වාහන හිමිකාරිත්වය පවරාගන්න සහන කාලයක් ඉල්ලයි

75

වාහන මිලදී ගෙන එහි හිමිකාරිත්වය පවරා නොගත් හිමිකරුවන්ට දඩ ගෙවීමකින් තොරව වාහන පවරා ගැනීම සඳහා යම් සහන කාලයක් ලබාදෙන ලෙස වාහන හිමියෝ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටී. සී සී ටී වී කැමරා මගින් නිවැරදි හිමිකරු පොලිසියට හඳුනාගැනීමටත් මෙය පිටිවහලක් වනු ඇති බවත් ඔවූහු කියා සිටිති.

මීට වසර කිහිපයකට පෙර එවැනි සහන කාලයක් ලබාදී තිබූ බවත් එවැනි සහන කාලයක් ලබාදුනහොත් මෙතෙක් හිමිකාරිත්වය පවරා නොගත් පිරිසට එම සහන කාලය තුළ සිය වාහන පවරා ගැනීමේ හැකියාව පවතින බව ද ඔවූහු කියා සිටිති.

වාහනයක් මිලදී ගෙන සිටි හිමිකරු මිය යෑමෙන් පසු එම වාහනය භාවිත කරන පුද්ගලයන්ගේ නමට නීත්‍යානුකූලව හරවා ගැනීම, විවෘත ලේඛන ඇතුළු නොයෙකුත් හේතු නිසා වාහනය පවරා නොගත් පිරිසට සහන කාලය තුළ අවශ්‍ය ලියකියවිලි සකස්කර වාහන පවරාගැනීමේ හැකියාව පවතින බව ද ඔවූහු පවසති.

වාහනයක් ලබාගෙන දින 14ක් ඇතුළත වාහනය පවරා ගත් පුද්ගලයා නීත්‍යානුකූලව එය පවරා ගතයුතු බවත්, එසේ නොකරන පිරිසට දින 14 කට පසු දිනකට රුපියල් 100 බැගින් දඩ මුදල් අයකරන බවත් මෝටර් රථ පනතේ සඳහන් කර ඇත.

මේ වනවිට වාහනවලින් වන වැරදි සීසීටීවී කැමරා පද්ධතිය මගින් නිරීක්‍ෂණය කර වාහන හිමියන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් පොලිසිය මගින් ක්‍රියාත්මක කරගෙන යන අතර එයටද සහන කාලය තුළ වාහනවල හිමිකාරීත්වය පවරා ගන්නා පුද්ගලයන් නිවැරදිව හඳුනාගත හැකි බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

මින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment