නැෂනල් සුපර් ලීග් එක් දින කිරුළ දෙවැනි වරටත් දඹුල්ලට

74

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (භීඛ) තරගාවලියේ පෙරේදා (10 වැනිදා) පැවති අවසන් මහා තරගයෙන් ජයගත් දඹුල්ල පිලට ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20ක තෑගි මුදලක් හිමි විය. අනුශූරතාව දිනාගත් මහනුවර පිලට රුපියල් ලක්ෂ 10ක් සමඟ අනුශූරතා කුසලානය පිරිනැමුණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 4කට ලකුණු 332ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 313කට දැවී ගියහ. මේ තත්ත්වයත් සමඟ ලකුණු 19ක ජයක් ලබාගත් දඹුල්ල පිල පිට පිට දෙවැනි වතාවටත් ශූරතාවට හිමිකම් කීය.

දඹුල්ල පිල ජයග්‍රාහී මාවතට ගෙන ගිය පවන් රත්නායක නොදැවී ලකුණු 118ක් ලබා ගත්තේය. පන්දු 108කදී හයේ 3ක් හා හතරේ පහර 10ක් එල්ල කළ ඔහුට අවසන් තරගයේ වීරයා සම්මානය සමඟ රුපියල් 75000ක් පිරිනැමුණි. තරගාවලියේ තරග 3කට පමණක් ක්‍රීඩා කොට ලකුණු 225ක් හා කඩුලු 2ක් බිඳහෙලූ යාපනය පිලේ ජනිත් ලියනගේට තරගාවලියේ වීරයා සම්මානය සමඟ රුපියල් ලක්ෂ 3ක තෑගි මුදලක් පිරිනැමුණු අතර, දක්ෂතම පිතිකරු ලෙස ගාල්ල පිලේ ෂෙහාන් ප්‍රනාන්දුට හා දක්ෂතම පන්දු යවන්නා ලෙස මහනුවර පිලේ ළහිරු කුමාරට සම්මාන සමඟ රුපියල් එක් ලක්ෂ පනස්දහස බැගින් මුදල් තෑගි පිරිනැමුණි.

මෙම තරගයේදී දඹුල්ල පිල වෙනුවෙන් තෙවැනි කඩුල්ලට පන්දු 160කදී ලකුණු 160ක සබඳතාවක් ගොඩ නැගීමට පවන් රත්නායක හා සනෝජ් දර්ශික සමත් වූ අතර, මිනෝද් භානුක හා ලසිත් කෘස්පුල්ලේ පන්දු 94කදී ලකුණු 96ක් පළමු කඩුල්ලට එක් කළහ.

මහනුවර පිල වෙනුවෙන් ළහිරු උදාර පන්දු 50කදි හයේ පහර 4ක් හා හතරේ පහර 10ක් සමඟ වේගවත් ලකුණු 86ක් එක්කළ අතර, කමිල් මිෂාර පන්දු 95කදී හතරේ පහර 12ක් සමඟ ලකුණු 94ක් ලබා ගත්තේය. අවසන් කඩුල්ලට නිම්සර අතරගල්ල (ලකුණු 15) හා වනුජ සහන් (නොදැවී ලකුණු 44) එක්ව පන්දු 27කදී ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න හා ක්‍රිකට් විධායක කමිටු සාමාජික, තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වෙල යන මහත්වරු එක්ව සිටියහ.

ලකුණු සාරාංශය

දඹුල්ල පළාත් පිල කඩුලු 4කට ලකුණු 332 (ඕවර්50)

මිනෝද් භානුක 69, ලසිත් කෘස්පුල්ලේ 36, සනේජ් දර්ශික 73, පවන් රත්නායක නොදැවී 118, අයන සිරිවර්ධන 21, දුෂාන් හේමන්ත නොදැවී 6 අතිරේක 9 (තීක්ෂල ද සිල්වා 54/1, නිම්සර අතරගල්ල 57/1, පුලින තරංග 68/2)

මහනුවර පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 313 (ඕවර් 45.3)

ලහිරු උදාර 86, කමීල් මිෂාර 94, අහන් වික්‍රමසිංහ 13, පුලින තරංග 10, තීක්ෂල ද සිල්වා 19, වනුජ සහන් නොදැවී 44, නිම්සර අතරගල්ල 15, අතිරේක 13 (විශ්ව ප්‍රනාන්දු 44/1, මොහොමඩ් සිරාස් 42/2, සොනාල් දිනූෂ 53/1, දුෂාන් හේමන්ත 63/3, අයන සිරිවර්ධන 58/3)

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment