයන් නොදැන, සුනඛ ධාතු ස්වභාවයන්, ගොන්, නරි, විෂකුරු සර්ප ධාතු ස්වභාවයන් අපේ ජීවිතවලට අපි එකතු කොටගතහොත්, අපේ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය සුනඛයෙක්, ගොනෙක්, නරියෙක්, විෂකුරු සර්පයෙක් වෙන්න හොඳටෝම ඉඩ තිබෙනවා. පසුගිය දවසක බීමත් පුද්ගලයෙක් තමන්ට පහර දුන්නාය කියලා, එම පහරදුන් පුද්ගලයා කෙරෙහි ද්වේශයෙන් සහ පළිගැනීමේ චේතනාවෙන් ඔහුව මරණවා යැයි, තියුණු ආයුධයක් සඟවාගෙන විෂකුරු සර්ප ධාතු වැඩූ පුද්ගලයෙක්, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ප්‍රාණඝාතයේ සහ මනුෂ්‍ය හිංසනයේ දීර්ඝ ආදීනවයන් ගැන ධර්මාවවාදයක් අහලා, තමා මෙතෙක් වැඩූ ද්වේශයේ සර්ප ධාතු ස්වභාවය බැහැර කරලා, යළි යහපත් මනුෂ්‍ය ධාතු ස්වභාවයට පැමිණියාය කියලා, භික්ෂුවට දැනගන්නට ලැබුණා. පිංවත පුංචි ධර්මාවවාදයකට පුළුවන් තමන්ටත්, අනුනටත් ජීවිත දානය දෙන්න. ඒ නිසාමයි උතුම් ධර්ම දානය, දානයන් අතරින් උතුම්ම දානය වෙන්නේ. මෙම උතුම් ධර්ම දානය ආශ්වාදයක් බවට පත්කොට නොගෙන, ධර්ම දානය සිදුකරන පිංවතුන්ලා ආදීනවයන් ගැන සිහිනුවණින් කටයුතු කරත්වා. අපි දකින දේවල් නම් හරිම අමිහිරියි. පිංවත අවිද්‍යාවේ නිෂ්පාදනයෙන්, තෘෂ්ණාවේ ජවයෙන් දුවන ලෝකය නිවැරදි වෙන්නේ නැහැ. ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දෙස බැලීම පමණක්මයි, වර්තමානයේ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ. වරදක් සහ වරදකරුවෙක් නොදකින ධර්මයේ උපේක්ෂාව, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාර, සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම්වල ගිණුමටමයි ලෝකය බැර කරන්නේ.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment