නියමුවෝ 80ක් අස්වී රට යති – ශ්‍රී ලංකන් අර්බුදයක

248

ගුවන් නියමුවන් අසූදෙනකු පමණ අස්වී විදෙස්ගත වීමට පටන්ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු පවත්වාගෙන යෑම අර්බුදයකට ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගුවන් යානා නොතිබීමත් ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගයන් නිසා ඉකුත් දිනවලදී දෛනිකව ගුවන් ගමන් වාර පහක් පමණ අවලංගු කිරීමට සිදුවී තිබිණි. මේ අතර කොරියාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර අවලංගු වීම නිසා එරට රැකියාවලට යෑමට සිටි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකට නියමිත දිනයේ එරටට යෑමට නොහැකි විය.

මේ වනවිට ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා ගුවන් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අස්වී විදෙස් රටවල ගුවන් සමාගම්වල සේවයට යෑම වේගවත් වී තිබෙන අතර දැනටමත් සමාගමේ සිටි ගුවන් නියමුවන් හා ප්‍රවීණයන් පනහකට ආසන්න පිරිසක් විදෙස්ගතවී ඇතැයි ද හෙතෙම කීය. ඒ අනුව සමාගමේ සිටිය යුතු ගුවන් නියමුවන් තුන්සිය තිහෙන් මේ වනවිට සිටින්නේ දෙසිය පනහක් පමණකි. අසූදෙනකු අස්වී පුද්ගල ආදායම් බද්ද හා අනෙකුත් පහසුකම් සම්බන්ධ ප්‍රශ්න මුල්කරගෙන මෙම අය විදේශගත වන බවද ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙක් සඳහන් කළේය.

විදේශ ගුවන් සමාගම්වලට යන අයට මෙරටදී ලැබෙන වැටුපට වඩා පස් හය ගුණයක වැටුප් පිටරටවල ගුවන් සමාගම්වලින් ගෙවන බවද හෙතෙම කීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇති වී තිබෙන මෙම අර්බුද සම්බන්ධයෙන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ යම් අයකු අස්වී යන්නේ නම් එම පුරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවයි. එනිසා දැනට සමාගමේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සියලු කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර සභාපතිවරයා සමග පෙරේදා (28 වැනිදා) පැවති සාකච්ඡාවකින් පසුව ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැර දැමීමට එම සංගම් පියවර ගත් බවද සමාගමේ ජ්‍යෙෂ්ඨයෙක් මේ අතර කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment