දේශපාලනය පසෙකලා ජනතා ප්‍රශ්න විසඳන්න එක්වන්නැයි සජිත් ඇතුළු විපක්‍ෂයෙන් ඉල්ලනවා

97

ජනපතිගෙන් විපක්ෂ නායක ඇතුළු විපක්ෂයට විවෘත ආරාධනයක්
අවශ්‍ය නම් වගකීම් දෙන්න අපි සූදානම්.

බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙස ද විපක්ෂයට පැවසීය.

අවශ්‍ය නම් කථානායකවරයා සමඟ සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තවත් වගකීම් පවරාදීමට හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් ඒ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් ඊයේ (03දා) පෙරවරුවේ හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.

“අමරවිරු අභිමන් 32” සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නංවාලීම උදෙසා සහාය ලබාදුන් අයට සහ ගොවි ජනතාවට උපහාර තිළිණ පිළිගැන්වීම, ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සහ විශිෂ්ට ක්‍රීඩා කුසලතා දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පිළිගන්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා අතින් ඒ මහතා වෙත ද උපහාර තිළිණක් පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

සිය දේශපාලන ජීවිතයෙහි වසර 32 ක් සහ වසර 28 ක පාර්ලිමේන්තු දිවිය තුළ මහින්ද අමරවීර මහතා මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටු කරමින් සිටිනවා. පළමුව අප එතුමාට ප්‍රශංසාව පිරිනැමිය යුතුයි. එතුමා අත්දැකීම් රැසක් ඇති පරිණත දේශපාලනඥයෙක්. එක් එක් යුගවල පක්ෂයේ, සහ විපක්ෂයේ සාමාජිකයන් ලෙස අප එක්ව කටයුතු කළ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ එක ආණ්ඩුවක කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබුණා.

ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අගැමති ධුරය දරණ සමයේ ද මම ප්‍රකාශ කළේ මේ සියලු දෙනා එක්කරගෙන ඉදිරියට යා යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 වසරේදී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ට ජනාධිපති මන්දිරයට ආරාධනා කළා. අවාසනාවකට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එය වර්ජනය කළා. මමත්, ආර්. සම්බන්ධන් මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා සහභාගී වූ අතර මෙම ප්‍රශ්නය විසඳන්නේ කෙසේද කියා අප සාකච්ඡා කළා. කෙසේ වෙතත් මැයි 09දා සිදුවීමෙන් පසු අප මේ සියලු දෙනා එක් කර ගැනීමට උත්සාහ කළා. අග්‍රාමාත්‍ය ධුරය භාර නොගත්තත් මේ වැඩකටයුතු සඳහා සමගි ජන බලවේගය සම්බන්ධවෙයි කියා අප බලාපොරොත්තු වුවත් ඔවුන් ඊට එක් වුණේ නැහැ. එතැන් සිට තමයි මේ ආණ්ඩුව හදාගෙන අප වැඩකටයුතු ආරම්භ කළේ. මම ජනාධිපතිවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ලෙසත් පත්කරගත් කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ වගකීම මහින්ද අමරවීර මහතාට ලබා දුන්නා. එතුමා කෘෂිකර්ම ඇමති වුණේ කෘෂිකර්මයක් සහ ආර්ථිකයක් නැති රටක. නමුත් එතුමා සමග මේ රටේ කෘෂිකර්මාන්ත නැවත ඉදිරියට ගෙන ඒමට අපට හැකියාව ලැබුණා.

ඒ වගේම බිත්තර සහ කුකුල් මස් අපනයනය කළ යුතුයි. අපට මෙය තනිව සිදු කළ නොහැකියි. එසේ නම් රජය සහ පුද්ගලික අංශය එක්ව මේ වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුයි. මේ සියල්ල කරන්නේ මේ රට දියුණු කරන්න. රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි පියවර ගණනාවක් ගෙන තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අප ඇති කර ගත්තා. එය ක්‍රියාත්මක කිරීමට 2023 අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අපට බදු වැඩිකරන්න සිදු වුණා. මම කිව්වා අපි සියලු දෙනා එකතුවෙලා මේ වැඩ කරමු කියලා. ඒ අවස්ථාවේ විපක්ෂය කියා සිටියේ “අපිට අත්සන් කළ ගිවිසුම පෙන්වන්න, ආණ්ඩුව බොරු කරන්නේ, මේ මුදල් ලබා ගන්නේ දූෂණයට යෙදවීමට” කියලයි

නමුත් ජනවාරි, පෙබරවාරි මාස වන විට එම කටයුතු ක්‍රියාත්මක කිරීමෙන් පසු අපට තවත් පියවර ගණනාවක් ගැනීමට තිබුණා. ඒ සෑම අවස්ථාවකම උද්ඝෝෂණවලින් එම කටයුතු නතර කිරීමට උත්සාහ කළා. අපි ඒවට බය නැතිව ඉදිරියට ගියා. අවසානයේ අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම ගිවිසුම අනුමත කළා. එහිදී එක කොන්දේසියක් වුණේ පැරිස් සමාජය සහ ඉන්දියාව හා චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවකට පැමිණිය යුතු බවයි. එවිට විපක්ෂය කිව්වා චීනය ඒ සඳහා එකඟ වෙන්නේ නැහැ කියලා. අවසානයේ මාර්තු මාසය වන විට චීනය එකඟතාවය පළ කළා.

පසුව අපි කිව්වා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගේනවා කියලා. පාර්ලිමේන්තුවේ දී එය අනුමත කර ගැනීමට අප සියලු දෙනා එකට එක්ව කටයුතු කරමු කියලා. විපක්ෂය පාර්ලිමේන්තුවේදී මොකක්ද කළේ? ඔවුන් එයට සහයෝගය ලබා දුන්නේ නැහැ. ජනතාව හෙට බැංකුවට ගිය විට තමන්ගේ මුදල් තිබෙනවා. තමන්ගේ අර්ථ සාධක අරමුදල තිබෙනවා. එතකොට විපක්ෂය මොකක්ද මේ කළේ කියලා අහන්න වෙනවා. අපිට රට පුරා කියන්න පුළුවන් විපක්ෂය පළමු පාරත් බොරු කිව්වා, දෙවනි පාරත් බොරු කිව්වා. විපක්ෂය මේ වැඩපිළිවෙළට එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම මෙහිදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සම්පූර්ණ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා දැන් හරි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපත් සමග එක්වන්න කියලා. ඊට පසුව ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් අපිත් රට ගොඩනඟන්න උදව් කළා කියලා.

ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් අපි එකතුවෙලා රට ගොඩනගමු. දැන් ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ නිසා මම නැවත ඉල්ලනවා, අවශ්‍ය නම් මම සූදානම් කථානායකතුමා සමඟ සාකච්ඡා කර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් වගකීම් දෙන්න. දැනටත් ඔවුන් උපදේශක කාරක සභා ආදියෙහි වගකීම් දරනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කිරීම ඇතුළු තවත් වැඩකටයුතු සිදු වෙනවා. ඒ නිසා තවත් අවශ්‍ය නම් වගකීම් දෙන්න අපි සූදානම්. කරුණා කර ආණ්ඩුවට සහාය දෙන්න. විපක්ෂනායක කමට කිසිදු තර්ජනයක් වීමට අප ඉඩ දෙන්නේ නැහැ කියලත් මම කියන්න කැමතියි.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අදහස් දැක්වීය.

මත්තල-දිලීප් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment