නව තරග වාර්තා පහක් ඊයේ බිහි වෙයි – සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල

175

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක 36 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සිව් වැනි දිනය වූ ඊයේ (26) නව තරග වාර්තා 5 බිහි විණි.

රත්නපුර කහවත්ත මධ්‍ය මහා විදුහලේ කේ. වී. මලිත් යසිරු (අවුරුදු 20 න් පහළ බාලක තුන් පිම්ම – මීටර් 15.93), අඹගමුව මධ්‍ය මහා විදුහලේ කේ. එල්. අයොමාල් අකලංක (අවුරුදු 18 න් පහළ බාලක – මීටර් 400 කඩුළු මතින් දිවීම – තත්. 52.22), නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ එච්. ඩී. එස්. අවිශ්ක (අවුරුදු 16 න් පහළ බාලක – මීටර් 800 මී. 1.59.19) සහ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ එම්. ජී. තරුෂී අභිෂේකා (අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 800 – මී. 2.12.74) වත්තල ජාතික වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරුෂ දිනුමක් මෙන්ඩිස් (අවුරුදු 16 න් පහළ උස පැනීම – මීටර් 1.95) එම වාර්තා බිහි කිරීමට සමත් වූහ.

දිවයිනේ සියලුම පළාත් නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 දෙනකුගේ සහභාගිත්වයෙන් දින 05 ක් පුරා ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආශ්‍රිතව මෙතෙක් සටහන්ව ඇති නව තරග වාර්තා සංඛ්‍යාව 19 කි. ඒ, ඊයේ සටහන් වූ නව තරග වාර්තා 05 ත් සමගිනි.

මේ අතර පසුගිය ආසියානු කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී මලිත් යසිරු සහ පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභී අයොමාල් අකලංක තම ඉසව්වලින් පළමු ස්ථාන දිනා ගැනීමට සමත් වූහ.

සමාප්ත උත්සවය සහිත ජය සංකේත ප්‍රදානය අද (27) ප.ව. 02.30 ට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පිංතූර නිශාන් එස්. ප්‍රියන්ත

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment