සාහිත්‍යකරුවාත්, සාහිත්‍යයත් කාලානුරූපව වෙනස් වෙනවා – රංජිත් මල්ලියාවඩු

111

ප්‍රවීණ කවියකු පමණක් නොව ලේඛකයකු ලෙස ද සමත්කම් දක්වා ඇති රංජිත් මල්ලියාවඩු විසින් රචිත හයවන කාව්‍ය සංග්‍රහය ‘එල්ලංගාව’ නමින් පසුගියදා මුද්‍රණයෙන් නිකුත් විය. කවි මගෙහි දශක හතරක් සම්පූර්ණ කරන ලද කවියකු මෙන්ම නව මගක් ගත් කවියකු ලෙසින් ද ප්‍රකට රංජිත් මල්ලියාවඩු සමග ඔහුගේ නවතම නිර්මාණ සංග්‍රහය ‘එල්ලංගාව’ පිළිබඳ සිදුකළ කතා බහක් පහත පළවේ.

● ඔබගේ අනෙකුත් කාව්‍ය සංග්‍රහයන් හා සසඳන කල “එල්ලංගාව” තරමක් වෙනස් කෘතියක් ලෙස යෝජනා කළොත් ඒ මතය හා ඔබ එකඟ ද?

නිර්මාණකරුවෙක් ඇද හැළෙන දිය ඇල්ලක්, ගලා බසින ගංගාවක් වගෙයි. මේ මොහොතේ දිය ඇල්ලේ, ගංගාවේ යම් ස්ථානයක රැඳුණු ජල ස්කන්ධයක් වේ නම් නිමේෂයකින් ඒ ජල කඳ එහි නෑ. නිරන්තරයෙන් අලුත් ජල ධාරාවන් එතැනට එකතු වෙනවා. පූර්ව ජල කඳ කඳු, හෙල්, මිටියාවත් ඔස්සේ වෙනත් බිම් කරා ගලා බැස යනවා. සාහිත්‍යකරුවාත්, සාහිත්‍යයත් ඊට සමයි. නො නැවැතී වෙනස්වීම්වලට භාජනය වෙනවා. පරිණාමය වෙනවා. කාලානුරූපව එය විය යුත්තක්. නොඑසේ නම්, ඩයිනෝසරයන්ට අත් වූ ඉරණම වැලඳ ගන්න වෙනවා. මගේ නවතම කාව්‍ය සංග්‍රහය වන“එල්ලංගාව” කෘතියේ යම් වෙනසක් ඔබට නිරීක්ෂණය වෙනවා නම්, එය යම් සතුටක් ගෙන එන කාරණාවක්. ඒත් ඒ වෙනස සාධනීය වෙනසක් ද යන්න දැන ගැනීම මගේ තදබල අවශ්‍යතාවක්. අද වනවිට ලැබී ඇති ප්‍රතිචාර නම් තරමක් ආනන්දනීය යි.

● කවි පොතක් පාඨකයන් අතරට පත් කිරීම කියන්නෙම පවතින ආර්ථික, සමාජීය තත්ත්වය හමුවේ බෙහෙවින් දුෂ්කර කටයුත්තක්. විශ්‍රාමික රාජ්‍ය සේවකයකු ලෙස ඔබ ඒ දුෂ්කරතාව ජය ගත්තේ කෙලෙස ද?

කවි පොතක් එළි දැක්වීම පමණක් නො වෙයි, ජීවත් වීම හා බැඳුණු සමස්ත ක්‍රියාවලිය ම අද අර්බුදයකට තල්ලු කරනු ලැබූවක්. මෙවැනි අවස්ථාවක අපි දුර්මුඛ වුණොත් ඒ අභියෝග තවත් බලවත් වෙනවා. මේ සිව් දශකයක රාජ්‍ය සේවා ජීවිතයේ මා අනන්තවත් අත්විඳි කාරණාවක්. මෙම කෘතිය ප්‍රකාශනයට භාර ගන්න පෙර කවිවර ප්‍රකාශන අධිපතිනිය වන කවි කරුණාරත්න නැඟණිය මම පෞද්ගලිකව දැන හඳුනාගෙන සිටියේ නෑ. ඒත් කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේ දී ඇති වන ඉතා කෙටි හඳුනාගැනීමකින් ඈ මේ කාර්යයට නොපැකිලිව ඉදිරිපත් වෙනවා. එය මටත් පුදුමයක්. ඒ වනවිට මා සිටියේ මේ පොතේ අන්තර්ගත කවි තෝරමින්. මෙය රාජ්‍ය සේවයේ විශ්‍රාමය කියන්නෙ මනුෂ්‍ය ආත්මයේ විශ්‍රාමය නො වනබව සෙස්සන්ට කියා පාන්න මට උදා කර ගන්න ලැබුණු අගනා අවස්ථාවක්.

● ඔබේ නිර්මාණ ජීවිතය පිණිස පෙර පරම්පරාවේ නිර්මාණකරුවන්ගේ ආභාසය සහ සහයෝගය කොතරම් දුරට ඉවහල් වූවා ද?

නිර්මාණකරුවකු තුළ තමා උපතින් ම රැගෙන ආ වාසනා ගුණයක් තියෙන්න පුළුවන්. ඒත් අධිෂ්ඨානයක්, කැපවීමක් නැති නම් ඔහුට ගමනක් නෑ. ආභාසය කියන්නෙ නිර්මාණකරුවකු සම්බන්ධයෙන් ඉතා වැදගත් සාධකයක්. ආභාසය පූර්ව පරම්පරාවන් ගෙන් පමණක් නොවෙයි, නිහතමානී නම් නූතන පරපුරෙන් වුව ලද හැකියි. මේ කාරණාවේ දී මම වාසනාවන්තයෙක්. එදා කොළඹ අදට වඩා බොහෝ දුරයි. ඒත් මම ආරම්භක යොවුන් පහන් වැටේ පුංචි පහන් සිළුවක්. ධර්මසිරි ගමගේ නම් බෝසත් මිනිසා ඒ ඔස්සේ අපට යුගයේ පෙර ගමන් කරුවන්ගේ ඇසුර ලැබීමට පාර තනා දුන්නා. ඒ ඇසුරෙන් පෙර පරම්පරාවේ නිර්මාණකරුවන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නට අපට අනුස්මරණීය අවස්ථාවක් උදා වුණා. අද අප යම් තැනක සිටිනවා නම් ඊට එක් හේතුවක් ඒ ලද ආලෝකය.

● මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්තරා පුවත්පත් සාකච්ඡාකට සහභාගී වෙමින් සඳහන් කර සිටින බලාපොරොත්තු තබා ගතහැකි නූතන කවියන්ගේ නාමාවලියට ඔබත් අයත් වෙනවා. ඒ ඇගැයුම පිළිබඳ ඔබේ අදහස?

අගැයුමට පාත්‍ර වීමට තිරිසන් සතුන්ගේ පවා ඇති කැමැත්ත සන්දර්ශන සහිතව බෞද්ධ සාහිත්‍යයේ පවා ප්‍රදර්ශනය වෙනවා. මගේ කවියක් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය සරත් විජේසූරිය විසින් කොළඹ සරසවිය සඳහා සම්පාදනය කෙරෙන “නව කවි සංග්‍රහය”ට තෝරා ගැනෙන්නේ මෙදා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් එතුමාගේ “කාව්‍ය සංහිතා” කෘතියට තෝරා ගනු ලබන්න බොහෝ කලකට පෙර. “ඇස් ලැබීම” කාව්‍ය සංග්‍රහයේ තේමා කවිය වූ එය, දිවංගත මහාචාර්ය මැන්දිස් රෝහණධීර විසින් සංස්කරණය කරනු ලැබූ නිදහස් ස්වර්ණ ජයන්ති කාව්‍ය සංග්‍රහයේ ද අන්තර්ගත වෙනවා. තවත් මෙබඳු කෘති කීපයක ම මෙලෙස මගේ නිර්මාණවල ඇතුළත් වෙනවා. ඉන් තවත් සුවිශේෂී කෘතියක් වන්නේ ආචාර්ය ඩබ්ලියූ. ඒ. අබේසිංහයන් විසින් සම්පාදිත ”කවිය, ගීතය සහ සමාජය” කෘතිය. මගේ හැඟීමේ හැටියට මේ රාජ්‍ය සම්මාන පරයන සම්මාන.

● “කවිය” පිළිබඳව නොව “කවියා” පිළිබඳව වැඩි බරක් තබා කතා කරන සමාජ වටපිටාවක ඔබ නිහඬ නිර්මාණකරුවෙක්. ඒ නිහඬ බව ඔබ ප්‍රිය කරන්නේ ද? එසේ නැති නම් ක්ෂේත්‍රය පිළිබඳව උපන් කලකිරීමක් හේතුවෙන් එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ ද?

“ගොඩ මඩ දෙක ම සරුසාරය පලබරය” කවිය සරල ස්වභාවෝක්තියෙන් ඔබ්බට ගැඹුරු ජීවන දහමක් පළ කරන්නක් නො වෙයි. නූතනයේ කෙනෙක් ඒ කවියේ නිර්මාතෘවරයා කවරකු දැයි නො දන්නා තරම්. එහෙත් මේ කවිය ජන කවියක් තරමට සමාජගත යි. රංජිත් මල්ලියාවඩු නමැති මිනිසා තව අවුරුදු කීපයකින් මියපරලොව යයි. අනතුරුව යම් දවසක දරු මුණුපුරන්ට පවා ඔහු අමතක වේවි. එහෙත් ඉහත කී කවිය බඳු සමාජයේ මුල් බැස ගත් කවියක් හෙට දවසේත් පණ ගසමින් ඔහු වෙනුවෙන් පෙනී සිටීවි. කවියකු නැතිව කවියක් නූපදිතත්, මට අනුව නම් කවියයි ප්‍රමුඛ. පාසල් ප්‍රේමයක සංවේදනාවක් හැරුණු කොට මගේ ජීවිතයේ කලකිරීම් නෑ. එසේම නිහඬතාවත් මගේ ආරම්මණයක්. මා පළාත් අමාත්‍යාංශයක සේවය කරමින් සිටිය දී හිතමිත්‍ර මාණ්ඩලික නිලධාරියෙක් මා ඔහුගේ කාර්යාල කුටියට කැඳවනවා. ඒ අමාත්‍යාංශ ලේකම්තුමියගේ අනුදැනුමෙන්. හේතුව මා නිහඬව අමාත්‍යාංශයේ වැඩි බරක් අදිනු ලැබුවත් අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ඒ බව නො දැනුවත් නිසා ඔහුට සමීප විය හැකි රාජකාරියක් භාර ගන්නා ලෙස ඉල්ලීමේ අරමුණින්. මා නිහඬව මගේ කොටස ඉක්මවා වැඩ කළේ මට පඩි ගෙවන ජනතාව වෙනුවෙන් මිස අමාත්‍යවරයාගෙන් පඬුරු පාක්කුඩම් ලැබීමට නො වෙයි. ඒ ඉල්ලීම මට ඇති කළේ ජුගුප්සාවක්. එබැවින් දෙවරක් නො සිතා මම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කලකිරීම යන්නත් මගේ ශබ්ද කෝෂයේ නෑ. එසේ තිබුණා නම් කුළුඳුල් කෘතියට යෝජනා වූ රාජ්‍ය සම්මානය පවා බලධාරීන් විසින් ම උදුරා ගත් ආන්දෝලනාත්මක පසුබිමක මට මේ සා දුර ගමනක් එන්න ලැබෙන්නේ නෑ.

● ඔබේ නිර්මාණ වගා දිගා කරන්නට සමාජ මාධ්‍ය ජාලා කොතරම් දුරට ඉවහල් වූවා ද? ඒ තුළ ඔබ දකින සාධනීය ලක්ෂණ කවරේ ද?

මම, මට ඉහළට නඟින්නට උපකාරී වූ ඉනිමං දිරාපත් වනු නොදී රකින්නෙක්. කෙනෙක් පුවත්පත්වලට කවි ලියන්නන් ගර්හාවට ලක් කළත්, මගේ මුල්ම කවිය “මිහිර” ළමා පුවත්පතේ පළ වී දැනට අඩසියවසක්. එය සිහිපත් කිරීම මට ආස්වාදයක්. අදත් යම් තැනකට ගියවිට පුවත්පත් ඔස්සේ මා හඳුනා ගත් රසිකයෙක් ඒ අතීතයට මා කැඳවා ගෙන යනවා. එදා පුවත්පතක කවියක් පළ වීම යනු විය සිදුරෙන් සිදු වූ සිදුවීමක්. ඒ නිසා ම එය ආශ්චර්යයක්. සමාජ මාධ්‍ය ඊට වඩා පුළුල්, වත්මන් නිර්මාණකරුවාට ලැබී ඇති විවෘත වේදිකාවක්. ප්‍රමාද වී හෝ අද වනවිට මම එයින් ද යම් ඵලයක් ලබනවා. එහි සංස්කරණය නමැති අත්‍යවශ්‍ය අවශ්‍යතාව නැති වීම බරපතළ කාරණයක්. එබැවින් සමාජ මාධ්‍ය යනු අවබෝධයෙන් පරිහරණය කළ යුතු උපකරණයක්.

ඔබ තුළ ජීවත් වන කවියා විසින් දශක හතරක් පුරා ඔබ තුළ ම ජීවත් වූ රාජ්‍ය සේවකයා ඔසොවා තබන ලද අවස්ථාවන් පිළිබඳ මෙනෙහි කළ හැකි ද?

ඊට දිය හැකි පිළිතුර තරමක් සංවේදනාත්මක වූවක්. කොළඹ මහ නගර සභා සේවා සමයේ වරක් මා අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ තරග අංශ දෙකකින් ම ජයග්‍රාහකයකු බවට පත් වෙනවා. එහි තිලිණ ප්‍රදානය සිදු වූයේ අනුරාධපුර මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල ශ්‍රවණාගාරයේ. ඒත් එදා මගේ ආංශික දෙපාර්තමේන්තු ප්‍රධානියා ඊට සහභාගී වීමට මා ඉල්ලා සිටි නිවාඩුව අනුමත කිරීම ප්‍රතික්ෂේප කරනවා. එය රාජ්‍ය සේවයේ පැවැති ඔවුන්ගේ අනුදැනුමැති අකටයුතු කෙරෙහි මා පෑ විරෝධය මැඬලීමට ගත් උත්සාහයක්. අවසානයේ මා නිවාඩුව අනුමත කර ගන්නේ ඍජුව නාගරික කොමසාරිස්වරිය ඉදිරියට මේ ගැටලුව රැගෙන යෑමෙන්. මේ නිසා ම රාජ්‍ය සේවක නිර්මාණකරුවාට ලැබෙන අනුග්‍රහයේ සැබෑ මුහුණුවර පිළිබඳ දීර්ඝ ප්‍රස්ථාවනාවකට මගේ “ යළි ගලා යනු පිණිස” කාව්‍ය සංග්‍රහයේ පිටු හත අටක් ම මම වෙන් කරනවා. එය ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පවා ඇගැයීමට ලක් වෙනවා. පසු කාලයේ මා මාණ්ඩලික නිලධාරියකු වශයෙන් මේ නොතකා හැරීම්වලට පිළිතුරු සෙවුවේ සහෝදර කාර්ය මණ්ඩල වඩ වඩාත් සාහිත්‍ය කලාව කෙරෙහි උනන්දු කරවමින්. අද තත්ත්වය මීට වඩා තරමක් යහපත් බවට නිදසුන් දෙන යම් යම් පුවත් සමාජ මාධ්‍යයේ දකින්නට ලැබෙනවා. එය සතුටට කාරණාවක්.

● රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment