දුක් කරදර පීඩා මැද සතුටින් දිවි ගෙවන්න – කොළඹ අගරදගුරු පදවි මරිය හමුදා අදියුරු පියතුමා

80

දුක් කරදර පීඩා මැද සතුටින් දිවි ගෙවන්න යයි කොළඹ අගරදගුරු පදවි මරිය හමුදා අදියුරු පියතුමා මෙම සමුදීමේ උත්සවයට පැමිණි ජනතාව අමතමින්, තම දේශනය පාවුළු තුමා පිලිප්පිවරුන්ට යැවූ හසුනේ 4/4-9 දක්වා කියවා ප්‍රකාශ කරමින් බහු ආගමික ජනතාවගේ හදවත්වලට නැවුම් පණිවිඩයක් දානය කරන ලදී. “සමිඳානන් වහන්සේ තුළ නිතරම ප්‍රීති වන්න, ප්‍රීති වන්න යැයි” නැවතත් කියමි. මේ වකවානුව තුළ අපි කවුරුත් අසතුටින්, අවදානමෙන්, නොසන්සුන්තාවයෙන් පසුවන වකවානුවක්. ආර්ථික, සමාජීය හා චෛතසික ආදී හැම පාර්ශ්වයකින්ම මෙම අතෘප්ත කර අත්දැකීම අප ජීවිතය තුළ හොඳ ආකාරයෙන් පිළිබිඹු වේ. එලෙසම ජීවිතයේ සැදෑ සමයේ පසුවන ඔබ ද ධනාත්මකව හිතන්නට තිබෙන දෙය රැකගෙන, ලද දෙයින් සතුටුවන්නට පුරුදු පුහුණු නොවුණහොත් අප අන්ත අසරණ දුක්ඛදායි ජීවිතයකට වගේම, අන් අයට ද අප තුළ නැති සතුටක් දිය නොහැකි තත්ත්වයට පත්වනවා නොවේද? ඔබගේ ඇදහිලි, ආගම් හා දර්ශනයන්ට අනුව ආගමානුකූල පැවැත්ම හරි වැදගත්. මන්ද, ආගම දහම අප සංවර කරයි, විනයගරුක කරයි, ආචාර සම්පන්න කරයි. ජීවිතයේ සතුට ලබන්නට ලොකු ලොකු දේ කරන්නට හෝ හිතන්නට අවශ්‍ය නැත. අපට පෙනෙන, අපට මුණ ගැසෙන, නිවස තුළ පසුවන දරු මුණුපුරන් සමග අප සතුටු සාමිචියේ කටයුතු කළහොත් එතන සුරසැප ලැබිය හැකි බවත්, නැති නම් අපා දුක් විඳින්නට සිදුවන බවත් අවධාරනය කරන ලදී.

තවදුරටත් කතා කරමින් අද සමාජයට අවශ්‍යව ඇත්තේ ආදරය, ප්‍රේමය, දයාව, කරුණාව, මෙත්තා, මුදිතා, උපේක්ෂා යන ධර්ම ගුණයන්ගෙන් හෙබි පුරවැසියන්ය. කිසිවක් ගැන කරදර නොවන්න! නලංගු වීම ජීවිතයේ රසය විඳිනවාට වඩා විඳවන්නට සිදුවන කරුණකි. අප ජීවත් වන කෙටි කාලය තුළ තමන්ගේ සිතේ සතුට මෙන්ම එය දෝරගලන – පිටාර ගලන සන්තෘෂ්ටිය අන් අය වෙතද ගෙන යා යුතුය. මෙලෙස සාමයෙන්, සමාදානයෙන්, සමාවදීමෙන්, සංහිඳියාවෙන් දිවිපෙවතක් ගත කරන්නට අධිෂ්ඨාන කොට උත්සාහ කළ යුතුය. පාවුළුතුමා ක්‍රිස්තුන් වහන්සේ තුළ පවසන සත්‍යය වූ හා උදාර වූ දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වචන හා මනහර කොයි දේ ගැනත්, සදාචාරාත්මක යැයි ප්‍රශංසනීය යැයි සිතිය හැකි දේ ගැනත්, සිත යොදවන්න. අප්‍රමාදෝ අමත පදං – පමාදෝ මච්චනෝ පදං…. ප්‍රමාදය කනස්සල්ලට හේතු වේ. අප්‍රමාදව යහගුණ වපුරන්න. කුසල් රැස් කිරීමට කිසිවිට ප්‍රමාද නොවන්න.

අනලසව සුකෘත ක්‍රියාවෙහි යෙදෙන්න. එවිට මෙම සැදෑ සමය ඔබටත්, අප හැමටත් අසල්වාසීන් හා ඔබ නිවැසියන් හැමටම සුබ කටයුත්තක් හා ප්‍රීතිය සතුට ගෙනදෙන අවස්ථාවක් බවට පත්වෙනු ඇතැයි එතුමන් තවදුරටත් අවධාරණය කළහ. අප කළ යහපත් දේ ඔබත් කරන්න. තවත් වඩා හොඳට ඉටු කිරීමට අප්‍රමාදව, අනලසව පෙළගැසෙන්න.

ජූඩ් හෙට්ටිආරච්චි

දුන්ගාල්පිටිය

දුක් කරදර පීඩා මැද සතුටින් දිවි ගෙවන්න - කොළඹ අගරදගුරු පදවි මරිය හමුදා අදියුරු පියතුමා
advertistmentadvertistment
advertistmentadvertistment