නැගී එන කණ්ඩායම් අතර තුන්දින ක්‍රිකට් තරගාවලිය

104

ටැමිල් යුනියන් සහ සෙබස්තියනයිට්ස් අතර අවසන් මහ සටන අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය වන අවසන් මහ සටන අද (22 වෙනිදා) කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වේ. ටැමිල් යුනියන් සහ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජ තරග වදිනු ලබන මෙම අවසන් මහ තරගය අනිද්දා (24 වැනිදා) තෙක් පැවැත්වෙනු ඇත.

ශූරතා දිනාගනු ලබන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් සහ අනුශූරතාව සඳහා මුදලින් ලක්ෂ 3 ක මුදලක් පිරිනැමෙනු ඇත. ඊට අමතරව තරගාවලියේ වීරයා සඳහා රුපියල් ලක්ෂයක මුදලක්ද, දක්ෂතම පිතිකරුවාට සහ දක්ෂතම පන්දු යවන්නාට රුපියල් හැත්තෑපන්දහස බැගින්ද මුදල් තිළිණ පිරිනැමෙනු ඇත.

නැගී එන කණ්ඩායම් අතර තුන්දින ක්‍රිකට්  තරගාවලිය

ලීග් ක්‍රමයට පැවැති මූලික තරග වටය යටතේදී සෙබස්තියනයිට්ස් කණ්ඩායම ‘ඒ. කාණ්ඩය යටතේ සහභාගි වුණු තරග 6 න් ජයග්‍රහණ 5 ක් ලබමින්ද’ සී. කාණ්ඩය යටතේ තරග වැදි ටැමිල් යුනියන් කණ්ඩායම තරග 5 කදී ජයග්‍රහණ 3 ක් වාර්තා කරමින් අදාළ කාණ්ඩවල පෙරමුණ ගනිමින් අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලදහ. එහිදී නිගම්බු කණ්ඩායමට එරෙහිව ටැමිල් යුනියන්ද කෝල්ට්ස් පිලට එරෙහිව සෙබස්තියනයිට්ස්ද ජය වාර්තා කරමින් අවසන් මහ තරග වරම උදාකරගත්හ.

ටැමිල් යුනියන් කණ්ඩායම රන්මිත් ජයසේකරගේ නායකත්වය යටතේ අද තරගයට අවතීර්ණ වන අතර නවක නායකයකු වන සඳුන් ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ සෙබස්තියනයිට්ස් කණ්ඩායමට තරග වැදීමට සිදුව තිබේ. අවසන් පූර්ව තරගය වන තෙක් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද තරූෂ ප්‍රනාන්දු විදෙස්ගතවීම නිසා අවසන් මහ තරගයේදී සෙබස්තියනයිට්ස් පිලට නව නායකයකුගේ යටතේ තරග වැදීමට සිදුව තිබේ. වමතින් දඟ පන්දු යවන තරූෂ මෙවර තරග වාරයේ තරග 7 කදී කඩුලු 23 ක් සහ ලකුණු 402 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

ඔහු හැරුණු විට තරගාවලියේ එම කණ්ඩායමේ මෙතෙක් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයන් අතර මනෙල්කර් ද සිල්වා සහ සඳුන් ප්‍රනාන්දු වැඩිම ලකුණුලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පිළිවෙළින් තෙවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති. එහිදී මනෙල්කර් තරග 7 කදී ලකුණු 536 ක්ද (ඉනිමක සාමාන්‍ය 44.66) සඳුන් ප්‍රනාන්දු තරග 7 කදී ලකුණු 512 ක් (සාමාන්‍ය 36.57) ලබා සිටිති. පන්දු යවන්නන් අතර වමතින් දඟ පන්දු යවන තරිඳු රත්නායක තරග 5 කදී කඩුලු

42 ක් බිඳ හෙළමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ.

ප්‍රතිවාදී ටැමිල් යුනියන් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී දිලුම් සුදීර කඩුලු 40 ක් ලබා තරිඳුට එක් ස්ථානයක් පසු පසින් සිටියි. ඒ හැරුණු කොට වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට එක්වීමට එකම ටැමිල් යුනියන් පිතිකරුවකු හෝ අසමත්ව සිටියි. කෙසේ වෙතත් සුපුන් කාවින්ද වැඩිම ලකුණු ලාභීන් අතර 16 වැනි ස්ථානයේ පසුවෙයි.

තරග තීරක – වෙන්ඩල් ලැබ්‍රෝයි

විනිසුරුවරුන් – ලින්ඩල් හැනිබල්, දීපාල් ගුණවර්ධන, ගාමිණී දිසානායක (අතිරේක)

සෙබස්තියනයිට්ස් – සඳුන් ප්‍රනාන්දු (නායක), මනෙල්කර් ද සිල්වා, තරිඳු රත්නායක, විහාන් ගුණසේකර, ටෙහාන් ෂාෆ්ටර්, තනූෂ කොස්තා, යොහාන් පෙරේරා, බිෂාන් හෙට්ටිආරච්චි, රුසිත් ඩිල්ෂාන්, ෂෙහාන් සිල්වා, කලන සංදීප්, විමුද් සප්නක, ලහිරු ප්‍රනාන්දු, චමෙල්කර් ද සිල්වා, විශාල් සිල්වා, ශමිල්ක වික්‍රමතිලක, නවිඳු මදුශංක.

ටැමිල් යුනියන් – රන්මිත් ජයසේකර (නායක), කමේෂ් ලොකුගේ, දුලාජ් සමුදිත, කවිඳු පතිරත්න, සංතුෂ් ගුණතිලක, මිරංග වික්‍රමගේ, සසිත මදනායක, යසිරු තාරක, ප්‍රභාත් සචින්, රවීන් ද සිල්වා, දිලුම් සුදීර, රවිඳු ප්‍රනාන්දු, සිතාර හපුහින්න, සුපුන් කාවින්ද, නවෝද් පරණවිතාණ.

advertistmentadvertistment
advertistmentadvertistment