දුම්රිය පෞද්ගලීකරණය නොකිරීමට සෙවකයන් කටයුතු කළ යුතුයි – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

60

ඕනෑම ගැටලුවක් සාකච්ඡාවෙන් විසඳා ගමු – දුම්රිය නව සාමාන්‍යාධිකාරී බණ්ඩාර

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු එච්. එම්. ජේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා ඊයේ (03 දා) දින දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි ඇරඹීය.

ඒ මහතා උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ඉංජිනේරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹීමෙන් පසු දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මහාමාර්ග හා කර්මාන්ත) අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍රයේ පදවි ගණනාවක් හොබවනු ලැබීය.

මෙම අවස්ථාවට එක්ව සිටි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

පසුගිය කාලය පුරා සිදුකරන දුම්රිය වර්ජන හේතුවෙන් බොහෝ මගීන් කිව්වේ දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කළොත් හොඳයි කියන ස්ථාවරයයි. වඩාත් ඵලදායී කාර්යක්‍ෂ සේවාවක් ලබාදීමට මෙය පෞද්ගලීකරණය නොකර බේරා ගැනීමට හැම දෙනාම කටයුතු කරන්න. මේ ආයතනය ඉහළ ආයාදමක් ලබාගැනීමට කටයුතු නොකළහොත් අඩුම තරමින් රේල් පීල්ලක්වත් ගන්න මුදල් නැති වෙනවා. ජාතියේ යහපත වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගැනීමට මේ අවස්ථාවේදී කල්පනා කළයුතු වෙනවා. ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 20ක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කළා. එය ඉදිරි කාලයේදී ලැබෙනවා. සෑම රටක් ම මේ වනවිට ධාවනයට එකතු කරලා තිබෙන්නේ විදුලි දුම්රියන්. ඒ නිසා අඩුම තරමින් අපේ රටෙත් කැලණි මිටියාවතේ පමණක්වත් විදුලි දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නව සාමාන්‍යාධිකාරී බණ්ඩාර මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේද පැවසීය.

අද වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව යම් තරමකට විවේචනයට ලක්වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ම දුම්රිය ප්‍රමාද වී ධාවනව, දුම්රිය අවලංගු කිරීම, දුම්රිය සේවකයන්, නිලධාරීන්, දුම්රිය වර්ජනය කිරීම නිසා දුම්රිය මගීන්ගේ විවේචනයට ලක්වෙලා තියෙනවා. ඒ නිසා මගේ මූලික අරමුණ මේ සියල්ල ම අවම කරමින් මඟී ජනතාවට අවශ්‍ය කරන කාර්යක්‍ෂම සේවයක් ලබාදීමයි.

ඒ නිසා හිතෙන හිතෙන වෙලාවට දුම්රිය වර්ජන කරමින් දුම්රිය ධාවනයට බාධා සිදුවෙන්න බැහැ. අපි මේ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ සලකා බලා දුම්රිය සේවය රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සිදුකරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ඕනෑම ගැටලුවක් දුම්රිය සේවකයන්ට මෙන්ම නිලධාරීන්ට මා සමඟ සාකච්ඡා කරමින් තීන්දු තීරණ ගැනීමට හැකියාව තිබෙනවා.

සටහන සහ ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment