දේශීය පොල් තෙල්වලත් ප්‍රමිතිය පරීක්‍ෂා කළ යුතුයි

35

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

දේශීය පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීමේ ක්‍රමවේදයක දැඩි අවශ්‍යතාවක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කරන්නේ පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී මිනිස් ශරීරයට අහිතකර ඇෆ්ලටොක්සීන් (Aflatoxin) සහ වෙනත් අහිතකර සංඝටක පොල්තෙල්වල අඩංගු විය හැකි බවයි.

පසුගිය 12 දා කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුකරන්නේ ආනයනික පොල් තෙල්වල පමණක් බවද, ශ්‍රී ලංකාවේ පාරිභෝජන අවශ්‍යතාවෙන් 10% ක් පමණ දේශීය ආයතන හා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් විසින් මෙරට තුළම නිපදවනු ලබන අතර එසේ නිපදවන පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ද රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේය.

එහිදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

“සාමාන්‍යයෙන් ආහාර නිෂ්පාදනයේදී එහි ප්‍රමිතිය පරීක්ෂාව අනිවාර්යෙන්ම සිදු කරනවා. ප්‍රමිති පරීක්ෂාවකින් තොරව කිසිදු ආහාරයක් රටට ආනයනය කිරීමට නොහැකි වන සේ නීති සෑදීමට ලෝකයේ සෑම රටක්ම කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවද මෙරටට ආනයනය කරන පොල් තෙල්වල ප්‍රමිතිය අවස්ථා කිහිපයකදී පරීක්ෂා කළද මෙරට නිපදවන පොල්තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා නොකිරීම පාරිභෝගිකයන්ට කරන දැඩි අසාධාරණයක්”

වැඩිදුරටත් කරුණු දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කළේ සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී වුවද ප්‍රමිතිය සොයා බලද්දී මිනිස් පරිභෝජනය සඳහා පොල්තෙල් නිෂ්පාදනය කිරීමේදී එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු නොකිරීම පාරිභෝගික අයිතිය කඩකිරීමක් ද බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment