නංගී . ඇරැව්වල නන්දිමිත්‍ර

1358

● උසස් පෙළට සිංහල – 13

නංගී නම් මෙම කෙටි කතාව ඇරැව්වල නන්දිමිත්‍ර විසින් නංගී නමින් ම පළ කළ කෙටි කතා පොතේ අන්තර්ගත වන කෙටි කතාවකි. මා පියන් මිය යෑමෙන් අනතුරු ව ජීවන අරගලයට සාර්ථක ව මුහුණ දෙන අයියා සහ නංගී ගැන මේ කෙටි කතාවේ සඳහන් වන්නේ සංවේදී කතා පුවතකි.

නංගී කෙටි කතාවට හේතු වූ සමාජ සංස්කෘතික පදනම

අද සමාජයේ බහුල ව හඳුනා ගත හැකි වනුයේ විවාහ වීමෙන් අනතුරු ව පවුලේ සහෝදර සහෝදරියන්ගේ වෙන් වීමකි. ඒ වෙන් වීමට හේතු වනුයේ අඹුව හෝ සැමියා සහ දූ දරුවන් ගේ බලපෑම යි. අපේ පැරැණි සමාජයේ පැවැති විස්තෘත පවුල් ක්‍රමයෙහි ප්‍රබල පවුල් බැඳීමක් පැවැතිණ. ඒ පවුල් බැඳීම න්‍යෂ්ටික පවුල් ක්‍රමය තුළ වුව ද යම් දුරකට ප්‍රබල ව පැවැතිය ද තාක්‍ෂණික දියුණුවෙහි ඵලය වූයේ සහෝදර බැඳීම් දුරස් වීම යි.

ජිනසේන සහ දයානිට මව අහිමි වූයේ අවුරුදු අට සහ දහය කාලයේ දී ය. තාත්තා නැති වන විට ජිනසේන උසස් පෙළ පන්තියේ සිටි අතර දයානි සිටියේ අට වන ශ්‍රේණියෙහි ය. මේ අනුව ජිනසේන පාසල් අධ්‍යාපනය නවතා දමන්නේ නංගිට ඉගැන්වීම පිණිස ය. ඔහු විවාහ වූයේ නංගී විශ්වවිද්‍යාලයට ගොස් රැකියාවක් කර විවාහ වීමෙන් ද අනතුරු ව ය. මේ චරිත දෙක ආත්මාර්ථකාමී වත්මන් ලෝකයෙන් ඉඳුරා වෙනස් චරිත දෙකකි. පියදාස සිරිසේන ගේ සදූපදේශ දෙන කතා සිහියට නැඟෙන නංගී කෙටි කතාවේ විශේෂත්වය වනුයේ පාඨක විශ්වාසය රැකෙන අයුරින් කතා පුවත ගොනු කිරීම යි. ඉඩ කඩම්වලට දබර කර ගන්නා මෙකල සහෝදර සහෝදරියෝ එකිනෙකා පරයා නැඟී සිටීමට වෙර දැරීම නිසා වියෝ වෙති. තරහ සිතින් වෙසෙති. ගහ මරා ගනිති. එබඳු දුගඳ හමන සමාජ සංස්කෘතික මඬ ගොහොරුවෙන් එළියට ඇවිත් පවුල නමැති පොකුණෙහි පිපුණු නෙළුම් මල් දෙකක් සේ ජිනසේන සහ දයානි ගේ චරිත නිර්මාණය කරන කෙටි කතාකරුවා මතු කරනුයේ සහෝදර බැඳීමේ අගය යි.

නංගී කෙටි කතාවේ පරිසර වර්ණනා සහ සංකේත

පරිසර වැනුම් සහ සංකේත නංගී කෙටි කතාවේ අඩුවෙන් දැකිය හැකි වනුයේ කතා පුවත දැක්වීම කෙරෙහි කතුවරයා දක්වන වැඩි නැඹුරුව හේතුවෙනි. පියා මිය යෑමෙන් පසු ව අසරණ වන දයානි සහ ජිනසේන ගැන අතීතාවර්ජනය ඔස්සේ මතු වන කම්පිත සොබාවය දක්වනු පිණිස යොදා ගන්නේ සංකේතාත්මක බසකි. “වහලයට සෙවිලි කොට තිබූ දිරා ගිය පොල් අතු සසල කරමින් හමා ගිය වියළි සුළඟ පවා අහේනියේ ගීතය ගායනා කරන්නා සේ ය.” ඔවුන් දෙදෙනාට ජීවිතයේ ඉදිරි කාලයේ මුහුණ දීමට ඇති ව්‍යසනකාරී තත්ත්වය දක්වනු පිණිස කෙටි කතාකරුවා මේ සංකේතාත්මක බස යොදා ගෙන තිබුණ ද එබඳු සංකේත මේ කෙටි කතාවේ දැකිය හැකි වනුයේ මඳ වශයෙනි.

නංගී කෙටි කතාවේ විස්තර සහ දෙබස්

නංගී කෙටි කතාවේ දෙබස් සජීවී බවක් පෙන්නුම් කළ ද අතීතාවලෝකනය පිණිස කරන ඇතැම් විස්තර ඒ සජීවී බව ඈත් කරයි. ඇතැම් දිගු විස්තර වඩාත් සුදුසු වන්නේ කෙටි කතාවකට වඩා කතන්දර සඳහා යැයි කිව හැකිය. ජිනසේනගේ ඇතුළු සිතත් ආකල්පත් හඳුනා ගැනීමට පාඨකයාට දයානි ගේ අතීතාවලෝකනය ඉවහල් වේ. කෙටි කතාවේ බොහෝ තැන්වල දෙබස් හොඳින් භාවිත කර ඇති නමුදු දයානි ගේ දියණිය වන ප්‍රභා ගේ මුවට නංවන ඇතැම් දෙබස් සොබාවික බවින් මිදේ. “අනේ අම්මෙ, එහෙම දෙයක් නම් කරන්න ලැහැස්ති වෙන්න එපා. අම්මා ඕවා කරන්න ගිහිල්ලා අම්මට කරදරයක් වුණොත් තාත්තයි මායි කොහොම ජීවත් වෙන්න ද? අනිත් එක අම්මා සදාකාලික ලෙඩෙක් වුණොත් අම්මට කොච්චර දුක් විඳින්න වෙනව ද? පාසල් වියේ පසු වන දරුවකු වන ප්‍රභාගේ මුවට නංවන මේ වදන් කතුවරයා ඕනෑකමින් එබ්බ වූ දෙබස් ලෙස දිස් වේ.

නංගී කෙටි කතාවේ චරිත නිරූපණය

ජිනසේන

ජිනසේන යුතුකම් සහ වගකීම් ඉටු කිරීම වෙනුවෙන් කැප වූ අව්‍යාජ, ගුණ යහපත් සහෝදරයෙකි. සිය නැඟණියට උගන්වා විශ්වවිද්‍යාලයට ගොස් රැකියාවක් කොට විවාහ වීමෙන් අනතුරු ව තම විවාහය ගැන සිතන බව ඔහු ප්‍රකාශ කරයි. “මම මගෙයි කියලා ජීවිතයක් ගැන හිතන්නෙ නංගී විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගෙන, රස්සාවකට ගිහිල්ලා කසාදයකුත් බැන්දට පස්සෙ” ජිනසේන, දයානි කෙරෙහි දක්වනුයේ සහෝදර ප්‍රේමයටත් වඩා පිය සෙනෙහසට ළං වන සෙනෙහසකි. ජිනසේන ලද දෙයින් සතුටු වන ගැමි සමාජයේ හර පද්ධතියෙන් පෝෂණය වූ අයකු බව නංගිගේ ගෙදර එන විට ගෝනි භාගයකටත් වඩා කොරටුවලින් කඩා ගත් එළවළු රැගෙන ඒමෙන් පෙනෙයි.

තම වකුගඩු පරිත්‍යාග කිරීමට දයානි කැමැති බව ජිනසේනට කී කල “මගෙ රත්තරන් නංගියේ” කියමින් ජිනසේන ඇය ගේ උරහිස මත හිස තබා ගෙන හඬනුයේ පොඩි දරුවකු මෙනි. ඔවුනොවුන් අතර පැවැති සොයුරු පෙම මතු වන ඒ මොහොත පාඨක හද සසල කරවනසුලු ය.

● දයානි

දයානි සිය සහෝදරයා ගේ කැප කිරීම් මනා ව තේරුම් ගෙන ඔහු ගේ සිත් සතුටු කරනු පිණිස කැප වීමෙන් ඉගෙන ගත්තා ය. ඇය කළ ගුණ සැලැකීම නමැති උසස් ගුණයෙන් යුතු නිහතමානී බුද්ධිමත් කාන්තාවකි. තනතුරු තානාන්තරවලින් හෝ උගත්කම්වලින් හිස පුම්බා නො ගත් ඇය තම වකුගඩුව පවා සිය සහෝදරයාට දීමට ඉදිරිපත් වනුයේ සැමියා සහ දියණියගේ විරෝධය පවා නො තකමිනි. ඉන් ඇය ගේ තීරණ ගැනීමේ ඉදු බව පළ වේ.

● රණදේව

රණදේව සිය බිරිඳට අවංක ව පෙම් කරන සැමියෙකි. තම බිරිඳ වකුගඩුව ඇය ගේ සහෝදරයාට පරිත්‍යාග කිරීමට විරුද්ධ වූයේ ඇයට අනතුරක් වේ ය යන බියෙන් මිස ජිනසේන කෙරෙහි ද්වේශයෙන් නො වේ.

● ප්‍රභා, හේමවතී සහ කමල්

රණදේව ගේ සහ දයානි ගේ දියණිය වන ප්‍රභා සිය මව ගැන දැක්වූයේ මහත් ආදරයකි. ජිනසේන ගේ බිරිඳ වන හේමවතී මෙන් ම ජිනසේන ගේ පුතු වන කමල් ද මේ කෙටි කතාවේ පසුබිම් චරිතයක් සේ සැලැකිය හැකිය. හේමවතී සහ කමල් රෝගාතුර වූ ජිනසේන කෙරෙහි කරුණාව දැක්වූ හ. සුවය පැතූ හ.

නංගී . ඇරැව්වල නන්දිමිත්‍ර

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment