නාරම්මල සිද්ධිය කිසිසේත් අනුමත කරන්නේ නැහැ – වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

248

සිවිල් ඇඳුමින් වාහන පරික්‍ෂාවට කිසිදු ඉඩක් නැහැ

නාරම්මල පොලිසියේ පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් රන්මුතුගල ප්‍රදේශයේදී පසුගිය 18 දා ලොරි රථයක් තුළ මිය ගිය වඩු කාර්මිකයෙකු වූ මහරච්චිමුල්ල වෑත්තෑකන්ද පදිංචි කේ. ඒ. රොෂාන්ත නමැති 42 හැවිරිදි තිදරු පියාගේ දේහය තැන්පත් කර ඇති වෑත්තෑකන්ද නිවස වෙත 20 දා පැමිණි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දේහයට අවසන් ගෞරව දක්වා රුපියල් ලක්ෂ දහයක මුදලක් පරිත්‍යාග කළේය.

වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් මෙසේ කීය.

ඒ පොලිස් පරීක්ෂක වරයා සිදු කළ ක්‍රියාව පොලිසිය හැටියට අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ සිදු වීමෙන් පසුව ශ්‍රී ලංකා පොලිසියට නැවත උපදෙස් මාලාවක් නිකුත් කළ අතර කිසිම අවස්ථාවකදී මේ ආකාරයට පොලිස් නිලධාරියෙක් සිවිල් ඇඳුමින් සැරසී මාර්ගවල ගමන් කරන වාහනවලට සංඥා නිකුත් කරන්න එපා. තවත් මෙවැනි සිද්ධියක් ඇතිවීමට ඇති අවකාශය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මිය ගිය සිවිල් පුරවැසියා වෙනුවෙන් පොලිසිය සිදු කළ යුතු රාජකාරිය කිසිම අඩුවක් නැතිව සිදු කරනවා. ඒ විතරක් නොව දරු පවුල වෙනුවෙන් අනාගත සුබසාධනය සම්බන්ධව දරුවෝ තිදෙනාත් බිරිඳත් වෙනුවෙන් ධන පරිත්‍යාග කිරීමක් සිදු කළා. එම පරිත්‍යාගය තුළින් කිසිසේත්ම අදහස් කරන්නෙ නැහැ. ඒ මනුස්සයාගෙ ජීවිතේට වටිනාකමක් දෙන්න පුළුවන් කියලා යැයි කීය.

මෙම අවස්ථාවට වයඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගි වී සිටියහ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දේහයට අවසන් ගෞරව දක්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
අලව්ව – කවිනි මධූෂා

advertistmentadvertistment
advertistmentadvertistment