මඩකලපු දිස්ත්‍රික්කයට අයත් දිවුලපතාන පාරම්පරික සිංහල ගම්මානයේ පදිංචිව සිටින ගොවීන් විසිතුන් දෙනාගෙන් දහතුන් දෙනකුට විරුද්ධව රජයේ සන්කය ආපසු ගැනීමේ පනත යටතේ පැවරූ නඩුව එරාවුර් සංචාරක අධිකරණයේ දින දෙකක් විභාග වූ අතර මෙම ගොවීන් සිය ඉඩම් වලින් නෙරපීම පිණිස තීන්දුවක් ලැබී තිබේ. මෙම නඩුව පවරන ලද්දේ මහවැලි අධිකාරියේ මහවැලි බී කලාප නිලධාරීන් විසිනි. 2021 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් විසින් මහවැලි අධ්‍යක්ෂ ජනරාල් වරයාට විරුද්ධව පවරන ලද මැන්ඩමුස් නඩුකරය ප්‍රකාරව දිවුලපතාන ගොවීන් දහදෙනකු ඉවත් කිරීමට මහවැලි අධිකාරිය දක්වන ලද එකඟතාව මෙම නෙරපීමට හේතු සාධක වෙයි.

1979 ජූනි මස 15 වන දින ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන ලද මහවැලි සංවර්ධන බල ප්‍රදේශය අනුව මෙම කලාපය අයත් වන්නේ මාදුරුඔය ජලාශයෙන් පෝෂණය විය යුතු බී කලාපයටයි. 1983 දී මාදුරු ඔය පැරණි මහ වැව ප්‍රතිසංස්කරණය අවසන් කිරීමෙන් පසුව එම ජලාශයේ වම් ඉවුර සංවර්ධනය කරනු ලැබිණ. පොලොන්නරු දිස්ත්‍රික්කයේ අරලගංවිල වැලිකන්ද ප්‍රදේශ තුළ ජනතාව පදිංචි කරමින් වී ගොවිතැන සඳහා ඉඩම් ලබා දී ඇත්තේ මේ සංවර්ධන ක්‍රියාදාමය අනුවයි. අපවත්වී වදාළ පූජ්‍ය කිතලගම සීලාලංකාර දිඹුලාගල නායක හිමියන් හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් කරන ලද ඉල්ලීමක් මත මාදුරුඔය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට සැලසුම් සකස් කළ බව ප්‍රකට කරුණකි. මෙම මාදුරුඔය බී කලාපයේ දකුණු ඉවුර සංවර්ධනය කර හෙක්ටයාර් 14500 ක ගොවිබිම් ඇති කර 13347ක් පවුල් පදිංචි කළ යුතු වන අතර නගර ඇති කරලීමද මහවැලි සංවර්ධන සැලැස්මේ ප්‍රමුඛ අරමුණක්ව තිබුණි. වම් ඉවුර සංවර්ධනය කරලීමෙන් අනතුරුව මෙම දකුණු ඉවුරු පෙදෙස සංවර්ධනයට ඉදිරි පියවර තැබීමට තිබුණද අසූව දශකයේ දි ඇරඹි කොටි ඝාතක යුද්ධය නිසා ඒ කිසිවකට ප්‍රවේශ වීම කළ හැකිව නොතිබුණි. නමුත් එම පෙදෙස්වල තිබූ පාරම්පරික ගොවිබිම් මෙන්ම කැලෑ ගම්මානයන් හි අහස් වැස්සෙන් සහ වැව් දියවරෙන් ගොවිතැන් කරමින් පැවතුණි. ඒ ඇතැම් බිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලද සෙසු කැලෑ අතර විය. දිවුල පතාන පාරම්පරික ගම්මානයද ඒ ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ගොවීන් විසින් වගා කරන ලද ජනාවාස ව තිබූ ගොවි බිමක් විය. 1989 දී මෙම ගම්මානයට එල්ල කරන ලද කොටි ප්‍රහාරයෙන් නව දෙනකු ජීවිතක්ෂයට පත් විය.

දිවුල්පතාන මීමිනිගොල්ලෑව හික්කාගල මල්වත්ත මාරවිල ආදී මේ කැලෑ ගම්මාන අනුරාධපුර යුගයේ සිට ජනාවාස ලෙසට පැවති සශ්රීවක ප්‍රදේශයන් වෙයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේ දීකළ ගවේෂණය මගින් මඩකලපු දිස්ත්‍රික්කයේ පමණක් නටබුන් පවතින ස්ථාන පන්සිය තිහක් හඳුනාගනු ලැබිණ. ඒ අතරින් දිවුලපතාන අයත්වන චෙංකලාඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ස්ථාන එකසිය විස්සකි. දිවුලපතාන අවට ස්ථාන හතරක ස්තූප ගොඩනැගිලි යකඩ සෑදූ ස්ථාන දක්නට ලැබේ. මීමිනිගොල්ලෑව ශිලාලේඛනයෙ මගින් දක්වා ඇත්තේ ඉසිගිරිය අමාත්‍යවරායා ගේ පුත්‍රයා විසින් මෙම ප්‍රදේශයේ තිබෙන චුබරවලක නම් වැව (මීමිනිගොල්ලෑව) අහපරම නම් විහාරයට පූජා කළ බවයි. මෙම ගම්මානයට සමීපතම වැදගත් ස්ථානයක් වන තොප්පිගලින් හමූවූ හත්වන සියවසට අයත් ශිලා ලේඛනයකින්ද කියැවෙන්නේ මේ ප්‍රදේශ ඉතා වැදගත් ශාසනික දේපළ ඇති භූමි භාගයක් බවයි. ඒ අනුව දිවුලපතාන යනු අනුරාධපුර යුගයේ සිට ජනාවාසව පැවති වර්තමාන ඔප්පු තිරප්පු නොමැති වුවද පාරම්පරික උරුමයක් ඇති ගම්මානයක් බව පැහැදිලිව කිව හැකිය.

2009 කොටි සමූලඝාතනය කර යුද්ධය අවසන් කළ පසු දිවුලපතාන අවතැන් වූ ජනතාව නැවත එම ප්‍රදේශයට ගොස් වගාව ආරම්භ කරන ලදහ. මේ වන විට ජනතාවගේ අවශ්‍යතාවට සරිලන ලෙස සමුපකාරයක් සිංහල පාසලක් පවා දිවුලපතාන ගමට අයත්ව තිබී ඇත. කොටි යුද්ධය ආරම්භ වීමට ප්‍රථම මෙම පෙදෙස පාලනය කරන ලද්දේ මහඔය උප දිසාපති යටතේය. ඡන්ද නාම ලේඛන පවා සකස්ව තිබෙන්නේ දිගාමඩුල්ල මැතිවරණය කොට්ඨාසයටයි. 1989 දී පමණ දිවුල් පතාන ඡන්ද හිමියන් 613 ක් සිටි බව ලේඛන වලින් පෙනේ. ඒ අතර 1981 ජන සංගණනය අනුව මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය සටහන් වන්නේ 11255 කි. යුද්ධය නිමා වීමෙන් පසු නැවත පදිංචි කර තිබෙන්නේ 2397 ක් පමණි. නමුත් දෙමළ සහ මුස්ලිම් ජනතාව තවදුරටත් ව්‍යාප්ත වෙමින් සිංහල ජනතාව සතු පාරම්පරික වාසභූමිද අල්වා ගනිමින් ව්‍යාජ ඔප්පු සකස් කොට පදිංචිය තහවුරු කොට ගත ආකාරය පැහැදිලිව දක්නට ඇත.

දිවුල්පතාන ඉඩම් ගවයන්ට…ජනතාව මහ පාරට

පෙර කී පරිදි 2021 දී මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී රසාමානිකම් මහවැලි අධිකාරියට විරුද්ධව නඩු මගට බැස ඇත. එයට හේතුව මඩකලපු කිරි ගොවීන්ගේ ගවගාල්වලට අයත් ඉඩම් සිංහල ගොවීන් විසින් අනවසරයෙන් වගා කරන බව දක්වමිනි. දිවුලපතාන යනු මයිලත්තමඩු මාදවනේ යනුවෙන් දක්වන ප්‍රදේශය බවත් ඒ ඉඩම් දෙමළ කිරි ගොවීන් ගේ ඉඩම් බවටත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් ඒ නඩු නිමිත්ත විය. සැබෑව නම් යුද්ධයට පෙර මේ මයිලත්තමඩු මාදවනය (දිවුලපතාන යාබද ගම) කැලෑ ප්‍රදේශයක් වීමයි. වන සංරක්ෂණයට අයත් මේ ඉඩම් හෙළි පෙහෙළි කොට ගවගාල් තනා ඇත්තේ 2015 න් පසුවයි. ඉන්පසු ඔවුන්ගේ ඉල්ලීම පරිදි මහවැලි අධිකාරිය විසින් මේ ගවගාල් වලට අවසර ලබා දී ඇති අතර වැලි කැණීමට සහ ගවයන්ට ජලය ලබා ගැනීමට වැව් හෑරීමටද අවසර ලබා දී තිබේ. චමල් රාජපක්ෂ හිටපු මහවැලි අමාත්‍යවරයාද රොෂාන් රණසිංහ වත්මන් මහවැලි අමත්‍යවරයාද මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනයට කරන ලද සැලසුම් අනුව නව ඉඩම් පරිහරණ සැලැස්මක් හඳුන්වාදී තිබේ. දෙමළ අන්තවාදීන්ගේ ඉල්ලීම් සපුරාලනු සඳහා තෘණභූමි හෙක්ටයාර් 3025 ක් අලුතින් ඇති කරලීමට නිර්දේශ වී ඇත. නමුත් මහවැලි මුල් සැලැස්ම අනුව වාරි පහසුකම් යටතේ තිබූ 14500 ක තිබිය යුතු වුවද ඒ ප්‍රමාණය 9412 කට අඩුකර ඇත. මෙම තීරණයන් මුල් සැලැස්මට පටහැනිය. ඉතිහාසය පුරාවටම වාරි දියෙන් පෝෂණය වෙමින් වී ගොවිතැනට මුල් තැන් දුන් අතර ගව පාලනය සිදු වූයේ ඒ යටතේය.

අලුතින් තෘණභූමි වෙන් කරලීමට ගන්නා ලද තීරණය මත දිවුලපතාන ගම තුළ හේන් ගොවිතැන් කළ කුඹුරු කළ ගොවීන් විශාල පිරිසකට බලවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. මෙම හරක් අයාලේ යන්නට ඉඩ හැරීම නිසා කුඹුරු වතු පිටි විනාශ විය. මේ පිළිබඳ කළ පැමිණිලි පොලිසිය හෝ මහවැලිය තුට්ටුවකට මායිම් කළේ නැත. ඒ වෙනුවට පෙර කී පරිදි මේ හරක් ගාල් අයිතිකරුවන්ට සහාය දෙන රාසමානික්කම් මන්ත්‍රීවරයා මහවැලියට විරුද්ධව නඩු මගට බැස නීතිපති උපදෙස් මත 2022 දී තීන්දුවක් ලබාගෙන තිබේ. ඒ තීන්දුව අනුව මහවැලි අධිකාරිය විසින් දිවලපතාන වාඩි තනා සිටින සිංහල ගොවීන් 10 දෙනකු ඉවත් කළ යුතු විය.

මේ නඩු කටයුතු 2023 ඔක්තෝබර් මසයේ දී ආරම්භ වන අතර එරාවුර් උසාවියේ පැවති ලඝු නඩු විභාගයකින් පසු ගොවීන් 13 දෙනකු නෙරපීමට තීන්දු කර ඇත. මේ තීන්දු පිටිපස තිබෙන්නේ රාසමානිකම්ලාගේ දෙමළ අන්තවාදී දේශපාලනයයි. ඔවුහු ජනපතිවරයා මඩකලපුවට ගෙන්වා හොඳින් සංග්‍රහ කර දේශපාලන පොරොන්දුවක් ලබා ගත්හ. 2022 වසරේ දී රොෂාන් රණසිංහ මහවැලි ඇමැතිවරායා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් අංක ෂඍ/ 2022/32 දරන කැබිනට් සංදේශය අනුව හෙක්ටයාර් 20000 ක් ක ඉඩම් ප්‍රමාණයක් සෘතුමය බඩ ඉරිඟු වගාව පිණිස දිය යුතුය. ගොවීන්ට ලබා දිය යුතු වන්නේ හෙක්ටයාර් 10000 කි. එයද ආයෝජකයන් හා ගිවිසි ගොවිතැනකට පමණි. නමුත් මහවැලි මහ සැලැස්මේ නියමය නම් මාදුරු ඔය දකුණු ඉවුරේ හෙක්ටයාර් 14500 ප්‍රමාණයකට අවශ්‍ය ජලය ලබාදිය යතු බවයි. එහි ප්‍රමුඛත්වය වී ගෙවිතැනටයි. නිවාස තැනීමට මංමාවත් තැනීමට මෙන්ම කුඩා නගර ඇති කිරීමටද යෝජිතය. නමුත් වත්මන් මහවැලි ඇමැතිවරයා සහ ජනපතිවරයා මේ මුල් සැලසුම් කණපිට හරවාගෙන කටයුතු කරන්නට පටන් ගෙන තිබේ. පාරම්පරික සිංහල ගොවීන් ඉවත් කර ඒ වෙනුවට තෘණ භුමි වෙන් කිරීමටත් අනෙකුත් වන සංරක්ෂණ භූමි හෙළි පෙහෙළි කොට බඩ ඉරිඟු වැවීමට ආයෝජකයන්ට ලබා දීමත් සිදු වේ. මේ ආයෝජකයන් බොහෝ විට ඉන්දීය ආයෝජකයන් විය හැකිය. ඉන්දීය වුවමනාවන් මත යැපෙන ආණ්ඩුවකට වෙනත් විකල්ප නැත. නමුත් ජනපතිවරයාට ඇත්තේ කටේ නරිවාදම පමණකි. ඔහු අයවැය යෝජනාවට පම්පෝරියක් එකතු කර තිබේ. ඉඩම් නැති ජනතාවට ඉඩම් හිමිකම් දීම ඒ පම්පෝරියයි. නමුත් ඔහු කියන්නේ එකක් කරන්නේ ඒකක් බව දන්නෝ දනිති. දිවුලපතාන ඇතුළු උතුර සහ නැගෙනහිර පළාත්වල පාරම්පරික සිංහල වැසියන් ඉවත් කර බි්‍රතාන්‍යයන් විසින් දහනවවන සියවසේ දී මෙරටට සංක්‍රමණය කරන ලද දෙමළ මුස්ලිම් කල්ලතෝනීන්ට ඉඩම් ලබා දීම ඔහුගේ අරමුණයි. ඒ අනුව ඓතිහාසික වාසභූමි ද්‍රවිඩීකරණය වීමත් ජනවාර්ගික පවිත්‍රකරණයක්ද සිදු වනු නියතය. එදා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මුඩුබිම් පනත ගෙනවුත් සිංහලයන්ට ඉඩම් අහිමි කොට ඒ ඉඩම් සිලිං කීපයකට වතු වැවිල කරුවන්ට සහ බෝරාකාරයන්ට ලබා දුන්හ. දැන් එළඹ තිබෙන්නේ ඒ දෙවනි යටත් විජිත යුගයයි. මහවැලි ගැසට්ටුවකින් 1979 දී පවරා ගත් පාරම්පරික සිංහල වාසභූමි නැවත සංවර්ධනය කර ඒ වැසියන්ට ලබා නොදී විදෙස් ආයෝජකයන්ට ලබා දී සිංහලයා අනාථයෙකු බවට පත් කරලීම මගින් ජනපතිවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද? දිවුලපතාන ඛේදවාචකය මගින් කියැවෙන්නේ වත්මන් සිංහලයන්ගේ අසරණ භාවයයි. හැටනව ලක්ෂයක් සිංහල බෞද්ධ ඡන්ද ලබා දී ලැබෙන්නට තිබෙන ත්‍යාගය මෙයද යන්න අප හිටපු ජනපති ගෝඨාභයගෙන් විමසිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment