අපි

30

පළමු සටහන

නූතන මිනිසා මිහිමත ජනිත වූ දා සිටම තමන් ජීවත් වන පරිසරය සමග අවියෝජනීය සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. පෘථිවියේ ඉතිහාසයට සාපේක්ෂව මිනිසා මේ පෘථිවියේ බිහි වී එතරම් කාලයක් ගත වී නැත. සමස්ත පෘථිවි ඉතිහාසය පැය විසිහතරේ ඔරලෝසු වෙලාවකට සමාන කළහොත් මිනිසා පෘථිවියට පහළ වී තිබෙන්නේ දවස අවසාන වන්නට මිනිත්තු කීපයක් ඉතිරිව තිබියදී. ඊට පූර්වයෙහි සිදුවුණු භෞතික, ජෛව රසායනික ක්‍රියාවලි රාශියක් මිනිසාට ඉදිරියෙන් සටහන් වෙලා තිබෙනවා.

කොහොම නමුත් මීට වසර දෙලක්ෂ හැත්තෑදාහකට විතර කලින් නැගෙනහිර අප්‍රිකාවේ දී නූතන මානවයා බිහි වුණු බව විද්‍යාඥයන් අනාවරණය කොටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන පුරාවිද්‍යාත්මක සාක්ෂිත් ඔවුන් පෙන්වා දෙනවා. සමහර උපකල්පන අනුව මේ මානවයා තමයි විවිධ කාලවල දී ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙන්නෙ. ඒ මානවයා තමයි හෝමෝ සේපියන්ස්. ඒ කියන්නේ “අපි”. අපිට කලින් ලෝකයේ තැන් තැන තව මානව වර්ග ගණනාවක් ජීවත් වෙලා තිබෙනවා. බොහෝවිට එක් එක් කාලවකවානුවලදී මානව වර්ගය කීපයක් එකවිටම මිහිමත ජීවත් වෙලා තිබෙනවා කියන එකයි. ඒක අපට ආයෙ කවදාවත් අත්දකින්න නොලැබෙන අත්දැකීමක් බව කිවයුතුයි. අපට ළඟින්ම හිටපු මානව වර්ගයක් තමයි හෝමෝ නියැන්ඩර්තාල් කියන මානව විශේෂය. යුරෝපයේ බොහෝ තැන්වල මොවුන්ගේ දියුණු තාක්ෂණික, ආචාර විද්‍යාත්මක සහ සමාජීය ලක්ෂණ සහිත ජීවන ව්‍යවහාර පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කර තිබෙනවා.

කෙසේ නමුත් වර්තමානයේ මිහිමත ජීවත් වෙන්නේ එක් මානව වර්ගයක් පමණයි. ඒ ඔබ මම අපි අයත් වෙන හෝමෝ සේපියන්ස්. එතකොට අනික් මානව වර්ගවලට මොකද වුණේ? මේ ප්‍රශ්නයට උත්තර විදිහට විවිධ සාක්ෂි සහිත උපකල්පන තිබුණත්, ඒ සාකච්ඡාව පසුවට කල් තබනවා. ඒත් එක් දෙයක් පැහැදිලියි, ඒ තමයි එයාලට අපිත් එක්ක තරග කරන්න, ඒ වගේම වෙනස් වෙන පරිසරයට අනුව ජීවන ව්‍යවහාර වෙනස් කරගන්න බැරි වෙන්න ඇති. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් මිහිතලයෙන් වඳ වෙලා යන්නත් ඇති.

මිහිතල ඔරලෝසුවේ අවසන් මිනිත්තු කිහිපයේදී පෘථිවියට ආපු මිනිසා පෘතුවියේ පාලනය තමන්ගේ අතට අරගෙන තිබෙන බව මේ කියවීම කරන ඔබ ද පිළිගන්නවා ඇති. සියලුම කාරණා සම්බන්ධයෙන් නොවෙතත් ඒක සත්‍යයක්. නූතන මිනිසා මේ බල ව්‍යාපෘතිය සිදු කළේ කොහොමද කියන එක හරිම ආකර්ෂණීය වෘත්තාන්තයක් බව සමහරවිට ඔබ දැනටමත් දන්නවා ඇති. ගල් ආයුධ වල සිට න්‍යෂ්ටික අවි දක්වාත්, සංක්‍රමණික සහ ගල් ලෙන් ජීවිත වෙනුවට විශාල නගර තනාගැනීම දක්වාත්, ආහාර සඳහා සතුන් පසුපස ලුහුබැද යමින්, ගස් මුල් අල මත යැපීම වෙනුවට ඔවුන් හීලෑ කර ගැනීමත්, ඉන් නොනැවතී තමන්ට අවශ්‍ය දේ මිහිමතට කැඳවීමට තරම් මායා බලයක් නිර්මාණය කර ගැනීම ගැනත්, භාෂාව ප්‍රධාන කරගෙන ඒ ඒ භූ අවකාශයන් වල සංකීර්ණ සංස්කෘතික වපසරියක් නිර්මාණය කරගැනීම ගැනත් අපූර්ව වෘර්තාන්ත තිබෙනවා.

“අපි” අපට අවශ්‍ය විදිහට අප අවට ඇති දේ විශේෂයෙන්ම ස්වභාවික පරිසරය වෙනස් කර තිබෙනවා. තවදුරටත් අපි එසේ කරමින් ඉන්නවා. ඒකේ හොඳ හෝ නරක නැතිනම් ආදීනවත් ඒ සමගම අප භුක්ති විඳිමින් සිටිනවා. මේ ක්‍රියාවලියේ දී අපි සමහර සත්ව හා ශාක විශේෂ මිහි මතින් තුරන් කරලම දාලා. ඕසෝන් වියන සිදුරු කරලා. සාගරය විතරක් නෙමෙයි ගොඩබිමත්, අභ්‍යවකාශයත් දූෂණය කරලා. සඳට පය තැබුවා වගේම අඟහරු මත ජනාවාස තනන්නත් අපි සැලසුම් කරනවා. අභ්‍යවකාශයට විනෝද ගමන් සංවිධානය කරනවා. සාගරයේ ගැඹුරුම තැනට කිමිදෙන්නත්, උසම කඳු මුදුන මත පය තබා ජයග්‍රහණය සමරන්නත් අප තුළ කැමැත්තක් තිබෙනවා. මේ කැමැත්ත, ජවය, පෙළඹවීම සහ ආකල්පය “අපි” කෙටි කාලයක් තුළ සෙසු ජීවීන්ට නොහැකි වුණු තරමේ ප්‍රගතියක් කරා මෙහෙයවන්නට ඇති.

උස් කඳු මුදුන්වල, මහා කාන්තාර, තැනිතලා, හිම තලා වලත් “අපි” ජීවත් වෙනවා. පරිසර සාධකවලට අපේ පැතිරීම තවදුරටත් පාලනයක කරන්න බැරි ගානයි. අඩුම ගානේ වසංගතයකටවත්. විද්‍යාව හා තාක්ෂණය කියන මැජික් යෂ්ටි අප සතුව තිබෙන නිසාත්, විද්‍යාගාර කියන බලාගාර වලින් ඒවා නිරන්තරයෙන් බලගන්වමින් තිබෙන නිසාත්, තවදුරටත් ඒවා අභියෝග වෙන්නේ නෑ. සමහරවිට තාවකාලික අභියෝග විතරයි. පූර්වයේ හිටපු මානවයන්ගේ කපාල ධාරිතාව සමග සැසඳුවාම අපට සාපේක්ෂව විශාල මොළයක් තිබෙනවා. මේ තරම් දුරක් එන්න ඔළු ගෙඩිය විතරක් නෙමෙයි ඒක ඇතුළෙ තිබුණු මොළ ගෙඩියත් හේතු වෙලා තියෙන බවට සැකයක් නෑ.

මේ සේරම කතා මම කිව්වේ “අපි” අපි ගැනම පුරාජේරු ගහන්න නම් නෙවෙයි. මිනිසා යම් විකාශනයක්, නැතිනම් දියුණුවක් හෝ අපි හැමවෙලේම ළඟා කරගන්න උත්සාහ කරනවා යැයි කියන සංවර්ධනය අත්පත් කරගන්නවා කියන්නේ අපිට ඕන විදිහට මේ පෘථිවිය නැති නාස්ති කරන්න දීපු වරමක්, නැත්නම් අවස්ථාවක් නොවන බව ටිකක් මතක් කරලා දෙන්න. අපේ වැඩ නිසා අපේ ගෙදර වුණු පෘථිවිය මේ වන විට හොඳටම අපවිත්‍ර වෙලා, ජීවත් වෙන්න බැරි තැනක් වෙමින් තිබෙන නිසා, අපිට අපේ වැඩ ගැන නැවත හිතා බලන්න වෙනවා. අපිට හිතන්න වෙනවා අඟහරු මත ජනාවාස ගැන හිතනවට වඩා, මිහිමත ජීවය රැක ගැනීමේ මග මොකක්ද කියලා. අපිට හිතන්න වෙනවා අපි වගේම අනිත් ජීවීන්ටත් මිහිතලය තමන්ගේ එකම නිවහන වන බව සහ ඔවුන් ජීව දැලෙන් ඉරා විසි කර දමන්න අපට කිසිම අයිතියක් නැති බව. අපට හිතන්න වෙනවා සොබා සම්පත් සූරාකෑම සංවර්ධනය අත්පත්කර ගැනීමේ එකම මග නොවන බව. අපට හිතන්න වෙනවා අපි ජීවිතයේ සතුට, තෘප්තිය ළඟා කර ගැනීම අලෙවිකරණයේ කරවටක් ගිලිලා, බහු භාණ්ඩික වීම තුළින් ළඟාකර ගත නොහැකි බව.

හරිත පුරවැසියකුගේ දින සටහන් පෙළ ගැහෙන්නේ මෙන්න මේ වගේ නිදහස් සහ හරිත සිතුවිලි පරම්පරාවක් මතු කිරීම අරමුණු කරගෙන.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment